දැනුමින් පිරි සමාජයක් යහපත් ආර්ථිකයක් සමඟ හොඳ ගමක්, හොඳ රටක් දැයට දායාද කිරීමට සියලු දෙනාම කැපවීමෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා (01) හිඟුරක්ගොඩ යෝධ ඇළ මහා විද්‍යාලයේ දෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල ඉදිකිරීමේ උත්සවයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.
යෝධඇළ මහා විද්‍යාලයේ දරුවන් සඳහා දීර්ඝ කාලයක සිට තිබූ අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් ඉදිකෙරුණු ගොඩනැඟිල්ල විවෘත කරන අවස්ථාවට ඔබ සමග එක්වන්නට ලැබීම පිළිබඳ මා ඉතාමත් සතුටු වෙනවා.
යෝධඇළ ජනපදය මින්නේරිය ගොවිජනපද ව්‍යාපාරය පිළිබඳ මේ දරුවන්ට වගේම මෙහි සිටින සෑම කෙනෙකුටම ඉතාමත් හොඳ අවබෝධයක් තිබෙනවා. මීට අවුරුදු 69 කට පෙර ආරම්භ වුණු මේ ගොවිජනපද ව්‍යාපාරය තුළ ආර්ථික සංවර්ධනයත්, රටේ ජාතික ආර්ථිකයට දෙන දායකත්වය වගේම මේ ප්‍රදේශවලින් බිහිවූ දරුවන් අද අපේ රටේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල්වල තමාගේ දැනුම මුල්කරගත් තනතුරු තුළ ඉතාම විශිෂ්ට සේවයක් මුළු මහත් මානව සමාජය වෙනුවෙන්ම ඉටුකරනු ලබනවා.
මේ පාසල පිළිබඳ ඉතිහාසය පිළිබඳ ඔබට අවබෝධයක් තිබෙනවා. පසුගිය අවුරුදු තුනක කාලය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් වල අඩුපාඩු අංගසම්පූර්ණ කරන්න අප විසින් විශාල උත්සාහයක් ගෙන තිබෙනවා. හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ තිබෙන්නේ පාසල් 94 යි. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ නව ගොඩනැගිලි ඉදිකර වැඩ අවසන් වූ පාසල් සංඛ්‍යාව 32 යි. අලුත් ගොඩනැගිලි ගොඩනැගෙමින් තිබෙන පාසල් සංඛ්‍යාව පාසල් 50 යි. ඒ අනුව පාසල් 94 න් පාසල් 82 ක වැඩ කටයුතු මේ වනවිට කරගෙන යනවා. 32 ක වැඩ අවසන් වෙලා තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත පාසල් සංඛ්‍යාව 240 ක්. අද දවස වන විට ඒ පාසල් 240 න් පාසල් 142 ක ඉදිකිරීම් විවෘත කරන්න තිබෙනවා. කාලය කළමනාකරණය කර ගැනීමට තිබෙන අපහසුතා නිසා සියලු පාසල්වලට යන්න මට අවස්ථාවක් නැහැ. මම පැමිණියත් නොපැමිණියත් මෙම දිස්ත්‍රික්කයේ අධ්‍යාපනික අවස්ථා සම්පූර්ණ කරලා දරුවන්ට ඉගෙනගන්න සුබදායී පරිසරයක් නිර්මාණය කර ගන්න අවස්ථාව ලබාදෙමින් මෙම පුළුල් ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ලැබීම පිළිබඳ මම ඉතාමත් සතුටට පත් වෙනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් වගේම රෝහල්, මාර්ග, පානීය ජලය වැනි සංවර්ධන ව්‍යාපෘති තුළින් ඉතාමත් වේගවත් සංවර්ධනයක් ළඟාකර දී තිබෙනවා. එක්දහස් නවසිය පණස් ගනන්වල ඩී.එස් සේනානායක මහතා මේ ගමට පැමිණි බව මට දැනගන්න ලැබුණා. එතුමා එදා ගොවි ජනතාවගේ අඩුපාඩු සොයලා බලලා ඒවා සම්පූර්ණ කලා. ඩී. එස් සේනානායක මහතා ආරම්භ කළ මේ ගොවිජනපද ව්‍යාපාරවල ගොවිතැනට අවශ්‍ය ජලය පිළිබඳ ගැටලුව එදා සිට අද දක්වා මේ අවුරුදු 68 ක පමණ කාලය තුළ ඉටුවෙලා තිබුණේ නැහැ. නමුත් මොරගහකන්ද කළු ගඟ ජලාශයේ වැඩ අවසන් කරලා මේ වැව් ජලයෙන් පුරවන්න අපිට පුළුවන්කම ලැබුණා. පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල ආදී මේ සෑම ගොවිජනපද ව්‍යාපාරයකම ගොවි ජනතාව දැඩි ලෙස මුහුණු දුන්න ප්‍රශ්නයක් තමයි ජල ප්‍රශ්නය. නිලධාරීන්ට බොහෝ ප්‍රශ්න ඇති වුණා. ඇතැම් නිලධාරීන්ගේ ජීවිත පවා අහිමි වුණු අවස්ථා තිබෙනවා. අපි ඒ සිද්ධීන් සොයලා බැලුවා. ගම්මාන අතර ආරවුල් ඇති වුණා. නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වසරේ සිට ජලය පිළිබඳව ප්‍රශ්නය ස්ථිරවම අවසන් වෙන බව මා ඉතා පැහැදිලිව ඔබට සඳහන් කරන්නට ඕනෑ.
පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, වව්නියාව, මන්නාරම, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්කවල පැරණි වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීම මේ වසරේ ආරම්භ කරනවා. මීට පෙර කිසිම ආණ්ඩුවක් එවැනි වැව් විශාල ප්‍රමාණයක වැඩ පටන් අරගෙන නැහැ.. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව මේ සඳහා අවශ්‍ය ආධාර මුදල් ලබාදීලා තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැව් 103 ක් ප්‍රතිසංස්කරණය කරන්න තිබෙනවා. ඒවායේ වැඩ මේ අවුරුද්දේ ආරම්භ කරනවා. ඒ කටයුතුත් යුද හමුදාවට භාර දීලා තිබෙන්නේ. මේ ගොඩනැඟිල්ලේ වැඩ කටයුතු අවසන් කළේ ගුවන් හමුදාව. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව, මින්නේරිය, මැදිරිගිරිය මැතිවරණ කොට්ඨාසවල සංවර්ධන ව්‍යාපෘති මම භාර දුන්නේ ත්‍රිවිධ හමුදාවට. මේ ප්‍රදේශයේ කටයුතු කරන්නේ ගුවන් හමුදාව. පොළොන්නරුව ප්‍රදේශයේ කටයුතු කරන්නේ යුද හමුදාව. මැදිරිගිරිය ප්‍රදේශයේ කටයුතු කරන්නේ නාවික හමුදාව. මේ ගොඩනැඟිල්ලට ලක්ෂ 110 ක් වෙන් කළා. නමුත් ලක්ෂ 80 කින් ඒ වැඩකටයතු අවසන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම ගුවන් හමුදාවේ කාර්ය මණ්ඩලවලට සහ ඊට සහයෝගය දුන්න දිසාපතිවරයා සහ ඒ කාර්ය මණ්ඩලවල සෑම කෙනෙකුටම මම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. මෙය ඉතාමත්ම හොඳ ප්‍රමිතියෙන් යුක්ත ඉතාමත් හොඳ නිර්මාණයක්. වෙන් කළ මුදලින් ලක්ෂ 30 ක් ඉතිරි වෙලා තිබෙනවා. පුද්ගලික අයට කොන්ත්‍රාත් දෙන්නේ නැහැයි කියලා සමහර අය මට දොස් කියනවා. කොන්ත්‍රාත් කරන අය මා සමග අමනාප වෙලත් සිටිනවා. නමුත් හමුදාවට මේවා දීලා තිබෙන්නේ මේ විදියට මුදල් ඉතිරි වෙනවා වගේම වැඬේ හොඳට කෙරෙන නිසා.
