නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළිවේ
ගැබිනි මව්වරුන්ගේ කළලයන්හි සිදු වන විවිධ සංකීර්ණ විකෘතිතා හේතුවෙන් ස්වාභාවික ගබ්සා වීම් 48,000 ක් වසරකට වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම සමීක්ෂණ වාර්තාවලින් පෙන්වාදෙයි.
වාර්ෂිකව ලක්ෂ හතරක් මව්වරුන් ගර්භනීභාවයට පත් වන බවත් ඉන් සජීවි දරු උපත් සිදු වනුයේ 331,000 ක් පමණක් වන අතර උපත් ආබාධ හේතුවෙන් දරුවන් 3200 ක් පමණ මරණයට පත්වන බවත් ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ හිටපු සභාපති ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පවසයි.
හඳුනා නොගත් හේතු නිසා වසරකට මෙරට මළ දරු උපත් 1500 ක් සිදු වන අතර මේ මරණවලට හේතු සෙවීම සඳහා දෙමාපියන්ගේ කැමැත්ත පවතින්නේ නම් කුඩා දරුවන්ගේ මෘත ශරීර කාය විච්ඡේදනයෙන් හේතුව සොයා ගත හැකි යැයි ද ඒ මහතා පැවැසුවේය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (02) ප්‍රකාශ කළේය.
තමන්ගේ කුඩා දරුවාගේ මෘත ශරීරය කැපීමට ලක් කිරීමෙන් මළ සිරුරට හානි සිදු වේය යන දෙමාපියන්ගේ සිත් තුළ බියක් පවතින බවත් නමුත් තාක්ෂණයේ දියුණුව හේතුවෙන් සිදු කරන කාය විච්ඡේදනය මඟින් දරුවන්ගේ මළ සිරුරුවලට හානියක් සිදු නොවන බවත් ඒ මහතා කීය. මළ දරුවන්ගේ කාය විච්ඡේදනයෙන් සොයා ගන්නා හේතු මඟින් ඉදිරියේදි සිදු වන මළ දරු උපත් වළක්වා ගත හැකි යැයි ද ඔහු අවධාරණය කළේය.
මෙරට දරුවන් 1700 ක් වසරකට කුස තුළදීම මරණයට පත් වන අතර සති 28 ක ගැබ් කාලයකට පසුව මිය යන මේ මරණ මළ දරු උපත් වන බවත් දරුවන් 1550 ක් ඉපදී පළමු සතිය තුළදී මරණයට පත් වන බවත් ඔහු පෙන්වාදෙයි. ජානමය වෙනස්වීම්, පාරිසරික බලපෑම්, ගර්භනී කාලයේ මවට ඇති වන රෝගාබාධ යනාදි උපත් ආබාධ හේතුවෙන් මළ දරු උපත් සිදු වන්නේ යැයි ඔහු කීය.
මෙම මරණ වළක්වා ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද මඟින් රෝග නිධානය හා ඊට උපකාර වන සාධක සොයා ගැනීම ඉතා වැදගත් වන අතර ඒ සඳහා මෘත ශරීර කාය විච්ඡේදනය හා ජාන පරීක්ෂණ සිදු කළ යුතු බවත් ඒ සඳහා දෙමාපියන්ගේ සහාය වඩාත් වැදගත් බවත් ඒ මහතා පැවැසුවේය.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ සභාපති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යූ.ඩී.පී. රත්නසිරි, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාය විච්ඡේදනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ප්‍රියානි අමරතුංග, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මානව ප්‍රවේනි ඒකකයේ ප්‍රධානී මහාචාර්ය වජිර දිසානායක මහත්ම මහත්මීහු සහභාගි වූහ.
0 Comments