විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ගත යුතු තීරණය කුමක්ද යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් නොදුන් බවද සියලු දෙනාටම එකමතික තීරණයකට එළඹෙන ලෙස පමණක් උපදෙස් දුන් බව වරාය හා නාවික ඇමති මහින්ද සමරසිංහ මහතා පැවසී ය.
ශ්‍රීලනිපය ගත් තීරණය සම්බන්ධයෙන් හා ක්‍රියාකළ අන්දම සමබන්ධයෙන් ජනාධිපතිවරයාට චෝදනා එල්ල කිරීම පිළිබද තම කණ්ඩායම තරයේ විරෝධය පළ කරන බවද අවධාරණය කෙළේ ය.
මේ අනුව රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා පැහැදිලි තීරණයක සිටි අතර ශ්‍රීලනිප කණ්ඩායමට ඒකමතික තීරණයකට එළඹීමට නොහැකි වූ බවත් මත කිහිපයක් ඉදිරිපත් වූ බැවින් විශ්වාසභංගය සම්බන්ධයෙන් කිහිප ආකාරයකින් ක්‍රියා කළ බවත් පෙන්වා දුන්නේ ය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්ඩායම ගනු ලැබූ තීරණ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නියමයෙන් ගනු ලැබූ ඒවා නොවන බව හෙතෙම අවධාරණය කළ අතර විශ්වාසභංගය සම්බන්ධයෙන් එක් පක්ෂයක් ගැනීමට ජනාධිපතිවරයා කටයුතු නොකළ බව පෙන්වා දුන්නේ ය.
විශ්වාසභංගයෙන් පසු ද රටේ ප්‍රධානියා ලෙස පාලන කටයුතු ඉදිරියට ගෙන යාමට අවශ්‍ය බැවින් විශ්වාසභංගය සම්බන්ධයෙන් පාර්ශ්වයක් ගැනීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවද කීය.
ශ්‍රීලනිප කණ්ඩායමේ බහුතර මතය අනුව අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස යෝජනා කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා උපදෙස් නොදුන් බවත් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ආණ්ඩුවේ ශ්‍රී ලනිප මැති ඇමතිවරු සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්නේ නම් ඡන්දයෙන් වැළකී සිටි අය සම්බන්ධයෙනුත් ගැටලු මතු විය හැකි බව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් ගැටලු ඇති කර නොගෙන ඉදිරියේ දී සිදුකළ යුතු සංවර්ධන කාර්යයන් සම්බන්ධයෙන් පොදුවේ සිතා ක්‍රියාත්මක විය යුතු බවද පැවසීය.
කෙසේ වුවද ශ්‍රී ලනිපයේ ප්‍රති සංවිධානයක් සිදු කළ යුතු බවද පෙන්වා දුන්නේ ය.
0 Comments