අධ්‍යාපනය විතරක් නෙවෙයි සෞඛ්‍ය සේවාව ගත්තොත් ඔබ දකිනවා අද පොළොන්නරුව, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය වැනි මේ දිස්ත්‍රික්කයේ සෑම රෝහලකම අලුත් ගොඩනැගිලි ඉදි වෙලා තිබෙනවා. ගොඩනැගිලිවල වැඩ කරගෙන යනවා. අද මට හවස තිබෙනවා රුපියල් කෝටි ගණනක් වියදම් කරපු මැදිරිගිරිය රෝහලේ ගොඩනැගිලි විවෘත කරන්න. ඔබ දන්නවා හිඟුරක්ගොඩ රෝහලේ අලුත් ගොඩනැඟිලි කීයක් නිර්මාණය වෙනවද කියලා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහත්මයා සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙක් මාව මුණගැහෙන්න ආපු අවස්ථාවේ කිව්වා පසුගිය මැතිවරණයේ මැතිවරණ රාජකාරි සඳහා පොළොන්නරුවට පැමිණි වෙලාවේ පාසල් කිහිපයක් බලන්න ගියා. නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල්වලට දැන් ලැබෙන සම්පත් ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයක පාසල්වලට නොලැබෙන බව දැනගත්තා කියලා. ඒවගේම එතුමන්ලා හිඟුරක්ගොඩ බාලිකාවට ගිය අවස්ථාවේ ඒ පාසලේ පිහිනුම් තටාකය හැදෙනවා දැකලා ඒ පිහිනුම් තටාකය විශාල නැද්ද කියලා මගෙන් ඇහුවා. මම කිව්වා ලොකු පොඩි බලන්නේ නැහැ ඒ ඒ පාසල්වලින් ඉල්ලීම් කරපුවහම අපි ලබා දෙනවා කියලා.
මේ සංවර්ධන කාර්යයන් තුළ පැහැදිලි ලෙසම අපි බලාපොරොත්තු වෙන්නේ යහපත් සමාජයක් ගොඩනගන්න. යහපත් මිනිසුන් ගොඩනගන්න. දැනුමින් පිරි සමාජයක් ගොඩනගන්න. දැනුමත් සමග තමයි යහපත් මිනිස්සු ගොඩනැගෙන්නේ. හොඳ නරක, සුබ අසුබ, යහපත් අයහපත් දේ, මේ සියල්ල හඳුනාගන්නට දැනුම තිබෙන්නට ඕනෑ. ඒ දැනුම නොතිබූ විට අයහපත්දේත් හොඳයි කියලා තෝරා ගන්නවා. ඒක අපේ සමාජය තුළ බහුලව දකින්න තිබෙන දෙයක්. නමුත් අපි සැමටවිම හිතන්නට ඕනෑ මේ සම්පත් ලබාදෙනවා වගේම ඒකේ අනික් පැත්ත. මේ සම්පත් ලබාදෙන එක අපිට රජය විදියට කරන්න පුළුවන්. පොළොන්නරු දිස්ත්‍රික්කයේ කිසිම පාසලක අඩුපාඩුවක් නැතිව අංගසම්පූර්ණ කරන එක. රෝහල් අංග සම්පූර්ණ කරන එක. විදුහල්පතිතුමා කතා කරන ගමන් කිව්වා මේ පාසලටත් ඩෙස් පුටු ලැබුණයි කියලා. මම ජනාධිපති ධුරයට පත් වෙලා 2015 පළවෙනි අවුරුද්දේම මේ දිස්ත්‍රික්කයේ පාසල්වලට රුපියල් කෝටි 09 ක ඩෙස් පුටු විතරක් අරන් දුන්නා. මම ජනාධිපති ධුරයට පත් වන විට ඔය ලොකු සංවර්ධනයක් කළයි කියලා කතා කරන අය අඩු වශයෙන් මේ දිස්ත්‍රික්කයේ පාසල්වලට ඩෙස් පුටු ටිකවත් දීලා තිබුණේ නැහැ. රටේම ඇත්ත තත්ත්වය ඒකයි. පසුගිය අවුරුදු තුනේම ඒ ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වුණා. අධ්‍යාපනය, සෞඛ්‍ය විතරක් නොවෙයි මාර්ග සංවර්ධනය විතරක් නොවෙයි ඔබ දකිනවා හිඟුරක්ගොඩ නගරයේ නව සම්මන්ත්‍රණ ශාලාව කොච්චර ලස්සනට ඉදිකරලා තිබෙනවද කියලා. අධ්‍යාපනයෙන් අපි දිවයිනේ කුමන ස්ථානයක සිටිනවද කියලා අධ්‍යාපන අධ්‍යක්ෂකතුමත් විහදුල්පතිතුමත් ඒවගේම ගුරු මහත්ම මහත්මීන් දන්නවා ඇති. පාසල්වල භෞතික සම්පත් හොඳින් ඔබට ලැබෙනවා. ඒ නිසා ඔබ විභාග ප්‍රතිඵල හොඳින් පෙන්විය යුතු වෙනවා. අපි බලාපොරොත්තු වන අරමුණ ඉෂ්ට වෙන්නේ ඒ තුළයි. විභාගවලින් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් සම්පත් කොතෙක් ලබා දුන්නත් ඒවායින් ප්‍රයෝජනයක් නැති වෙනවා.
