Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තඹුත්තේගම උද්ඝෝෂණය ගොවි සංවිධාන සභාපති ඇතුළු 51කට ලක්ෂය ශරීර බැගින් ඇප

උතුරුමැද පළාත් සමුහ කේ.එන්.සමන් කුමාර

තඹුත්තේගම නගරයේ පැවති ගොවි උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි ජාතික ඒකාබද්ද ගොවි සංවිධානයේ සභාපතිවරයා ඇතුළු 51 දෙනෙකු තඹුත්තේගම මහේස්ත්ත්‍රාත් අධිකරණය වෙත ( ඊයේ (5) ඉදිරිපත් කිරීමෙන් පසුව ලක්ෂය බැගින් වු ශරිර ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් රමිලා නදීෂානි මහත්මිය නියෝග කළාය.

අයුතු ජනරාසියක සාමාජිකයන්වීම, රජයේ දේපළවලට හා පොලිස් නිලධාරීන්ට පහරදීම, පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකිරීම හා අධිකරණ නියෝග කඩ කිරීම යන චෝදනා යටතේ තඹුත්තේගම පොලිසිය මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

සියලු සැකකරුවන්ට ඇප ලබා දීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9- 12 අතර කාලයේ තඹුත්තේගම පොලිසිය ඉදිරියේ පෙනි සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඊට අමතරව ඇප ලබාදුන් සැකකරුවන් කලහකාරි ලෙස නොහැසිරිය යුතු බවත් එසේ කලහකාරි ලෙස හැසිරුනහොත් ඇප අවලංගුකර රක්ෂිත බන්දනාගාර ගත කිරීම සිදුකරන බවද මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළේය.

පසුගිය 28 දා රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයට සම්බන්ධ ගොවි සංවිධාන 64ක තුන්දහසකට අධික සාමාජිකයන් පිරිසක් තඹුත්තේගම ඉකිරිවැව කලාඔය පාලම අසල දී අනුරාධපුර පාදෙණිය මාර්ගය වසා උද්ඝෝෂණය කළ අතර පසුව උද්ඝෝෂකයන් තඹුත්තේගම පොලිසිය අසලට පැමිණ උද්ඝෝෂණයේ නිරතවිය. ඒඅවස්ථාවේ දී පොලිසිය හා ගොවින් අතර ගැටුම්කාරී තත්ත්වක් ඇති වු අතර එහිදි පොලිසිය ජල ප්‍රහාර, කදුළුගෑස් හා බැටන්පොලු ප්‍රහාර එල්ල කළ අතර උද්ඝෝෂකයන් ගල් හා ගඩොල්වලින් පොලිස් නිලධාරීන්ට හා ජලබවුසරයට ප්‍රහාර එල්ල කළහ. එහිදි පොලිස් නිලධාරීන් දෙදෙනකු හා ගොවින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

මෙම ගැටුම අතරවාරයේ පොලිසිය වෙතට ගල් හා ගඩොල්වලින් ප්‍රහාර එල්ල කළ සැකකරුවන් පනස් හතරදෙනෙකු හා සැකකාරියන් පස්දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූහ. මොවුන් තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව නම දෙනෙකු සඳහා ඇප ලබාදුන් අතර ඉතිරි පනස්දෙනා රක්ෂිත බන්දනාගාරගත කෙරිණි.

පසුව මාර්ත 1 දා ඒකාබද්ද ගොවි සංවිධානයේ සභාපති නිහාල් වන්නි ආරච්චි මහතා ද අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී තඹුත්තේගම මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් ප්‍රියන්ත මහතා කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේ මෙම සැකකරුවන් සියලුදෙනා එදින පොලිසියට හා නිලධාරීන්ට ගල් හා ගඩොල් කැටවලින් පහාර දුන් අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.

එම අවස්ථාවේ දී තම ඉහළ නිලධාරීන්ගේ නියෝග අනුව තමා හා පොලිස් නිලධාරින් කටයුතුකළ බවද දැන්වීය. මෙහිදී වැඩිදුරටත් කරුණු දැකුවු සමන් පියන්ත මහතා ඒකාබද්ද ගොවි සංවිධානයේ සභාපතිවරයාට අධිකරණ නියෝගයක් ලබා දී තිබෙන නිසා මහජනතාවට පීඩාකාරිලෙස උද්ඝෝෂණය නොකරන ලෙස දැන්වුවද සභාපතිවරයා එය නොසලකා හැර උද්ඝෝෂකයන් සමඟ මහජනතාවට පීඩාකාරි ලෙස හැසිරෙමින් වාහන ගමනාගමනයට ද ඉඩනොතබා උද්ඝෝෂණ කළ නිසා ඔහුන් අත්අඩංගුවට ගත් බව දැන්වීය.

අද දින ද එක්තරා ගොවි සංවිධානයක් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණ කර රතිඤ්ඥා දැමිමටද සුදානමින් සිටින බවද අධිකරණයට දන්වා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් දිමුතු බංඩාර මහතා හා නීතිඥවරුන්වන ශ්‍රිලාල් මහේෂ් තලංගල්ල, උත්තරා අබේසිංහ, නිවන්තිකා පිටවල, සමන්ත හේරත් යන මහත්ම මහත්මීන් කරුණු දක්වමින් අධිකරණයට දන්වා සිටියේ ජාත්‍යන්තර මානවමිහිකම් පවා කඩකරමින් පොලිසිය එදින උද්ඝෝෂණය කළ ගොවීන්ට පහරදුන් බවයි. පොලිසියට රුගෙනගොස් සිටිය දී පවා ගොවීන්ට පහරදුන් බව පැවැසු නීතිඥවරුන් එදින තඹුත්තේගම නගරයට භාණ්ඩ ලබාගැනීමට පැමිණි සියඹලන්ගමුව ප්‍රදේශයේ ගොවීන්ට හා තඹුත්තේගම පොලිසියට පැමිණිලි දැමීමට පැමිණ සිටි පුද්ගලයන්ට පවා පහරදී අධිදිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින බවද දැන්වූහ. මෙදින පොලිසිය ජල ප්‍රහාර එල්ල කිරීමට යොදාගෙන තිබුණු ජලය කහ පැහැති ජලයක් බව විඩියෝ දර්ශන මගින් පැහැදිලිව පෙනී යන බව දැන් වු නීතිඥවරුන් සිවිල් ඇදුමින් සිටි සමහර පුද්ලගයන් බැටන් පොලුවෙනුවට ගස්වලින් කඩාගත් පොලුවලින් ගොවින්ට පොලිස් ස්ථානයේදීම පහර දීඇති බව කිහ.

මෙහිදි මහේස්ත්‍රාත්වරිය මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කරුණු විමසීමේ දී පොලිසි ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ විඩියෝ රූපරාමු බලා තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිටින බවයි.

දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය 5 දා පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂණය තහනම් කිරීමටත් සැකකරුවන්ට ඇප ලබාදීමටත් නියෝග කළාය. නැවත මෙම නඩුම අප්‍රේල් මස 2 දින කැඳවීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();