Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දියතලාව බෝම්බය ගෙනා සෙබළා 16 වැනිදා දක්වා රිමාන්ඩ්

Author(s): 
විජයානි එදිරිසිංහ

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී බස් රථයක අත්බෝම්බයක් පුපුරුවා මිය යාමට සැලසුම් කර ඇති හමුදා සෙබළා එසේ කිරීමට සැලසුම් කර ඇත්තේ බස් රථය තුළ පිපිරුණ බෝම්බයකින් මියගොස් ඇත යන්න ඒත්තු ගැන්වීමේ අරමුණින් බව පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

මේ අතර එම සෙබළා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබේ. මෙසේ එම පිපිරීම සිදු කළැයි අත්අඩංගුවට ගෙන ඇත්තේ 06 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ බලලත් නිලධාරි 11 අංගොඩ ගෙදර ජනක ලෙස්ලි කුමාර යන අයයි.

ඔහු එසේ සිය දිවි හානි කර ගැනීමට සැලසුම් කළත්, ඔහු විසින් සිය දිවි හානි කරගත් බව වසන් කිරීමට මෙසේ පිරිසක් සිටින බස් රථයක් තුළ බෝම්බය පුපුරුවා හැරිය බව ඔහු විසින් හමුදා පොලිසියටත්, පොලිසියටත් කර ඇති පාපොච්චාරණයේ සඳහන් වෙයි.

එසේ මිය යාමට ඔහු විසින් තීරණය කර ඇත්තේ ඔහුට ඇති ණය මුදලක් ගෙවීමට මුදල් නොමැති නිසා බවත් සිය දිවි හානි කර ගතහොත් හමුදාවෙන් කිසිම වන්දියක් නොලැබෙනා බැවින් බසයක පිපිරී ගිය බෝම්බයකින් මිය ගොස් ඇති බව අනාවරණය වුවහොත් ඔහුගේ මිය යාම වෙනුවෙන් බිරිඳටත් දරුවන්ටත් වන්දියක් ලැබෙන බැවින් එම මුදලින් ණය ගෙවා ගැනීමට හැකි වන නිසා බවද ඔහුගේ පාපොච්චාරණයේ තව දුරටත් සඳහන් වෙයි.

මීට සති දෙකකට පමණ පෙර යාපනයේ සිට බණ්ඩාරවෙල දක්වා යන බස් රථයක පැමිණ ඇති හමුදා සෙබළා බණ්ඩාරවෙල සිට කහගොල්ලේ පිහිටි සිය නිවස බලා යන බස්රථය තුළදී ඔහුගේ බෑගයේ තිබූ අත්බෝම්බය මෙසේ පුපුරුවා ගෙන තිබේ. එම පිපිරීමෙන් ඔහු ඇතුළු 19 දෙනෙක් තුවාල ලැබූහ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් යුද්ධ හමුදා පොලිසියෙන් සහ පොලිසිය මගින් තව දුරටත් පරීක්ෂණ සිදු වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();