ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගන්නා 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන ඇත.
ඒ යටතේ දැනට පවතින දුරකථන පද්ධතිය තාක්ෂණික වශයෙන් ශක්තිමත් කෙරෙනු ඇත. එමෙන්ම එයට අනුයුක්තව කටයුතු කරනු ලබන නිලධාරීන්ගේ ශක්‍යතාව වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර ඒ යටතේ එම නිලධාරීන් සඳහා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පුහුණුවීම් ලබාදීමට ද අපේක්ෂා කෙරේ. මේ සඳහා ජාත්‍යන්තර සංවිධාන හා සිවිල් සංවිධානවල සහයෝගය ලබා ගැනේ.
1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතේ 14 වන වගන්තියේ “ඔ” උප වගන්තිය ප්‍රකාරව ළමා අපයෝජන පිළිබඳව මහජන පැමිණිලි භාරගැනීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සුවිශේෂී කාර්යභාරයක් ලෙස හඳුන්වා දී ඇත. ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගන්නා කඩිනම් යාන්ත්‍රණය ලෙස 2010 වර්ෂයේ දී ආරම්භ කරන ලද 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ක්‍රියාත්මක වේ. දවසේ පැය 24 පුරාවට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් ක්‍රියාත්මක වන මේ ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය වෙත ඕනෑම ජංගම හෝ ස්ථාවර දුරකථනයකින් නොමිලේ ප්‍රවේශවීමේ හැකියාව ඇත. විශේෂයෙන් ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගැනීමට ශ්‍රී ලංකාවේ ඇති කඩිනම් ම යාන්ත්‍රණය වන මේ ළමා දුරකථන සේවය තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත.
0 Comments