Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“දීඝවාපිය අරුණ” ජනපති-අගමැති ප්‍රධානත්වයෙන්

දීඝවාපි චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ “දීඝවාපිය අරුණ” වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (12) ආරම්භ විය.

කොළඹ 7, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී එය පැවැති අතර සොළොස්මස්ථානවලින් එකක් වන දීඝවාපිය මෙරට දාගැබ් අතර විශාලත්වයෙන් සිව්වන ස්ථානය ගනී.

බුදුන් වහන්සේගේ නිය ධාතුව තැන්පත්කර සද්ධාතිස්ස රජතුමා චෛත්‍ය ඉදිකර තිබේ.

දීඝවාපිය විහාරාධිපති මහඔය සෝභිත හිමියන්ගේ ඉල්ලීමකට අනුව චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ සැලසුම් ක්‍රියාත්මක අතර ව්‍යාපෘතිය තෙවසරක දී අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් මේ සඳහා වැය නොකිරීම විශේෂත්වයක් වන අතර, දෙස් විදෙස් අනුග්‍රාහකයන්ට ඊට මූල්‍ය මෙන්ම ශ්‍රමදායකත්වය දිය හැකිය.

විහාරස්ථානයට ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරත විය. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනායක හිමි ප්‍රමුඛ මහාසංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට සෙත් ප්‍රාර්ථනා කළහ. “යළි දකිමු දීඝවාපිය”වෙබි අඩවිය එළිදැක්වීම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණි.

“දීඝවාපිය අරුණට” පළමු දායකත්වය දෙමින් නා උයන ආරණ්‍ය සේනාසනාධිපති අඟුල්මඩුවේ අරියනන්ද හිමිපාණන් වහන්සේ පරිත්‍යාග කළ රුපියල් මිලියන100ක මුදල සහිත චෙක්පත දායක සභා සමාජික චන්ද්‍රකීර්ති බණ්ඩාර මහතා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. බෞද්ධයා නාලිකාව රුපියල් මිලියන 5ක් සහ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, ලංකා බැංකුව, මහරගම පිළිකා රෝහල සහ සෙන්ට්‍රල් බෙයාරින් අධිපති සුදත් තෙන්නකෝන් මහතා ද සිය පරිත්‍යාග ජනාධිපතිවරයා වෙත පිළි ගැන්වූහ.

දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණයට සමඟාමීව පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සලසමින් ශාලා 4ක් සහ කාමර 20කින් යුත් විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ විමල නාහිමිපාණන්වහන්සේ, අමරපුර චූලගන්ධි පාර්ශ්වයේ මහානායක ගන්තුනේ අස්සජි, මිරිසවැටිය විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඥාණතිලක, පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය, ඇමැති සරත් වීරසේකර, රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු ද ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානී හූ සහ රාජ්‍ය නිලධාරී හූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 මහින්ද අලුත්ගෙදර

Post a Comment

0 Comments