ග්‍රාමීය සංවර්ධනය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ සංවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍ය සේවා පහසුවෙන් ලබාදීමට ජාතික මූල්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ හා සකස් කරන ලෝකයේ රටවල් 60 අතරට ශ්‍රී ලංකාව ඊයේ (20) එක්විය.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්කම, ණයගැතිභාවය දුරුකිරීම සඳහා රජය ගෙන යන 2025 ඉදිරි දැක්ම සාර්ථක කරගැනීමට ඉවහල් වන මේ නව ජාතික ප්‍රතිපත්ති ඇතුළත් උපාය මාර්ගික ක්‍රියාවලිය මඟින් මුලපුරනු ඇත.
මේ උපායමාර්ගික සැලැස්ම කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ (20) උදේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවයේ ශ්‍රී ලංකා හා මාලදිවයිනේ නියෝජිත කළමනාකාරිණී අමෙනා අරීෆ් යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එළිදැක්විණි.
විධිමත් හා අවිධිමත් මූල්‍ය දෙඅංශ කටයුතු වඩාත් ප්‍රශස්ත මට්ටමින් ඉටුකොට රටවැසි ජනතාවට ඉහළ ප්‍රතිලාභ අත්කරදීමට යෝජිත මේ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රමුඛ ජාතික උපායමාර්ගික සැලැස්ම වසර 2019 වන විට අප රටේ ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වන බව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපායමාර්ගයක් සකස් කිරීමේ ක්‍රියාවලියේ සමාරම්භක අවස්ථාව සඳහා එක්ව සිටි දෙස් විදෙස් විද්වතුන්ගේ දැනගැනුම උදෙසා ඉදිරිපත් කළ කරුණු දැක්වීමේදී මෙසේද සඳහන් විය.
දරිද්‍රතාවයේ සැලකිය යුතු අඩුවීමක් සහිතව සියයට 6.2 ක සාමාන්‍ය වර්ධන වේගයක් සමඟින් 2010 - 2016 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථීකය දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන් අතුරින් එකක් විය.
දිවයින තුළ පුළුල් පරාසයක විහිදුන මූල්‍ය සේවා සපයන්නන් සිටින අතර බැංකු ශාඛා වෙත භෞතිකමය වශයෙන් පිවිසීමේ හැකියාව ද (බැංකු ශාඛා ඝනත්වය වැඩිහිටියන් 100,000 කට 18.6 කි), බැංකු ගිණුම් සංඛ්‍යාව ද (වැඩිහිටියන්ගෙන් සියයට 82.7 ප්‍රමාණයක් සඳහා මූල්‍ය ආයතනවල ගිණුම් පවතී) ඉහළ මට්ටමක පවතී.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය තිරසාරව පවත්වාගෙන යාම සඳහා සම්පත් වඩා කාර්යක්ෂම ලෙස උපයෝගී කරගැනීම සහ සැමට අවස්ථා නිර්මාණය කර දීම පෙරදැරිව, ගෝලීය වශයෙන් තරගකාරී අපනයනය වෙත නැඹුරු ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් කාර්යයභාර ඉටුකළ හැකි තිරසාර සහ සියලු දෙනාට අන්තර්ගත වූ ආර්ථීක වර්ධන ආකෘතියක් ඇතිකිරීම අවශ්‍ය වේ. මෙම ආර්ථික දැක්ම ඉටුකර ගැනීමේ ප්‍රධාන අංගයක් ලෙස මූල්‍ය අන්තර්ගතභාවය වැඩි කිරීම සැලකිය හැකිය.
මූල්‍ය අන්තර්ගතභාවය යනු කුමක්ද?
මූල්‍ය අන්තර්ගතභාවය යනු, වගකීමක් සහිත සහ තිරසාර මූල්‍ය ආයතන විසින් සපයනු ලබන, සාධාරණ පිරිවැයක් යටතේ යෝග්‍ය මූල්‍ය සේවා ලබාගැනීම සඳහා ප්‍රවේශවීමයි. එය මූල්‍ය සේවාලාභීන් අතර මූල්‍ය සාක්ෂරතාවය වැඩිදියුණු කිරීමටත් එමඟින් ඔවුන්ට උපරිම ප්‍රතිලාභයක් සඳහා මෙම සේවා භාවිතා කිරීමටත් හැකිවනු ඇත.
මූල්‍ය අන්තර්ගතභාවය, ආර්ථික වර්ධනය සහ සංවර්ධනය සමඟ සහ සම්බන්ධ වී ඇති අතර, මූල්‍යමය වශයෙන් බැහැර වූ අඩු ආදායම්ලබන සමාජ කොටස් විධිමත් මූල්‍ය අංශය වෙත යොමුකිරීම මඟින් දරිද්‍රතාවය මුලිනුපුටා දැමීම සඳහා වූ වැදගත් මෙවලමක් ලෙස ද හඳුනාගෙන ඇත.
මූල්‍ය අන්තර්ගතභාවයේ ප්‍රගතිය එසේ වුවද, වඩාත් සුහද, ඵලදායී, කාර්යක්ෂම සහ දැරිය හැකි මූල්‍ය සේවා දැනටත් විධිමත් මූල්‍ය පද්ධතියෙන් බැහැර වූ පිරිස් ඇතුළු රටේ සෑම පුරවැසියකුටම ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි සැපයීමේ අභියෝගයට ශ්‍රී ලංකාව මුහුණ දී ඇත. දැනටමත් විධිමත් මූල්‍ය පද්ධතිය තුළ සිටින අය සඳහා විශේෂයෙන්ම ණය සැපයීමේ ඉහළ යාම අනුව මූල්‍ය සේවා භාවිතය වැඩි කිරීම සඳහා වඩා විශාල හැකියාවක් පවතී. බැංකු ගනුදෙනු සඳහා ඉලෙක්ට්‍රොනික මෙවලම් සහ ජංගම දුරකථන භාවිතය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාව තුළ වැඩි ඉඩක් පවතින අතර ඒවා මූල්‍ය අන්තර්ගතභාවය වැඩි කිරීම සඳහා සහය වනු ඇත. එසේම ශ්‍රී ලංකාව තුළ පාරිභෝගික ආරක්ෂණ නීති සහ රෙගුලාසි ශක්තිමත් කිරීම තුළින් විධිමත් මූල්‍ය පද්ධතියට, බැංකුගත නොවූ ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම පහසු කරවනු ඇත.
