සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන දිවයින පුරා නිවාසලාභීන්ගේ නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා ක්‍රියාත්මක කෙරෙන මානව ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළකි.
නිවාස හා ඉදිකිරිම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක මේ වැඩසටහන යටතේ ගතවු තෙවසරකට ආසන්න කාලපරිච්ඡේදයක් තුළදී නව ආදර්ශ ගම්මාන 606ක ඉදිකිරීම් කාර්යයන් දැනටමත් ආරම්භ කොට තිබේ. යළි උදාවු උදාගම් ව්‍යාපාරය තුළින් ක්‍රියාත්මක මේ ජනාවාස සංවර්ධන වැඩසටහන යටතේ නිවාසලාභීන්ගේ අයිතියට පත්කෙරෙන 55 වන ආදර්ශ ගම්මානය ,සියනෙතුගම, නමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජුල්පල්ලම නම්වු සුන්දර ගම් පෙදෙසක් තුළදී අද ( 06) නිවාසලාභීන්ගේ අයිතියට පත්කෙරේ.
උදාගම් ව්‍යාපාරය පෙරටුකරගත් ශ්‍රී ලංකාවේ නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන ක්‍රියත්මක කිරීමේ පුරෝගාමී ආයතනය වන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පසුගියදා සිය 39 වන සංවත්සරය සමරනු ලැබීය. එම අධිකාරියේ මූලිකත්වයෙන් නිවාස මුල්කොටගත් සියලු සංවර්ධන කාර්යයන් සිදුකරනු ලැබූ සියනෙතුගම ආදර්ශ ගම්මානය මෙතෙක් දිවයිනේ ඉදිකෙරුණු සෙසු ආදර්ශ ගම්මානවලට වඩා සුවිශේෂත්වයක් ගනු ලබයි.
මේ ගම්මානයේ ඉදිවු නිවාස ප්‍රමාණය 29කි. ඒ සියල්ලේ හිමිකරුවන් බවට පත්ව ඇත්තේ දෘශ්‍යාබාධිත නිවාසලාභීන් පිරිසකි.
උතුරු නැඟෙනහිර ප්‍රදේශ ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවේ සියලු ජනකොටස්හි නිවාස අවශ්‍යතාව නිවැරදිව හඳුනාගනිමින් එම අවශ්‍යතාවන් නිවාසලාභී පවුලේ සාමාජිකයන්ගේ ඕනෑ එපාකම්වලට සරිලන අයුරින් නිර්මාණය කරනු ලබන ,සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ, මෙවර අවධානය යොමුකර ඇත්තේ දැඩි ලෙස නිවාස අවශ්‍යතාව පවත්නා දෘශ්‍යාබාධිත ජන පිරිසක් සම්බන්ධයෙනි. විශේෂ අවශ්‍යතාවන් පවත්නා ජන කණ්ඩායමක් ලෙස ඔවුන් සමාජයේ විවිධ අභියෝගයනට මුහුණපා සිටී. සිය ආර්ථික හා සමාජිය අවශ්‍යතාවන් සපුරාලීමේදි සමාජයේ සෙසු ජනකොටස් සමඟින් එකි අවශ්‍යතාවන් සපුරා ගැනීමට මේ ජන කණ්ඩායම දැඩි වෙහෙසක් ගනු ලබයි.
