එක්සත් ජාතික පක්ෂයේ සිදු වන ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ සියලු පාක්ෂිකයන් ඉතා උනන්දුවෙන් බලා සිටින බව රාජ්‍ය ඇමැතිවරුන් වන පාලිත රංගේ බණ්ඩාර සහ වසන්ත සේනානායක මහත්වරු ප්‍රකාශ කරති.
ඔවුන් එසේ ප්‍රකාශ කළේ පෙරේදා (04) බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර මහතා මෙසේ ද කීය.
"අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව යමකු ඡන්දය පාවිච්චි කළා නම් ඔවුන් පක්ෂයෙන් ඉවත් විය යුතුයි. විශ්වාසභංගය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වූණා. රජයට ලැබී ඇති ජනවරම අනුව ඉදිරියට ක්‍රියා කරනවා. මැතිවරණ පිළිබඳව විවිධ අයගේ අදහස් වැදගත් නෑ.
අප පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් පිළිබඳව දිගින් දිගටම කතා කළා. ඒ පිළිබඳව විවිධ අදහස් දැක්වූවා. අපේ අරමුණ එක්සත් ජාතික පක්ෂය දිනන පක්ෂයක් බවට පත් කරගැනීමයි. රටට විශාල සේවයක් කරන එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටීමෙන් රටට විශාල අගතියක් සිදු වෙනවා. අප පක්ෂයේ ප්‍රතිසංවිධාන කථිකාවත ආරම්භ කිරීමටත් පෙර ඒකාබද්ධ විපක්ෂය කඩිමුඩියේ විශ්වාසභංගයක් ගේන්න කටයුතු කළා. මේ විශ්වාසභංගය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන, එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රගමනය බලාපොරොත්තු වන අපේ කණ්ඩායමේ කාගෙවත් විශ්වාසභංගයක් නොවෙයි.
ප්‍රතිසංවිධානය පිළිබඳ කථිකාවත ආරම්භ වූ පසුව අප ජයග්‍රහණ කිහිපයක් ලබා ගත්තා. පොලිසියේ සිටින දේශපාලන පළිගැනීමට ලක් වූ 351ක් පමණ දෙනාගේ ගැටලු විසැඳීමට දැනටම පියවර අරගෙන තිබෙනවා. ඒ වගේම දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රජයේ නිලධාරීගේ ගැටලු විසැඳෙමින් තිබෙනවා. ජනතාවගේ දේශපාලන ගැටලු පිළිබඳව පිළිතුරු ලබා දෙනවා. මහ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව දිගින් දිගටම අප පෙන්වා දුන්නා. ජනතාවගේ හඬට සවන් දෙන දේශපාලනඥයන් සිටිය යුතුයි. පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳව අප කතා කරන විට අපට බොහෝ දෙනා චෝදනා කළා. පක්ෂය විනාශ කරන්න හදන බව කීවා. මහින්ද රාජපක්ෂ මහත්තයාට විකිණී ඇති බව ප්‍රකාශ කළා. කඩේ යන බව කීවා. හැබැයි අපි කඩේ ගියේ එක්සත් ජාතික පාක්ෂිකයන් සහ රටේ ජනතාව වෙනුවෙන්.
අපගේ ක්‍රියාකාරීත්වය නිසා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරන තත්ත්වයට අද පැමිණිලා තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා කමිටු තුනක වාර්තා ලබාගෙන තිබෙනවා. අප්‍රේල් 30 වැනි දා වන විට ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන බවට ද ප්‍රකාශ වී තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් කිරීමට, එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ පාර්ශ්ව ශක්තිමත් කිරීමේ අදහස් අප ළඟ නෑ. අප එක්සත් ජාතික පක්ෂයට අගතියක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. විශ්වාසභංගය ගෙන ආ පිරිස් අපත් සමඟ ද කතාබහ කළා. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය පිළිබඳ කටයුත්තේ දී කැබිනට් ඇමැතිවරුන් හතරක්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් විසි අටක් සිටියා. ඔවුන්ගෙන් දාහත් දෙනෙක් විශ්වාසභංගයට ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණීමටත්, ඉතිරි පිරිස ඡන්දය පාවිච්චි කිරීමටත් ඉඩකඩ තිබුණා. මේ පිරිස කවුරුන් දැයි හෙළි දරව් කරන්නේ නෑ. පසුව අපි ඒකමතිකව තීරණය කළා විශ්වාසභංගය පරාජය කිරීමට.
විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා
"අප එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමේ කටයුත්තේ නිරත වෙනවා. එක්සත් ජාතික පක්ෂය සියලුම ජන කොටස් අතරට ගෙන යෑමයි අපේ අරමුණ. පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට දී ඇති පොරොන්දුව අප විශ්වාස කරනවා. එය නොවුණොත් කළ යුත් දේ පිළිබඳවත් අප සිතනවා.
ප්‍රතිසංවිධානයක් නොවුණොත් අදටත් වඩා විශාල පිපිරීමක් ඇති විය හැකියි. හොඳින් හෝ නරකින් පක්ෂයේ වෙනස්කම් කළ යුතුයි. පක්ෂයේ නායකත්ව පත් කිරීම සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාවේ වෙනස් කම් සිදු කළ යුතුයි."
0 Comments