Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපිට උපන් රනිල් හපන්

අධ්‍යාපනය ලබද්දී කිසිදු විභාගයකට දෙවරක් පෙනී නොසිට එක් වතාවෙන්ම සමත් වූ ලංකාවේ පමණක් අධ්‍යාපනය ලැබූ ජනාධිපතිවරුන් හයදෙනෙකු සමඟ සුහදත්වයෙන් කටයුතු කරන ලද ප්‍රබල පක්ෂ දෙකක් එක් කර රජයක් පිහිට වූ මොහු හැර වෙන අයෙකු මෙලොව නැත.

ඉහත මාතෘකාව දැනට අවුරුදු 40කට පෙර රනිල් වික්‍රමසිංහ හාපුරා දේශපාලනයට පිවිස බියගම මැතිවරණ කොට්ඨාසයට තරග කරද්දී පළමුවෙන්ම නිකුත් කළ පෝස්ටරයයි. එසේ සඳහන් කළේ එවකට මොහු සමඟ තරග කළ මහා ප්‍රවීණයෙකු වූ ඩී.හපන්ගම මහතාට අභියෝගයක් ලෙසය.

බැද්දේගම ගුරුවන්දන, ගාල්ලේ වික්‍රමසිංහ, කැලණියේ විජේවර්ධන හා සේදවත්තේ ජයවර්ධන පරම්පරාවට උරුම වූ වැදගත් පරපුරක අධිනීතිඥ එස්මන්ඩ් වික්‍රමසිංහ හා නාලනි විජේවර්ධන දෙපළගේ කනිෂ්ඨ පුත්‍රයා ලෙස 1949 මාර්තු 24 වෙනිදා මෙලොවට බිහිවිය.

ෂාන්, විරාජ්, ශානිකා, චන්න යන සහෝදර සහෝදරියන් සමඟ කෙළිදෙලෙන් ළමා කාලය ගත කළ මොහු ගංගාරාමාධිපති රාජකීය පණ්ඩිත දෙවුන්දර වාචිස්සර හිමියෝ අකුරු කියාදීමෙන් අනතුරුව වජිරාරාම දහම් පාසලේ ධර්මය ඉගෙන ගත්තේය. 1954 කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්ව උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරීය. විද්‍යාලයීය සම්මාන කිහිපයක්ම ලබාගනිමින් ඉගෙන ගත් මොහු 1967 දී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහි මහා ශිෂ්‍ය සංගමයේ උප සභාපතිවරයා විය. අධිනීතිඥවරයෙකු ලෙස 1972 ජුනි මස දිවුරුම් දෙන විට මොහු පරම්පරාවේ සිව්වැනි අධිනීතිඥවරයාය.

දේශපාලනයට පියමං කළේ 1973 දී ජාතික නීතිඥ සංගමය පිහිටවීමෙනි. 1973 එ.ජා.ප.යේ පෙරමුණේ භාණ්ඩාගාරිකවරයා විය. 1974 දකුණු කොළඹ අතුරු මැතිවරණ ව්‍යාපාරයේ ලේකම්වරයා විය. 1974 සමවාදී ශිෂ්‍ය පෙරමුණ ආරම්භ කළේය. 1975 අධ්‍යාපන සේවා සංගමයේ භාණ්ඩාගාරික විය. 1976 දේශපාලන බැට කෑවුන්ගේ සංගමයක් පිහිටවනු ලැබීය. 1975 කැලණිය සංවිධායකවරයා විය. 1976 දී බියගම සංවිධායකවරයා විය. 1977 ජූලි 22 වෙනි දින බියගම මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දුන්හ.

1977 දී කෘත්‍යාධිකාරී මණ්ඩලයට පිවිසි ඔහු 1978 එ.ජා.ප. විනය කමිටු සභාපති ලෙසද 1989 ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ලෙසද 1994 දී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙසද පත්ව පැවති අතුරු මැතිවරණ කීපයකම සංවිධායකවරයා ලෙස කටයුතු කළ අතර 1995 පක්ෂයේ නායකයා බවට පත්විය. පක්ෂයේ නායකත්වය ගත්දා සිට අවුරුදු 17ක් ජනාධිපතිවරු දෙදෙනෙකු රට පාලනය කරද්දී සිදුවූ සියලු අඩුපාඩුවලට වගකිවයුත්තා ඔහු විය. බලයට පත් රජය විවිධ කොමිෂන් සභා මඟින් පක්ෂයට තර්ජන එල්ල කරද්දී පක්ෂයේ ප්‍රබලයින් පක්ෂයේ විවිධ තනතුරු අත්හැරයද්දී මොහු ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිට පක්ෂය සංවිධානය කළේය.