නිවසක්, පවුලේ මූලික අවශ්‍යතාවක් වන අතර, මෙවන් වු විශේෂ අවශ්‍යතාවක් පවත්නා ජන කණ්ඩායමකට තමන්ගේම නිවසක හිමිකමක් යන්න හුදෙක් සිහිනයක් පමණි. එම සිහිනය සෑබෑ කරමින් නිවාස හා ඉදිකිරිම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂිත උපදෙස් හා මඟපෙන්වීම යටතේ උදාවු සියනෙතුගම නිර්මාණය කරලීමේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමඟින් අත්වැල් බැඳ ගනිමින් එම ගම්මානයේ සංවර්ධන කාර්යයට අවශ්‍ය ශක්තිය හා මඟපෙන්වීම ලබාදෙනු ලැබුවේ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයයි. මෙයට වසර 25කට ප්‍රථම ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් අප රටේ ග්‍රාමීය ප්‍රදේශයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සපයා ගැනීම අරමුණු කොට ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ස්ථාපිත කළ අතර, එදා අද කාලය තුළදී මේ ආයතනය ග්‍රාමීය සංවර්ධනයේ යටිතල පහසුකම් වැඩිදියුණුවේ කාර්යභාරය ශක්තිමත් කිරීම උදෙසා සුවිශේෂි දායකත්වයක් ලබාදී තිබේ. එම ආයතනයේ 25 වන සංවත්සරය සමරමින් සියනෙතුගම උදාකිරීම සඳහා කටයුතු කර තිබේ.
සියනෙතුගම නිවාස මුල්කොටගත් ජනාවාසයකට ඇවැසි සියලු පහසුකම්වලින් සමන්විත වේ. අභ්‍යන්තර මාර්ග, ජලය හා විදුලිය මෙන්ම සෑම නිවසක්ම, නිවසකට අවශ්‍ය මූලික පහසුකම්වලින් යුක්ත ලෙසින් නිර්මාණය වී ඇත. ජනාධිපතිතුමන්ගේ පුරෝගාමිත්වයෙන් ක්‍රියාත්මක ග්‍රාමශක්ති සංකල්පය යටතේ මේ ආදර්ශ ගම්මානයේ ද අවශ්‍ය සංවර්ධන කාර්යයන් නිවාසලාභීන්, රාජ්‍ය නිලධාරින් එක්ව සිදුකිරීම මෙහිලා දැකගත හැකි විශේෂිත ලක්ෂණයකි.
දෙනෙත් අහිමි වුවද, තම සිතැඟියාව තුළින් තමන්ට හිමිවු නිවහනේ වටිනාකම හොඳින් දැකගත් සියනෙතුගම ගම්වැසියන්, අනපේක්ෂිත අයුරින් නිවහන පිළිබඳ සිහිනය සැබෑවීම සම්බන්ධයෙන් භුක්ති විඳිනුයේ මහත් වු සතුටකි.
මේ පිළිබඳ අදහස් දක්වන සියනෙතුගම නිවාසලාභි, හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෘශ්‍යාබාධිත සංගමයේ සභාපති නන්දසිරි වනිගසේකර මහතා සියනෙතුගම උදාව පිළිබඳ දක්වන්නේ මෙවන් අදහසකි. ,මම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපනය හදාරා සමාජයට මෙහෙවරක් ඉටුකිරීමේ අපේක්ෂාවෙන් 2010 වසරේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෘශ්‍යාබාධිත සංගමයේ ශාඛාව පිහිටවනු ලැබුවා. 2012 වසරේ සිට එම සභාපති ධූරය මවිසින් දරන අතර, දෘශ්‍යාබාධිත ජනතාවට ස්වයං රැකියා ආධාර ලබාගැනීමටත් එවන් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාගැනීම උදෙසාත් අප සංගමය නිරන්තරයෙන් උදව් උපකාර සිදුකරනු ලැබුවා. සියනෙතුගම උදාව ඇත්තෙන්ම අපි නොදුටු සිහිනයක් සැබෑවීමක්.
අප කිසිදාක අපේම කියල නිවසක් පිළිබඳ අපේක්ෂාවෙන් සිටි අය නොවේ. නිවාස හා ඉදිකිරිම් ඇමැතිතුමන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෘශ්‍යාබාධිතයන් සඳහා මෙවන්වු නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට මේ අදහස ඉදිරිපත් කළ අවස්ථාවේදි අපට එය අදහාගත නොහැකි වුණා. එදා අද කාලය තුළදී අපිට අපේම කිවහැකි නිවහනක් නිර්මාණය කිරීමට එතුමන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සියලු උදව් උපකාර ලබාදෙමින් අවශ්‍ය දායකත්වය ලබාදෙනු ලැබුවා. මෙවන් සමාජ සහනයක් තුළින් අපිට අපේම කියල නිවසක් ලැබෙයි යන්න පිළිබඳ අපි කිසිදිනෙක අපේක්ෂා කළේ නැහැ.
