ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සහ හොකී සංගමය අතුරු කමිටු යටතේ ක්‍රියාත්මක වන බැවින් පසුගියදා පැවැති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී එම සංගම් ඡන්දය භාවිත කිරීම මතභේදයට තුඩු දෙන කරුණක් බවට පත්වී තිබේ. අතුරු කමිටු පත්කර ඇති එම සංගම්වලට ඡන්දය භාවිත කළ නොහැකි බව ඔලිම්පික් නිලවරණයට පෙර ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දැනුම් දී තිබුණත් එම සංගම් ඡන්දය භාවිත කිරීමෙන් මෙරට ක්‍රීඩා නීතිය උල්ලංඝනයවී ඇතැයි බොහෝ පාර්ශ්වයන්හී අදහස වී තිබේ.
එසේ වුවත් අදාළ සංගම්වල නිලධාරී මණ්ඩලය එහි ජාත්‍යන්තර සංගම් පිළිගෙන ඇති බැවින් ඔවුන් ඡන්දය භාවිත කිරීමේ කිසිදු වරදක් නොමැති බව ඔලිම්පික් සංගමයේ අදහස වී තිබිණී.
අතුරු කමිටු මගින් පාලනය වන එම සංගම් ඔලිම්පික් නිලවරණයේදී ඡන්දය භාවිත කිරීම මෙරට ක්‍රීඩා නීතිය උල්ලංඝනය කිරීමක් බව මේ පිළිබඳ ඊයේ 'දිනමිණ' කළ විමසුමකදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තහවුරු කළේය.
එමෙන්ම මේ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසුව සුදුසු පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
'මේ මොහොතේ ඔලිම්පික් කමිටු නිලවරණයේ ඡන්දය භාවිත කළ සංගම්වල නීත්‍යානුකූලභාවය හෝ අභියෝගයට ලක් කිරීම එතරම් සුදුසු නෑ. අපි බලන්න ඕන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තරහ කර නොගෙන මේ නීතිවිරෝධී ඡන්ද භාවිතය ගැන කටයුතු කළ යුතුවන්නේ කොහොමද කියලයි. මේ ගැන අධ්‍යයනය කිරීමෙන් පසුව තීරණයක් ගැනීමට සිදුවෙනවා.' අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.
බැඩ්මින්ටන් සහ හොකී සංගම්වලට අමතරව මල්ලවපොර සහ ජූඩෝ සංගම්වල නියෝජිතයන් ඡන්දය භාවිත කිරීමට නම් කළ ක්‍රමවේදය පිළිබඳවත් චෝදනා එල්ලවී තිබේ. ජූඩෝ සංගමයේ පසුගිය නිලවරණයේදී සභාපති සහ ලේකම්ධුර සඳහා නිලධාරින් පත්නොවූ අතර දැනට ක්‍රියාත්මක වන්නේ වැඩබලන සභාපතිවරයකු යටතේය. මල්ලපොර සංගමයේ නිලධාරින් පිරිසක් ව්‍යාජ අස්සන් යොදා ව්‍යාජ ලේඛන සකස් කරමින් ඔලිම්පික් කමිටුවේ නිලවරණයට ඉදිරිපත්වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට හා ඔලිම්පික් නිලවරණ කමිටුවට පැමිණිලි කර තිබිණි.
වසර 9කට පසුව පැවැති ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී ජාතික ටෙනිස් සංගමයේ හිටපු සභාපති සුරේෂ් සුබමනියම් මහතා වැඩි ඡන්ද 6කින් සභාපතිධුරයට පත්වූ අතර ජුඩෝ සංගමයේ උපභාණ්ඩාගාරික සහ ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා වැඩි ඡන්ද 7කින් නැවත ලේකම්ධුරයට පත්විය.
හොකී සංගමයේ සුමිත් එදිරිසිංහ මහතා උපසභාපතිධුරයටත්, බැඩ්මින්ටන් සංගමයේ නිශාන්ත ජයසිංහ මහතා උපභාණ්ඩාගාරිකධුරටයත් පත්වූහ.
0 Comments