Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැලිසරින් පැන්න ආසාදිතයා අල්ලයි ආශ්‍රිතයෝ සොයා පරීක්ෂණ

 

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය කොවිඩ් -19 ආසාදිතයා මරදාන- මස්ජිද් පාරේ නිවෙසක් ඉදිරිපිට සිටියදී පොලිස් භාරයට ඊයේ (16) පස්වරුවේ ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය 'දිනමිණ' ට පැවැසීය.

මරදාන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකින් මේ පුද්ගලයා පොලිස් භාරයට ගත් බවත් ඔහු නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද මත නැවත වැලිසර ළය රෝහලට ඇතුළත් කළ බවත් එම කාර්යාලය කීය.

අදාළ පුද්ගලයා ව්‍යාජ ලිපිනයක් ඔස්සේ රෝහල්ගතව සිට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමඟ පෙරේදා (15) පස්වරුවේ රෝහලෙන් පැන ගොස් ඇති බව වැලිසර රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

ඒ අනුව ඔහු සොයා ගැනීමේ අරමුණින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ (16) පෙරවරුවේ මාධ්‍යයට ඡායාරූපයක් නිකුත් කළේය.

ඩීමෙල් වත්ත, ග්‍රෑන්ඩ්පාස් ලිපිනයේ ස්ථිරව පදිංචිවී සිටින මොහු රෝහලෙන් පලා යෑමෙන් අනතුරුව පෙරේදා පස්වරු 3.45ට පමණ මීගමුව - කොටුව බස්රථයක නැඟී ආමර් වීදිය දක්වා පැමිණ ත්‍රිරෝද රථයක රාත්‍රිය ගත කර ඇති බව මූලික ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත.

මේ අනුව වැලිසර සිට ආමර්වීදිය දක්වා මොහු පැමිණි බස්රථයේ රියැදුරු, රිය සහායක, බස් රථයේ ගමන් ගත් පුද්ගලයන් තිදෙනකු සහ රැය පහන් කළ ත්‍රිරෝද රථයේ රියැදුරු සොයා ග්‍රෑන්ඩ්පාස් සහ මරදාන පොලිස් ස්ථාන වැඩි දුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවැසීය.

මෙලෙස කොවිඩ් ආසාදිතයකු රෝහලකින් පැන ගිය 06 වැනි අවස්ථාව මෙය වන බව පැවැසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මෙලෙස රෝහල්වලින් පැන යන පුද්ගලයන්ට නිරෝධායන සහ රෝග වැළැක්වීමේ අඥා පනත ඔස්සේ වසර 03ක සිරදඬුවම් පැනවීමට පියවර ගන්නා බව කීය.

 

රුවන්ත නිතුල්ගස්පිටිය සහ රාගම සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();