අද බොහෝ මවුපියෝ මේ අවස්ථාවට සහභාගි වෙලා ඉන්නවා. ඒ පිළිබඳව මම ඉතාමත් සතුටට පත් වෙනවා. විභාග සඳහා දරුවන් සූදානම් කිරීම පාසල පැත්තෙන් සිදුකරනවා වගේම විභාග සමත්වන විට සතුටු වීමත් විභාග අසමත් වන විට ඒ අසමත් දරුවන් සඳහා දක්වන ප්‍රතිචාරය කොතරම් අමානුෂිකද කියලා පසුගිය කාලයේ සිදුවුණු ඇතැම් සිදුවීම් තුළින් පැහැදිලි වෙනවා. පහේ ශිෂ්‍යත්වය අසමත් වෙලා ළමයෙක් ගෙදර ආපුවහම ගහලා එළියට දානවා. ගිය අවුරුද්දේ පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල පැමිණි පසුව අවුරුදු දහයාමාරක පමණ වයස ඇති ළමයෙක් සිය දිවි නසා ගත්තා. ඒ දරුවා සිය දිවි නසා ගත්තේ විභාගය අසමත්වීම සමග ඒ දරුවට ඇති වුණු පීඩනය වගේම ඒ අසමත්වීම පිළිබඳව දෙමව්පියන් විසින් සිදුකරන ලද දෝෂාරෝපණ ඉවසා සිටින්න බැරි නිසයි. මවුපියන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් දැනුවත් කළ යුතුයි. ගෑණු ළමයින්ට ගහලා ගෙදරින් එළියේ දාලා තිබෙනවා ශිෂ්‍යත්වය පාස් වෙලා ආවේ නැහැ කියලා. පයින් ගහලා එළියට දානවා. මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ විභාග සඳහා තිබෙන තරගය නිසයි. විශේෂයෙන්ම මම මේ දෙමව්පියන්ට කියන්නේ මේ තත්ත්වය මීඩ වඩා වෙනස් වෙන්න ඕනෑ. ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න දෙන්න ඕනෑ. අවශ්‍ය පහසුකම් දෙන්නට ඕනෑ. අනවශ්‍ය විදියට විභාග කියලා දරුවන් පීඩාවට පත් කිරීම සුදුසු නැහැ. පහේ ශිෂ්‍යත්වය කියලා කියන්නේ දරුවෙකුගේ ජීවිතයේ ආරම්භය හෝ අවසනාය නෙවෙයි. ඒක මූලික අවස්ථාවක්. එතනින් එහාට මේ දරුවාගේ අනාගතය ඉවරයි කියලා හිතනවා නම් තමන්ගේ මුළු පවුලේ අනාගතය එතනින් ඉවරයි කියලා හිතනවා නම් ඒක විශාල ඛේදවාචකයක්. විභාගය සමත් වුණාම සතුටින් දරුවෙක් පිළිගන්නවා වගේම අසමත් වුණු දරුවා අසමත් වෙන්න හේතු වුණු කාරණා සොයලා බලලා ඒ දරුවා තව තවත් උනන්දු කරවලා ඉදිරියට එන වාර විභාග ජයගන්න අවස්ථාව සලසලා දෙන්න ඕනෑ. ශිෂ්‍යත්වේ පාස් වුණත් නැතත් හයේ පන්තියට ඒ ළමයා යනවා. දරුවන්ට ඒ විදියට සලකන එක නොදියුණු සමාජයක ලක්ෂණයක්.
