ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය සංවිධාන කළ ජාතික කඹ ඇදිමේ තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට 3 වැනි වරටත් යුද හමුදා කණ්ඩායම සමත්විය. එහි කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ නාවික හමුදා කණ්ඩායම විසිනි.
14 වැනි ජාතික කඹ ඇදීමේ තරගාවලිය කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කරමින් පසුගියදා පැවති අතර එහිදී නාවික හමුදා කණ්ඩායම සමග පැවැති පිරිමි අවසන් මහා තරගයෙන් වට 2-0ක ජයක් වාර්තා කිරීමට යුද හමුදා පිල සමත්විය. නාවික හමුදා පිල කාන්තා තරගය ජයගත්තේ වට 2-0කින් යුද හමුදා පිල පරාජයට පත් කරමිනි. ඒ අනුව මෙවර තරගාවලියේදී අපරාජිතව කාන්තා ශූරතාව දිනාගැනීමට නාවික හමුදා පිලේ ක්‍රීඩිකාවන් සමත්වූයේ දෙවැනි වරටය. පසුගිය වසරේ ශූරියන් වූ ගුවන් හමුදා කණ්ඩායමට මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නොහැකිවීම කැපී පෙනුණි.
පිරිමි අවසන් පූර්ව තරගවලදී පොලිස් කණ්ඩායම වට 2-0කින් පරාජය කිරිමට නාවික හමුදා පිල සමත්වූ අතර වට 2-1කින් ගුවන් හමුදා පිල පරාජය වූයේ යුද හමුදා කණ්ඩායම හමුවේය.
කාන්තා අවසන් පූර්ව තරගවලදී වට 2-0කින් පොලිස් කණ්ඩායම පරාජය කිරීමට නාවික හමුදා පිල සමත්වූ අතර වට 2-0කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට යුද හමුදා කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකා යුද හමුදා කිලිනොච්චි 573 වැනි බල සේනාංකය, යුද හමුදා කාලතුවක්කු බල සේනාංකය සහ නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පැවැති මේ තරගාවලියට කිලෝ ග්‍රෑම් 640 බර පන්තිය යටතේ පිරිමි කණ්ඩායම් 8ක් තරග වැදුණු අතර කාන්තා කණ්ඩායම් 6ක් කිලෝ ග්‍රෑම් 540 බර පන්තිය යටතේ තරගයට එක්විය.
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය, වවුනියාව ක්‍රීඩා සමාජය, හොරණ ක්‍රීඩා සමාජය, පොලිස් ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, ෆ්‍රීඩම් ක්‍රීඩා සමාජය සහ ඩම්බෙල් ක්‍රීඩා සමාජය පිරිමි තරගාවලියටත්, යුද, ගුවන්, නාවික හමුදා කණ්ඩායම් සමග සිවිල් ආරක්ෂක බලකාය, පොලිස් සහ වවුනියාව ක්‍රීඩා සමාජ කාන්තා තරගාවලියටත් එක්වී සිටියේය. සමාරම්භක උළෙලේ සහ සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුද හමුදා 57 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් ජී.වී.රවිප්‍රිය මහතා සහභාගි විය.
0 Comments