පක්ෂ‍යට විවිධ නවතම අංගයන් රාශියක් යොදාගනිමින් නව මඟකට ගෙන යාමට උත්සාහ කළේය.

පක්ෂය ගෙන යාම සඳහා මුදල් නොමැති අවස්ථාවන්හි සිය පෞද්ගලික ධනය පවා වැය කර කටයුතු කළේය.

පක්ෂ නායකත්වය තුළින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් අකුරටම ක්‍රියාත්මක කිරීමට වෙහෙසුන අතර සෑම කල්හිම රට සහ පක්ෂය වැදගත්ම සාධකය ලෙස සලකා කටයුතු කළේය.

බියගම සංවිධායක වූ ඔහු 1977 ජුනි 06 වෙනි දින නාමයෝජනා බාරදුන්හ. බියගම ග්‍රාමසේවා කොට්ඨාස 19 කින්ද පාසල් 27කින්ද පන්සල් 39කින්ද පල්ලි 06කින් ද දේවාල 06කින් හා මුස්ලිම් පල්ලි 05ක් විය. උෂ්ණත්වය පැරන්හයිට් අංශ 80ක් වූ අතර වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1400කි.

ප්‍රධාන ජල මාර්ගය කැලණි ගඟ වූ අතර දෙල්ගොඩ, මාවරමණ්ඩිය, කඩවත, කඩමණ්ඩි වශයෙන් තිබිණ. ගඟින් එගොඩ වූයේ ඔරු පාරුවලිනි. බියගම හා උඩුපිල මාර්ගයේ බස් ධාවනය වූ අතර කිසිඳු අතුරු මාර්ගයක බස් ධාවනයක් නොවීය. තෙල් සංස්ථාව සපුගස්කන්දේ පිහිටා තිබිණි.

සුළු ප්‍රදේශ කීපයකට විදුලි ආලෝකය ලැබී තිබූ අතර ගමනාගමන හා ප්‍රවාහන කටයුතු වැඩි වශයෙන් සිදු කෙරුනේ කරත්තවලිනි. වැඩි වශයෙන් පොල් අතු වහලවල්වලින් නිවාස සෙවිලි කර තිබිණි.

මැතිවරණය සඳහා මනා කොට බියගම සේනා සංවිධානය කර ඡන්ද 38412කින් 22 045ක් ලබා වැඩි ඡන්ද 6769 කින් ජයග්‍රහණය කළහ. එතැන් පටන් 1994 දක්වා බියගම මන්ත්‍රීවරයා ලෙස සේවය කළ ඔහු බියගම උඩුයටිකුරු සංවර්ධනය කිරීමට පටන්ගත්හ.

උපදිසාපති කාර්යාලයක්ද පොලිසි 03ක් ද, ජල යෝජනා ක්‍රමය, විදුලි බලාගාරය, බෞද්ධ මධ්‍යස්ථාන, බියගම වෙළඳ කලාපය, බියගම කඩුවෙල පාලම, සමෘද්ධි මාවත, නව නුවර පාර, තරුණ සේවා මධ්‍යස්ථාන, ගොවිජන සේවා මධ්‍යස්ථාන, අධ්‍යාපන කාර්යාල, නගර සංවර්ධනය, සියලු පාසල් සඳහා දෙමහල් තෙමහල් ‍ගොඩනැගිලි, පොදු ජන සේවා මංමාවත් හා පාලම් රාශියක්ද තරුණ තරුණියන් උදෙසා රැකීරක්ෂා හා ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහා අදාළ කටයුතු ද නිම කරන ලදී.

විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස 1977 ජූලි 23 වෙනි දින දිවුරුම් දුන් ඔහු විදේශ ප්‍රතිපත්තිය රැකීමේ කාර්යයට උරදෙමින් කටයුතු කළේය.

යෞවන හා රැකීරක්ෂා කටයුතු අමාත්‍යවරයා ලෙස 1978 සැප්. 07 වෙනිදා දිවුරුම් දුන් ඔහු එවකට කැබිනට් මණ්ඩලයේ ළාබාලම ඇමතිවරයා විය.