බොහෝ වෙලාවට මත්ද්‍රව්‍ය නිසාත් පවුල්වල ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා දරුවන්ට බොහෝ හිරිහැර වෙන අවස්ථා තිබෙනවා. ආර්ථිකය කඩාවැටීම. සමාජයේ ප්‍රතික්ෂේප කිරීමට ලක්වීම. පවුල් සංස්ථාව විනාශ වී යාම සිදුවෙනවා. අපේ රටේ දුප්පත්කම වැඩිවෙන්න ප්‍රධාන හේතුවක් තමයි මත්ද්‍රව්‍ය. ගිය සතියේ රත්නපුරේ තිබුණා මත්ද්‍රව්‍ය පිළිබඳව වැඩසටහනක්. රත්නපුර දිස්ත්‍රික්කයේ නව දාහකට වැඩිය ඇවිල්ලා හිටියා. පාසල් දරුවෝ 2000 ක් විතර හිටියා. අනික් අය හිටියේ මවුපියෝ. වැඩිහිටියන්. රත්නපුර දිස්ත්‍රික්කයේ මාසයකට අරක්කු, සිගරට්වලට වැය කරන මුදල රුපියල් කෝටි 390 යි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරක්කු සිගරට් බොනවා මාසයකට රුපියල් කෝටි 280 ක. මේ සඳහා යන මුදල් ගමේ එක තැනක කැටයකට දාලා එකතු කරනවා නම් ගම සංවර්ධනය කරන්න රජයෙන් සල්ලි ඕනෑද? මේ ගොඩනැගිල්ල හදන්න ලක්ෂ 80 යි ගිහින් තිබෙන්නේ. මේ ලක්ෂ 80 ආණ්ඩුවෙන් දෙන්න ඕනෑද? නමුත් අපි මොනතරම් දේවල්වලට සල්ලි විනාශ කරනවද? අපි කතා කරන දුප්පත්කම නැති කර ගන්න අපි සාකච්ඡා කරනවද? සෑම ගමකම, සෑම ග්‍රාමසේවා වසමකම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකක හදලා තිබෙනවා. රජයේ කාර්යාලවල, පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණ ඒකක පිහිටුවන්න කියලා අපි දැනුවත් කරලා තිබෙනවා. කුඹුරට අවශ්‍ය වතුර ටික ලබා දෙනවා නම්, පාසල්වල අඩුපාඩු සම්පූර්ණ කරනවා නම්, රෝහල්වල භෞතික සම්පත් සංවර්ධනය කරනවා නම්, බේත් හේත් ලබා දෙනවා නම් තම තමන්ගේ පැත්තෙන් ඒ කටයුතු ඉටු කර ගැනීම පිළිබඳ අපි කොතෙක් දුරට නිවැරදිව කටයුතු කරනවාද කියන කාරණාව සෑම කෙනෙක්ම තම තමන්ගේ හෘද සාක්ෂියෙන් අහන්නට ඕනෑ. මේ පින්වන්ත දරුවන්ට හෙට දවස සුබ දවසක් කරන්න තමයි මේ සෑම කාර්යයක්ම කරන්නේ.
යෝධඇළ මහා විද්‍යාලය කියපුවහම මීට අවුරුදු තිහ හතළිහකට පෙර නම් මීට වඩා කීර්තිමත් පාසලක් බවට පත්ව තිබුණා. මම තෝපා වැව මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මේ විද්‍යාලය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් අතරින් ඉහළින්ම තිබුණු පාසලක්. නමුත් අද හුඟක් වෙනස්. එක පැත්තකින් රජරට විද්‍යාලය තිබෙනවා.
අනිත් පැත්තෙන් අත්තනකඩවල තිබෙනවා. තව තව වටේ පාසල් තිබෙනවා. අධ්‍යාපනයේ තරගකාරිත්වය, ජනප්‍රියත්වයත් එක්ක තමයි අද මේවා වෙනස් වෙලා තිබෙන්නේ. හොඳ විභාග ප්‍රතිඵල වගේම බාහිර ක්‍රියාකාරකම්වලින් දක්ෂකම් පෙන්වන බොහෝ පිරිසක් මේ පාසලේ ඉන්නේ.
හොඳ දරු පිරිසක් දැනුමින් පිරි සමාජයක් යහපත් ආර්ථිකයක් සමග හොඳ ගමක් සමග හොඳ රටක් හදන්න ඔබ සියලුදෙනාගේම කැපවීම සහ දායකත්වය ලබාදෙන්න කියන ගෞරවනීය ආයාචනය කරමින්, රජයක් වියදිට ලබාදිය යුතු සහයෝගය කිසිදු අඩුපාඩුවක් නොමැතිව ලබා දෙන බව ප්‍රකාශ කරමින්, ඔබ සියලුදෙනාට තෙරුවන් සරණ පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
0 Comments