කුමරතුඟු මුනිදස් මහ වියතාණන් හෙළය පියා ගොස් 2018 මාර්තු 2 වැනි දාට වසර හැත්තෑ හතරක් සපිරිණි. අවුරුදු පතා ඔවුන් සමරමින් කැරෙන උළෙල ද සිරිත් පරිදි මෙවරත් මාර්තු දෙවැනිදා සිදුකැරිණි. ඔවුන්ගේ ඇවෑමෙන් දින නවයකට පසු (1944.03.11දා) “සිංහල බලය” පුවත්පතට “කුමාරතුංග කවියාණනි” යන මැයෙන් වතුරේගම කිවියා ලියූ පැදි වැළෙහි සයවැනි පැදියේ මුල් පදය යි මේ. ලිපියෙහි මැය හැටියට යෙදුණේ. මුළු පැදිය මෙසේ යි.
“අ යනු නො වේ ඇ යනු යැ හෝඩියෙහි මුල
කියමින් කිවිසුරෙනි ඔබ හඬ නඟන කල
වියරු වැ දොඩවතැයි සිතමින් දිව පැකිළ
බිය වී බලා සිටියොද සිහළ පඬි කැළ”
ඒ පැදියෙන් කියැවුණේ ඔවුන් දිවමන් වැ සිටියැදී වියත් සබයෙකැ ඔවුන් විසින් කරන ලද දෙසුමක් ගැන යැ, ඒ දෙසුමෙන් එ තුමන් පෙන්වා දී ඇත්තේ සිදත් සඟරාවේ සිංහල හෝඩිය දක්වා ඇති තැන පිළිවෙල බිඳුමක් සිදු වී ඇති බව යි. කුමක් ද ඒ පිළිවෙළ බිඳුම?
සිදත් සඟරාවේ සන් අදියරෙහි හෝඩිය දක්වා ඇත්තේ මෙසේ යි.
“පණකුරු ගතකුරු ඈ නම් ලකුණෙන් හඳුන්වනු සන් නම් පණකුරු පසෙකි එ ද ලුහු ගුරු වෙයින් දස වේ. ගතකුරු ද වේ විස්සෙක් වහරට යනු සියබැසැ,
අ ආ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ මේ දස පණකුරු නම් ක ග ජ ට ඩ ණ ත ද න ප බ ම ය ර ල ව සහළ අං මේ විසි ගතකුරු නම්.”
මෙහි පණකුරු දක්වන පෙළෙහි අ ඈ අකුරු දෙක නැත. ඒත් සිදත් සඟරාවේ හැම සිදතක් මැ දක්වමින්, මේ ඈ ගී, මේ ඈ ගී යැයි ලියැවී ඇත. මෙසේ ‘ඇ’ යන්න අත්හරින්නට බැරි වූ හෙයින්, “ඇප් ඈ මතසින් වැඩියෙන් මත් වැඩි නම්”, යැයි ‘ඇ’ යන්න ‘අ’ යන්නේ මත් වැඩියක් හැටියට පෙන්වා ඇතත්, සැබැවින් මැ ‘ඇ’ යන්නේ ‘අ’ යන්නට වැඩියෙන් මත් වැඩියක් නම් ඇත්තේ මැ නැත.
කුමරතුඟු මුනිදස්හු පැරැණි පත පොතේ මෙවැනි අඩුලුහුඬුකම් පිළිබඳින් බෙහෙවින් පිරියෙසුම් කළහ. එ වැනි පිරියෙසුමක් පිළිබඳින් ඔවුන් කළ දෙසුමක් ගැන යැ වතුරේගම කිවියා අර පැදියෙහි සඳහන් කැර ඇත්තේ. කුමක් ද ඒ පිරියෙසුම?
“ඇ” යන්න හෙළ බසේ වෙසෙසි ලකුණකි. සකු පාලි ඈ අනෙක් කිසි මැ බසෙකැ ‘ඇ’ යන්නක් නැත. එය හෙළ බසේ සියත්බව කියා පාන ලකුණක් ද වෙයි. නොනැමියා මාරුව (ආනම්‍ය ආදේශය) යන වියරණ නියර ද කුමරතුඟු මුනිසුන්ගේ පිරියෙසුම් නිසා හෙළි වූ වියරණ නියරකි. ඉන් පෙරැ ලියැවුණු වියරණ පොත්හි ඒ වැන්නක් සඳහන් වැ නැත.
අ, උ, ඔ, යන අකුරු තුන සුදුසු තන්හි ඇ ඉ එ යන අකුරු තුනට නැමෙයි.