මෙම ක්‍රියාමාර්ග සඳහා පහසුකම් සැපයීම පිණිස සාමුහික ප්‍රතිපත්ති රාමුවක් අනුගමනය කරමින් සියලුම පාර්ශ්වකරුවන්ගේ උත්සාහයන් ඇතුළත් වඩාත් ගතික ප්‍රවේශයක් හඳුනාගෙන ඇත. මෙම ප්‍රතිපත්ති රාමුව තුළින් විධිමත් ප්‍රතිසංස්කරණ හා සම්බන්ධීකරණ ක්‍රියාවලියක් අපේක්ෂා කෙරේ. මෙම ක්‍රියාවලිය සඳහා සහය විය හැකි උපාය මාර්ගික මෙවලමක් සහ අත්‍යාවශ්‍ය ප්‍රතිපත්තියක් ලෙස මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳව වූ ජාතික උපාය මාර්ගයක් සකස් කිරීම හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකාව සඳහා මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපායමාර්ගය
අදාළ අනෙකුත් සහභාගීත්ව ආයතන සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් සකස් කිරීම සිදු කරනු ලැබේ. මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ හෝ සකස් කරමින් පවතින ලෝකයේ රටවල් 60 කට අධික කණ්ඩායමට ශ්‍රී ලංකාවත් මේ සමඟ එකතු වේ. මේ සඳහා අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහය ලෝක බැංකු කණ්ඩායමේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දේ. මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපායමාර්ගය සකස් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ, සිවිල් සමාජ සංවිධානවල සාමාජිකයින්ගේ සහ විද්වතුන්ගේ විශේෂඥ දැනුම යොදා ගනිමින් සිදු කරනු ලැබේ.
මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ උපාය මාර්ගය සකස් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 සහ 2018 ප්‍රතිපත්තිමය දැක්මට අනුකූල වේ. දේශීය පාර්ශ්වයන්ගේ අදහස් අඛණ්ඩව ලබාගැනීමෙන් සහ අනෙකුත් සමගාමී රටවල සමකාලීන මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ උපාය මාර්ග අධ්‍යයනය කරමින් යෝජිත මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ පරිපූර්ණ ජාතික උපාය මාර්ගයක් සකස් කරනු ඇත.
ග්‍රාමීය සංවර්ධනය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ සංවර්ධනය සඳහා මූල්‍ය අන්තර්ගතභාවයේ වැදගත්කම හඳුනා ගනිමින්, රජයේ ආර්ථික දැක්ම සහිත 2025 වසර දක්වා ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය ද, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ප්‍රාග්ධන ප්‍රවේශය සඳහා පවතින බාධාවන් හෝ ප්‍රාග්ධනය නොමැතිකමට පිළියම් යෙදීමට හා ඒවායේ සංවර්ධනය සඳහා පවතින බාධාවන් ඉවත් කිරීමට 2018 රජයේ අයවැය මඟින් කළ යෝජනාවලට ද අනුකූලව යමින් මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ උපාය මාර්ගය සකස් කරනු ලැබේ. ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවයෙහි (IFC) සහයෝගය ඇතිව සකස් කරන ලද විස්තරාත්මක වැඩසටහනට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීම සහිතව පුළුල් උපදේශන ක්‍රියාවලියක් මඟින් සහ සමීක්ෂණ හා අනෙකුත් තක්සේරු කිරීම් ඇතුළත් සමීක්ෂණ ක්‍රියාවලියක් සිදුකිරීම තුළින් මෙම ජාතික උපාය මාර්ගය සකස් කිරීමට අපේක්ෂා කරනු ලැබේ. 2019 මැද භාගය වන විට ශ්‍රී ලංකාව සඳහා වන මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපායමාර්ගය සකස් කිරීමේ ක්‍රියාවලිය දියත් කිරීම.
ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය සකස් කිරීමේ ක්‍රියාවලිය දියත් කිරීම, 2018 මාර්තු මස 20 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය (IFC) නියෝජනය කරමින් මෙරට සහ මාලදිවයින් නියෝජිත කළමනාකරු වන අමෙනා අරීෆ් (Amena Arif) මහත්මිය සහභාගි විය.
තවද, මෙම ක්‍රියාවලියේ පාර්ශ්වයන් සහ ඉදිරියේදී පත්කිරීමට නියමිත මෙහෙයුම් කමිටුවේ සහ ක්‍රියාකාරී කණ්ඩායම්වල පාර්ශ්වයන් ලෙස අදාළ අමාත්‍යාංශවල, ශ්‍රී ලංකා මහ බැංකුවේ, රජයේ ආයතනවල, බැංකුවල, සිවිල් සංවිධානවල නියෝජිතයන් ද, වෘත්තීයවේදීන් සහ විද්වතුන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් මෙම අවස්ථාවට සහභාගි විය. මෙම දියත් කිරීමේ වැඩසටහනට අනතුරුව දින 3 ක් තුළ මෙහෙයුම් කමිටු ක්‍රියාකාරකම් ද සිදු කෙරේ.

0 Comments