තරුණ කටයුතු ප්‍රඥප්තිය ස්ථාපති කිරීම, තරුණ සේවා මධ්‍යස්ථාන පිහිටුවීම, ජාතික යොවුන් පුර පැවැත්වීම, යෞවන සමාජ, තරුණ පාර්ලිමේන්තුව, ස්වයං රැකියා නියුක්තිය, දේශපාලනයට තරුණ නියෝජනය, බෙල්වුඩ් පුහුණු, කලා ශිල්ප හා විදේශීය පුහුණුවීම් උපාධිධාරි රැකියා ස්ථාපනය ප්‍රධාන කොට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළහ.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ඩෙලික් ඉංග්‍රීසි අධ්‍යාපනය, උසස් පෙළ පංති වැඩි කිරීම, පොකුරු පාසල් ක්‍රමය, ජාතික අධ්‍යාපන පීඨය, අධ්‍යාපන කොමිෂම, අධ්‍යාපන පර්යේෂණ ආයතනය, පාසල් සඳහා පරිගණක පුහුණුව, ළමයින් පාසල්වලට ඇතුළත් කිරීමේ කාලය වසර 5 දක්වා අඩු කිරීම, නවාංග පූර්ණ අධ්‍යාපනය, විෂය මූල ක්ෂේත්‍රය, අධ්‍යාපන පීඨ ඇති කිරීම, සුදුසුකම් මත පමණක් ගුරුවරුන් බඳවා ගැනීම ආදී වූ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෙරළියක් සනිටුහන් කළේය.

කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව පුරෝගාමී කර්මාන්ත සඳහා පස් අවුරුදු සැලැස්ම කර්මාන්ත ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම, දේශීය කර්මාන්ත විදේශ වෙළඳ පොළට නැඹුරු කිරීම, කාර්මික කොමිෂම ප්‍රාදේශීය කාර්මික සේවා කමිටු කාර්මික උපදේශක සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ජාත්‍යන්තර වෙ‍ෙළඳ පොළ සඳහා අඩු පිරිවැය, උසස් නිමාවේ භාණ්ඩ නිෂ්පාදන සංකල්පය, පුරෝගාමී කර්මාන්ත වැඩසටහන, නව තාක්ෂණික ශිල්ප ක්‍රම, කෝටා ක්‍රමය ඉවත් කිරීම, කොග්ගල වෙළඳ කලාපය, ආයෝජනය සඳහා වූ කාරක සභාව ආදී කාර්යයන් ඉටු කරන ලද අතර 1977 වන විට ලංකාව විදේශ වෙ‍ෙළඳ පොළට නිෂ්පානය කරන ලද 25ක් වූ කාර්මික නිෂ්පාදන ප්‍රමාණය 1994 වන විට 1200 දක්වා වැඩි කරන ලදහ. කෘෂි අපනයනය කෝටි 64 වන විට කාර්මික භාණ්ඩ අපනයනය කෝටි 89 දක්වා වර්ධනය කළේය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය දරමින් සෑම ගමකම ලොකු කුඩා මංමාවත්, පාලම්, බෝක්කු ප්‍රතිසංස්කරණය කිරීම හා ස්වයං රැකියා ණය පහසුකම් සැලසීම දැනටමත් කරගෙන යනු ලබයි.

1991 අගෝස්තු 28 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ආර්. ප්‍රේමදාස ජනාධිපති දෝෂාභියෝගයෙන් ජනාධිපතිවරයා ද රජය ද පෙරලි යතියි බො‍හෝ දෙනා සිතූහ. ඒ මොහොතේ වහා ක්‍රියාශීලී වූ මොහු ජනාධිපති වරයාට සහය පළ කරන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගත්හ. ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් කැඳවා එයින්ද, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා විධායක සභාවද කැඳවා විශ්වාසය පළ කරන යෝජනා සම්මත කර ගත්හ.

දෝෂාභියෝගය පිළිබඳ නඩු තීන්දුවකට යාමට නොහැකි වන පරිදි සියල්ල සූදානම් කළ මොහු පක්ෂයේ ගැටුම් පක්ෂය මතම විසඳාගත යුතුය යන සංකල්පයේ පිහිටා දෝෂාභියෝගයට අත්සන් කළ අයද නොකළ අයද සමඟ දිවුරුම් පෙත්සම් මඟින් කථානායකවරයාට කැමැත්ත පළ කළ සිදුවීමට ගිය විනාශය වළක්වා ගත්හ.