මහලු - මැහැලි කම් - කැමින් බල - බැලී
කුහුඹු - කිහිඹි මුව - මියෙන් කුප් - කිපී
කොලු - කෙලි ලොව් - ලෙවින් තෝර - තේරූ
මේ රීතිය සොයා ගත් කුමරතුඟු මුනිදස්හු අ, උ, ඔ යන අකුරු තුන නැමි අකුරු හැටියටත් ඇ, ඉ, එ යන අකුරු තුන නොනැමි අකුරු හැටියටත් පෙන්වා දුන්හ. ඒ අකුරු මාරුව යැ නොනැමියා මාරුව (අනම්‍යාදේශය) නම්.
සිදත් සඟරාකරු හෝඩියේ පණ හඬ පෙන්වා ඇති තැන, අ, ආ ඉ ඊ උ ඌ ඒ ඒ ඔ ඕ යන අකුරු දහය පමණක් පෙන්වා ඇතත් ඇ ඈ යන අකුරු දෙක හෙළ හෝඩියෙන් ඉවත් කළ නොහැක. ඇ යන්න අ යන්නේ මත් වැඩියක් ද නොවේ. එ හෙයින් හෙළ හෝඩියේ පණ හඬ දොළොසෙක් ඇත. අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඒ ඒ ඔ ඕ යනු ඒ දොළොස යි.
දැන් අපි මේ කෙටි හඬ හය පමණක් ගනුමු.
අ ඇ ඉ උ එ ඔ
‘අ’ - නැමි අකුරිකි. ‘ඇ’ - නොනැමි අකුරකි
උ - නැමි අකුරකි. ‘ඉ’ - නොනැමි අකුරකි
ඔ - නැමි අකුරකි. ‘එ’ - නොනැමි අකුරකි
මේ අනු වැ අ, ඇ. ඉ, උ, එ, ඔ යැයි පෙළ ගැසූ විට එහි ඇත්තේ නැමි නො නැමි, නොනැමි, නැමි, නොනැමි නැමි යන පිළිවෙල යි. එහි පිළිවෙල බිඳුමෙක් නො පෙනේ ද? මුල් අකුරු දෙක නැමි, නොනැමි, අනෙක් හතර, නොනැමි නැමි නො නැමි, නැමි. මේ පිළිවෙල බිඳුම වළකා පෙළ ගසතොත්, නො නැමි, නැමි, නොනැමි නැමි, නොනැමි නැමි යන සැටියෙන් ගත යුතු වෙයි. එවිට ඇ අ ඉ උ එ ඔ යන ලෙසිනි සිටිනුයේ.
කුමරතුඟු මුනිදසුන් එදා ඒ වියත් සබයේ සිය දෙසු කරමින් ඉදිරිපත් කළ මේ පැහැදිලි කිරීම යැ වතුරේගම කිවියා අර පැදියෙන් කියා ඇත්තේ. කුමරතුඟු මුනිදසුන් හෙළ බසේ වැඩිදියුණුව තකා කරන ලද මෙ වැනි පිරියෙසුම් සිය ගණනින් ගිණිය යුතු වෙයි. ව්‍යාකරණ විවරණයට ලියු සංඥාපනයෙහි ඔවුන් මෙ සේ කියා ඇත.
“මති මාත්‍ර වූවෙක් මෙහි නො ඒ. එහෙත් අන්‍ය ව්‍යාකරණ කාරයන් නො දැක්වූ දෑ බෙහෙවින් පැවැසේ. පුරාතන වූ හෝ නූතන වූ හෝ ව්‍යවහාරයෙන් පිහිට ලද තන්හි අන්‍ය ව්‍යාකරණ කාරයන්ගේ කියුම් නො සලකා ඇති රීති හෙළි කරන්නට කිසි සේත් මැළි නුවූමු. මේ කිහිපයෙකි.”
එ එසේ කියමින් එ බඳු රීති විසිහයක් එ තැන පෙන්වා ඇත. අවුරුදු දෙවිස්සක් තරම් කෙටි කලෙකැ දී එවැනි පිරියෙසුම් සිය ගණනින් කෙරෙමින් පොත් එකසිය තිහකටත් වැඩි ගණනක් ලියා පළ කළ එ වැනි මහ වියතාණ කෙනකුට ලක් දනගෙනුත් ලක් රජයෙනුත් ලැබුණු සැලකිල්ල ගැනැ හියුබත් දිසානායකයන් කියා ඇත්තේ මෙ සේ යැ.
“ලක් දනගෙන් වත් ලක් රජයෙන් වත් නොලබා කළගුණ සැලැකිල්ලක්ය
න්නට ගිය මුත් නො කියා කිසි විටැ ගුණමකු බව ගැන මැසිවිල්ලක්ම
හ වියාතාණනි ඔබ නොමැ වන්නට හෙළ දරුවන් ඇස් පැහැදිල්ලක්නො
ලබන බව අද පැවැසේ තැන තැන නොතකා කුල මළ විමැසිල්ලක්”
හේමසිරි කුමාරණතුංග
0 Comments