Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනුරපුර ජල හිඟයෙන් යල කන්නය අඩපණ වන ලකුණු

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැඩි නියඟය නිසා පිට පිට කන්න තුනක් පාලුවී ගොස් ඉදිරියේදී එළඹෙන 2018 යල කන්නයේ වී වගා ඉලක්ක ද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව පෙන්වා දෙයි. කමිටු සංඛ්‍යා ලේඛන අනුව මෙවර 2017/2018 මහ කන්නයේ දිස්ත්‍රික්කයේ වී වගා ප්‍රතිශතය 55% ක් පමණි. මේ වන විට උද්ගත වී ඇති වාරි ජල හිඟය නිසා මෙම සීමිත වගාවට ද කන කොකා හඩතැයි ගොවිහු වික්ෂිප‍්තව සිටිති.

වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ පුහුණු හා ජල කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත පලුගස්වැව මහතා අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්ක වල ගොවි නියෝජිතයින් ඇතුළු වාරි මාර්ග නිලධාරින් හමුවී 2018 යල නියගය මධ්‍යයේ කළමනාකරණය කළ යුතු ආකාරය පිළිබදව පසුගිය දා අදහස් හුවමාරු කරගත්තේය. ඉන් අනතුරුව දිනමිණට කරුණු දැක්වු පලුගස්වැව මහතා යල කන්නයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 12 ක ජල පරිමාව අනුව ඉතා සීමිත වගා රටාවකට යාමට සිදුවනු ඇතැයි අවධාරණය කළේය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ වියළි කලාපයේ ප්‍රධාන ජලාශ 73 ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 304 ක් පාලන වෙනවා. පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්ක වල ප්‍රධාන වැව් 20 ක් පමණ පිහිටා තිබෙනවා. 2017/2018 මහ කන්නයේ අනුරාධපුර දිසාවේ හෙක්ටයාර් 130204 ක වී වගාවට සැලසුම් කළත් වැව් වල අඩු ජල පරිමාව අනුව එය හෙක්ටයාර් 71000 කට සීමා වී තිබෙනවා. ගිය යල කන්නයේ හෙක්ටයාර් 50000 ක වී වගාවට යොදා ගැනීම අරමුණ වුනත් වගා කෙරුණේ හෙක්ටයාර් 25000 ක පමණ වපසරියක් පමණයි.

මේ නිසා ප්‍රධාන ජලාශ වල අඩුවෙමින් ඇති ජල ධාරිතාවය සලකා බලා මෙම යල කන්නයේ අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සිදු කළ යුතු බවට ගොවීන් හා එකගතාවයක් ඇති කර ගත්තා. ඒ අනුව මෙවර යලට නුවර වැව (අක්.2000), රාජාංගනය (අක්.5000), වාහල්කඩ(අක්. 500), හුරුළු වැව (අක්. 2000) , අභය වැව (අක්.120), මහකනදරාව (අක්.2000), මහ විලච්චිය (අක්.2000), මානම්කට්ටිය (අක්.150), නාච්චාදූව (අක්.3500) ආදි වශයෙන් අඩු වපසරියකට ජලය සපයාදීමට තීරණය කළා.

එසේ කළේ පානීය අවශ්‍යතා සදහා වැව් වල ජලය රැදී තිබිය යුතු නිසයි. කෙසේ වෙතත් වී වලට නොගොස් අතුරු බෝග වගා කරන්නේ නම් මෙම භූමි ප්‍රමාණය දෙගුණයක් කරගත හැකි බවත් ගොවි සංවිධාන වලට නිශ්චිත තීරණයකට එළඹෙන ලෙස දැනුම් දී තිබෙනවා. පලුගස්වැව මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. ඉදිරි සති කිහිපය තුළ යම් වැසි ප්‍රමාණයක් ලැබුණහොත් මෙම සංඛ්‍යා ලේඛන වල වෙනසක් සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.

පොළොන්නරු දිස්ත්‍රික්කයේ යල වගාව සඳහා මොරගහකන්ද ජලාශයෙන් හැකි උපරිම ජල පරිමාවක් සපයාදෙන ලෙස ජනාධිපතිතුමා විසින් ඉල්ලීමක් කර තිබෙන බවද ඔහු සදහන් කළේය. ඒ අනුව දිස්ත්‍රික්කයේ පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ සහ කවුඩුල්ල ප්‍රධාන ජලාශ ඇතුළු ජලය රැදි ඇති වැව් ආශ්‍රිතව 75% ක ප්‍රතිශතයකට වගා කටයුතු කරගෙන යාමට හැකිවනු ඇතැයි ද පලුගස්වැව මහතා පෙන්වා දුන්නේය. ඉදිරි සතියේ මහවැලි ජලය ලැබෙන ජලාශ වල වගා කටයුතු පිළිබදව සමාලෝචනයක් ගංඔරුවේදී පැවැත්වෙන අතර එහිදී මෙවර යල කන්නයට අදාල ජල කළමනාකරණ සහ වගා රටාව පිළිබදව අවසන් තීරණයක් ගැනීමට පියවර ගනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

අනුරාධපුර අතිරේක
දිස්ත්‍රික් සමුහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();