රටට ව්‍යසනයක් වූ ඕනෑම මොහාතක පක්ෂ භේද ජාතිභේද නොසලකා එක්සත්ව එක්සිත්ව කටයුතු කිරීම මොහුගේ උදාර කාර්යයකි. ජාතිවාදි, අරගලයේදී සාමය පතා ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කිරීමේදී මහඟු කාර්යක් ඉටු කළේද, සුනාමියෙන් රට විපතින් බේරා ගැනීමට එවකට පැවති රජය හා එක්ව කටයුතු කිරීමට සුනාමි ගිවිසුමට අත්සන් තැබුවේත් යුද්ධය සඳහා උදව්දීම සඳහා පැවැති රජයට සහාය පළ කිරීම සඳහා වූ ගිවිසුමට අත්සන් තැබීමත් ලියැං පොක්ස් ගිවිසුම, ජී.එස්.පී. ප්ලස් ගිවිසුම නම් වූ සාකච්ඡා හා නෝර්වේ සඳහා යොමු වූයේත් රටට යහපතක් සිදු කිරීම උදෙසාය.

ජනාධිපති ප්‍රේමදාස ඝාතනය වීමෙන් පසු බුද්ධිය මෙහෙයවා ක්‍රියා කළේය. 1993 මැයි 01 වෙනිදා ශ්‍රී ලංකාවේ අභියෝගාත්මක අවස්ථාවක මෙම ඝාතනය සිදු විය. රජයේ ප්‍රධානී සේනාධිනායක, කැබිනට් මණ්ඩල ප්‍රධානී වියෝ වූ අවස්ථාවේ රට අස්ථාවරවීමට ඉඩ නොදී අගමැති ඩී.බී. විජයතුංග ජනාධිපති ලෙස දිවුරුම් දීමට කටයුතු යොදා කැබිනට් මණ්ඩලය කැඳවා ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් කැඳවා සියලු කටයුතු ඉටු කළේය. කොළඹට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාව සාමකාමීව පිටත් කර යවා නීතිය හා සාමය ආරක්ෂා කරමින් විජේතුංග මහතාට ජනාධිපති ධුරයේ වැඩ කටයුතු කිරීමට මඟ සලසා දුන්හ.

1994 මැතිවරණයේදී තනි පක්ෂයක් ලෙස එ.ජා.ප. වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් සිටියද සංවිධානගත පොදු පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් වැඩිවිය. ඒ අවස්ථාවේ වෙනත් මන්ත්‍රීවරුන් සමඟ රජයක් පිහිටුවීමට අවස්ථාව තිබුණද එසේ නොකර අරලියගහමන්දිරයෙන් පිටවූයේ පුද්ගලික වාහනයකිනි.

ඕනෑම අභියෝගයකදීම මුහුණදීමට බිය නැති මොහු නායකත්වය ඉල්ලා සිරිකොතට පහරදීමේදී ද, බටලන්ද කොමිෂම ඉදිරියේදී මහබැංකු බැඳුම්කර කොමිසම ඉදිරියේදී නොසැලී ක්‍රියා කළේය.

පුරා 40 වසරක කාලය තුළ සිසු පරපුරට සෞභාග්‍ය උදාකර, දහම් පාසල් නංවාලමින්, ශාසනයේ උන්නතියට සම්බන්ධ වී රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස අපක්ෂපාතීව ක්‍රියා කරමින්, ක්‍රීඩා කටයුතු නංවාලමින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් කටයුතු කරන අතරතුර තමන්ට පරපුරෙන් හිමිකම් කියන පන්සල් රැකගැනීම ද නො අඩුව කරති. සේදවත්තේ මෙනරාගොඩ පුරාණ විහාරය කොළඹ වාලුකාරාමය, කැලණිය රජමහා විහාරය, කොළොන්නාව හා කුලියාපිටිය විහාරස්ථාන දියුණු කරන්නේ තමන්ගේ පෞද්ගලික ධනයෙනි.

අධ්‍යාපනය ලබද්දී කිසිදු විභාගයකට දෙවරක් පෙනී නොසිට එක් වතාවෙන්ම සමත් වූ ලංකාවේ පමණක් අධ්‍යාපනය ලැබූ ජනාධිපතිවරුන් හයදෙනෙකු සමඟ සුහදත්වයෙන් කටයුතු කරන ලද ප්‍රබල පක්ෂ දෙකක් එක් කර රජයක් පිහිට වූ මොහු හැර වෙන අයෙකු මෙලොව නැත.

මහජන සම්බන්ධතා නිලධාරී
සැම්සන් චන්ද්‍රරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();