Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හදිසි ආපදාවකදී මුදා ගැනීම්වලට පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට යාන්ත්‍රික බෝට්ටු

හදිසි ආපදා අවස්ථාවලදී ප්‍රථමයෙන්ම සෙවීම් හා මුදා ගැනීම් කටයුතු සිදු කරන ත්‍රිවිධ හමුදාව හා පොලිසිය වෙත යාන්ත්‍රික බෝට්ටු හා අඟුල් ලබා දීම ආපදා කළමනාකරණ ඇමති අතර ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේදී ඊයේ (20) සිදු විය. ඒ අනුව යුධ හමුදාව සඳහා බෝට්ටු 47ක් ද, නාවික හමුදාවට 9, ගුවන් හමුදාවට 5ක් ද, පොලිසියට 65ක් ද ලබා දෙනු ලැබීය.

එහිදී අනුර ප්‍රියදර්ශන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

අප රටේ පවතින ආපදා අවස්ථා ලෙස දීර්ඝ කාලීනව පැවති නියඟය හඳුන්වන්න පුළුවන්.

ඒ අවස්ථාවේදී වතුර බවුසර් ලබා දී ජනතාව‍ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න පුළුවන් වුණා. පසුව ජල ගැලීම්වලදී ලොකු අමාරුවක වැටුණා. කොළඹ ආශ්‍රිතව ජල ගැලීම් සිදු වූ අවස්ථාවේදී බෝට්ටු සපයා ගැනීමට අපහසු වුණා. ඒ අවස්ථාවේදී මීගමුව, ගාල්ල යන ප්‍රදේශවලින් බෝට්ටු ගෙන්වා ගැනීමට විශාල සටනක් යොදන්න සිදු වුණා. එනිසා රජයට යෝජනා කළා මෙවැනි අවස්ථාවලදී ජනතාවට විසඳුම් ලබාදීම කාර්යක්ෂම කිරීම සඳහා පොලීසිය හා ත්‍රිවිධ හමුදාවට මෙම බෝට්ටු ලබා දෙන්න කියලා.

ආපදා අවස්ථාවක දී ‍වරකදී පුද්ගලයින් 6, 7 දෙනෙක් කරදරයකින් තොරව ආරක්ෂ සහිතව ප්‍රවාහනය කිරීම එහිදී අරමුණ වුණා. එම බෝට්ටු නිර්මාණය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සාකච්ඡා කිරීමෙන් ඔවුනට ලබා දුන්නා.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව, නව තාක්ෂණික ක්‍රම භාවිතයෙන් දේශිය දැනුම, භාවිතයෙන් දේශීය නාවික ඉංජිනේරුවන් විසින් ඒ කටයුත්ත ඉටු කරනු ලැබුවා. අදාළ උපකරණ ද නිෂ්පාදන කළා. අපේ රටේ විශිෂ්ටතාවය හා වැඩ කටයුතු පිළිබඳ මම ආඩම්බර වෙනවා.

එම බෝට්ටු වලට ආලෝක ධාරා ලබා ගැනීමට විදුලි ලාම්පු, බෝට්ටු වෙන්කර හඳුනා ගැනීමට අදාළ වර්ණ, සංඥා නාද කිරීමට නළාවක් හා ජංගම දුරකථන පවා සක්‍රීය කර ගත හැකි වන අන්දමට තාක්ෂණය එහි අඩංගු කර තිබෙනවා. මේ වන විට බෝට්ටු සඳහා අවශ්‍ය වන එන්ජින් සඳහාත් ටෙන්ඩර් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව යම් අවස්ථාවකදී ‍රටේ ජලගැලීමක් ඇතිවුවහොත් ඒ සඳහා අවශ්‍ය සහන ජනතාව වෙත සැලසීම සඳහා පොලිස්ස්ථාන 66 කට බෝට්ටු ලබා දී තිබෙනවා. ඒවායේ නඩත්තු කටයුතු හොඳින් සිදුවනු ඇති බවත් මම විශ්වාස කරනවා.

මේ අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්එස්. අමලනාද මහතා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා, යුද හමුදා නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙහෙයුම් එච්. කේ. එස්. ඒ. මුහන්දිරම් මහතා, නාවික හමුදාවේ අද්මිරාල් එච්. කේ. යූ. පී. ද සිල්වා මහතා, ගුවන් හමුදාවේ කමාන්ඩර් ‍එස්. කේ. වීරසේකර මහතා හා නියෝජ්‍ය පොලිස්පති සුමිත් අල්ගම ඇතුළු මහත්වරුන් පිරිසක් සහභාගි වූහ.

චන්දිමා කරුණාරත්න
සඳුන් රමේෂ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();