Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සෑම දිස්ත්‍රික්කයකම ‘යූත් හබ්’ පිහිටුවීමේ ක්‍රීඩා ඇමැති සංකල්පය අගය කරනවා අගමැති මහින්ද රාජපක්ෂ

‘යූත් හබ්’ වැඩපිළිවෙළින්  දිස්ත්‍රික්ක මට්ටමෙන්  තරුණ මධ්‍යස්ථානය  බැගින් ස්ථාපිත කරනවා

ඇමැති නාමල් රාජපක්ෂ

සෑම දිස්ත්‍රික්කයකම සංස්කෘතික මධ්‍යස්ථාන යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව යූත් හබ් (Youth Hub) පිහිටුවීම පැසසිය යුතු කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ඇති සංස්කෘතික මධ්‍යස්ථාන එම කටයුතුවලට සමඟාමීව ක්‍රීඩා කටයුතු හා වෘත්තිය පුහුණු කටයුතු සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ‍මේ බව පසුගියදා (12) ප්‍රකාශ කළේය.

දිස්ත්‍රික්ක 25 තුළ යූත් හබ් (Youth Hub) 25ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

මෙහි පළමුවැන්න දැනට වසර දෙකක කාලයක සිට ඉදිකිරීම් නවතා දමා තිබෙන මාතර නාවිමන සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේ ආරම්භ කළ හැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයාට යෝජනා කළේය.

ඒ පිළිබඳව පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය පිහිටි ස්ථානයේ ගොඩනැඟෙන ක්‍රීඩා විශ්ව විද්‍යාලය අසලින් ගොඩනැඟිලි සංකීර්ණයක් සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයට ලබා දිය හැකි බවට යෝජනා විය.

ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම යෝජනාව පිළිගෙන කටයුතු කළ හැකි බව සඳහන් කළේය.

සියලු දේ කොළඹට සීමා නොකර සෑම දිස්ත්‍රික්කයකටම බෙදී යන පරිදි කටයුතු කිරීම ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා - තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ විෂය පථය ඇතුළේ තිබෙන ගුණාංගවලින්ම පිරුණු වැඩසටහනක් තමයි සංස්කෘතික මධ්‍යස්ථාන සහ ඒ ආයතන හරහා ක්‍රියාත්මක වන්නේ. මේ දෙපැත්තටම බහුතරයක් සම්බන්ධ වන්නේ තරුණ පිරිස නිසා අපට ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි නම් එය ඉතාමත් සාර්ථකව ඉදිරියට ගෙන යා හැකියි. යූත් හබ් කියලා වැඩපිළිවෙළක් අප නිර්මාණය කළා. මේ සංකල්පයෙන් දිස්ත්‍රික්ක මට්ටමෙන් අවම වශයෙන් එක් තරුණ මධ්‍යස්ථානයක් හදන්න අපි බලාපොරොත්තු වනවා. එය දැනට තිබෙන තරුණ මධ්‍යස්ථාන, තරුණ සංවිධාන එහෙම නැත්නම් යෞවන සමාජ හෝ යොවුන් සේනාංක වගේ නෙමෙයි. මේ ඔස්සේ අප කරන්න බලාපොරොත්තු වෙන්නේ තරුණ තරුණියන්ගේ එදිනෙදා ජීවිතය ගොඩනඟා ගන්න අවශ්‍ය උපදෙස් මාලාවක් ලබාදීම, රැකියා අයදුම්පතක් පුරවා ගැනීම, දෙස් විදෙස් රැකියා මාර්ගෝපදේශ ලබා දීම, වෘත්තීය කාර්මික පුහුණුවට යොමු කිරීම, විනෝදාස්වාදය වෙනුවෙන් නර්ථනය ඇතුළු සංස්කෘතිය ඒකාබද්ධ වූ මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමයි. ඒ අනුව දිස්ත්‍රික්ක 25 තුළ එවැනි මධ්‍යස්ථාන 25ක් ස්ථාපනය කරනවා. මේ සඳහා දැනට තිබෙන ආයතන සහ මධ්‍යස්ථානවල ගොඩනැඟිලි අපට ඒ සඳහා භාවිතා කළ හැකියි. අලුතින් ඉදි කරන එක මුදල් නාස්තියක්. මාතර සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය පිළිබඳ අපේ අවධානය යොමු වුණා. එය දැනට වසර දෙකක කාලයක සිට ඉදිකිරීම ඇණ හිට තිබෙන ස්ථානයක්. අපට පුළුවන් යූත් හබ් එකේ පළමුවැනි පියවර එතැනින් පටන් ගන්න.

අද අප තවත් අලුත් සංකල්පයක් හදා ගත්තා. ඒ අපේ කුඩා ව්‍යාපාර වෙනුවෙන්. ඒ තමයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පොළවල් නැති දිනවල කුඩා ව්‍යාපාරිකයන්ට පොළවල්වල වෙළෙඳාම් කිරීමට අවස්ථාව සලසා දීම. හම්බන්තොට සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් ඊට මූලාරම්භයක් අද දිනයේ තබා තිබෙනවා. ඉදිරියේදී අවම වශයෙන් එක ආසනයක එක පොළක කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් දිනක හෝ දෙදිනක පොළක් අප නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් ඉදිරියේදී යූත් හබ් එක තුළ ඒ වෙනුවෙන් ස්ථීර මධ්‍යස්ථාන ඇති කරන්න බලාපෙරොත්තු වනවා. දැනට තිබෙන සංස්කෘතික මධ්‍යස්ථානවලට ක්‍රීඩාව පැත්තෙන් අපට උදව් කළ හැකියි. ටේබල් ටෙනිස්, බැඩ්මින්ටන්, වූෂූ, කරාටි, බොක්ෂිං වගේ ක්‍රීඩා කොළඹින් පිටටත් ගෙනියන්න අප බලාපොරොත්තු වනවා. දෙමසක් වගේ ඇතුළත ක්‍රීඩා භාණ්ඩ හා පුහුණුකරුවන් අපට ලබාදිය හැකියි. ත්‍රිවිධ හමුදාවෙන් හා පොලිසියෙන් පුහුණුකරුවන් ඊට සූදානමින් සිටිනවා.

ක්‍රීඩා අමාත්‍යාංශය හා ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව පාසල් ළමුන්ට දැන් බස් රථ ප්‍රවේශපත්‍ර ලබා දෙනවා. එමඟින් ක්‍රීඩා කටයුතුවලට යන ළමුන්ට බස් රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එම පිරිවැය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දරනවා. සංස්කෘතික අමාත්‍යාංශයේ දරුවන්ටත් ඒ සඳහා වැඩපිළිවෙළක් අප සකස් කර දෙනවා.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා- දැනට පවතින සංස්කෘතික මධ්‍යස්ථාන 30ක අලුත් වැඩපිළිවෙළක් විදියට මේ වසරේදී යූත් හබ් ආරම්භ කරනවා.

මාතර නාවිමන සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ,

විදේශ අමාත්‍යාංශයේ දකුණු ආසියා හා සාර්ක් අංශයේ අධ්‍යක්ෂ රන්සිරි පෙරේරා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික ප්‍රවර්ධන හා ඉදිකිරීම් අංශයේ අතිරේක ලේකම් ජී. විජිත නන්ද කුමාර්, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රවින්ද්‍ර සමරවික්‍රම, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ යන මහත්ම මහත්මීහු මෙහිදී අදහස් දැක් වූහ,

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් මහත්වරු ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

Post a Comment

0 Comments