දෑසින් නොදුටුවත් මනසින් අපි ලබපු ජයග්‍රහණය දැකගත හැකි වෙනවා. අද අපේ දෘශ්‍යාබාධිත සමාජයේ විශාල පිරිසක් මේ ගම් පියසට එක්රැස්වී සිටිනවා. එය අපට විශාල සතුටක්. රටක නායකත්වයක් ගතයුත්තේ මේ ආකාරයෙන් රටේ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවන් නිවැරදිව හඳුනාගන්නා නායකයිනුයි. සජිත් ප්‍රේමදාස මහතාට අපගේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පුදකර සිටිනවා. ඒ වගේම ජාතික නිවාස සංවර්ධන අධිකාරියටත්,ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයටත්, අපගේ ස්තූතිය පුදකළ යුතුයි.
සියනෙතුගම උදාවීමේදී එහි බොහෝ සංවර්ධන කාර්යයන් නිලධාරින් සහ ප්‍රජා දායකත්වයෙන් සිදුවුවද, නිවාස හිමිකම ලැබූ දෘශ්‍යාබාධිත පිරිස් ඒ සඳහා වඩාත් ක්‍රියාශීලිව තම දායකත්වය ලබාදෙනු ලැබීය. ඒ අනුව ඔවුන් තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතාවට අනුකූලව අදාළ නිවාස නිර්මාණය කොට තිබේ.
එම කාර්යයභාරයේදී මූලිකත්වය ගෙන කටයුතු කළ අගම්පොඩිගේ සෝමදාස මහතා දක්වන්නේ මෙවන් අදහසකි. මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩුවෙල්මුල්ල ගමේ ජිවත්වු අයෙක්. උපතින්ම අන්ධ වූ බ්‍රේල් මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවා. මොණරාගල දිස්ත්‍රික්කයේ දෘශාබාධිත මෙන්ම සහ ශ්‍රවණාබාධිත දරුවන් සඳහා පාසලක් ආරම්භ කරනු ලැබුවා. මේ වනවිට එම පාසලේ 10 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් විශ්ව විද්‍යාලයට තේරි තිබෙනවා. මවිසින් සිදුකරන ලද එම පුණ්‍ය කර්මය සජිත් ප්‍රේමදාස මහතා නිර්මාණය කළ සියනෙතුගම නිවහක හිමිකම ලැබිමට හේතු වු බව මගේ විශ්වාසයයි. එතුමා අපට ඉදිකරදුන් මේ නිවහනේ සෑම තැනකම අපි ගමන් ගන්නේ මහත්වු ආඩම්බරයකින් හා සතුටකින්.
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අපි වැනි දෘශ්‍යාබාධිතයන් වෙනුවෙන් එදා සීදුව ප්‍රදේශයේ ,නයනාලෝකගම, ඉදිකරනු ලැබුවා. එයට දශක තුනකට පසු නැවත සියනෙතුගම තුළින් අප සමාජයට ලබාදුන් මේ අනුග්‍රහය හා දායකත්වයට අපි සියලු දෙනා සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමන්ට ප්‍රණාමය පුදකරනු ලබනවා.
නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා, 2020 වසර වනවිට දිවයින පුරා ආදර්ශ ගම්මාන 2500 ක් ඉදිකිරීමේ ජාතික නිවාස සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත් කරලමින්, සියනෙතුගම උදාවේ. මේ ජාතික මෙහෙවරේ අවසන් අරමුණ වනුයේ 2025 වසර වනවිට මෙරට ජීවත්වන සෑම පුරවැසියෙකුටම තමන්ගේම නිවහනක අයිතිය ලබාදීමයි.
ලක්විජය සාගර පලන්සුරිය
සභාපති
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
0 Comments