Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණයක් එපා කියූ ඡන්දයක් 1982 ජනමත විචාරණය

ජනමත විචාරණයක්‌ යනු කිසියම් නිශ්චිත කරුණක් පිළිබඳ ජනමතය විමසා බැලීමය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ එවැනි ජනමත විචාරණ එකක් පමණක් දක්නට ලැබුණි.එම ජනමත විචාරණය පවත්වන්නේ ජේ. ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය බලය හොබවන 1982 වසරේ දී යි. ජනමත විචාරණයට හේතු වූ කරුණ වූයේ 1983 වර්ෂයේ දී නිමා වීමට නියමිතව තිබූ 1977 පාර්ලිමේන්තු වාරය දීර්ඝ කර ගැනීමය.

ජනමත විචාරණය ක්‍රියාවලිය ලෝකයේ දේශපාලන ඉතිහාසය තුළ ඉතා ඈතට දිව යන්නක්. අමෙරිකානු නිදහස්‌ ප්‍රකාශනය" සම්මත කරවා ගැනීමට 1776 වසරේ ප්‍රථම වරට ජනමත විචාරණයක් පැවැත්වූ අතර 1793 ප්‍රංශයේ ද, පසු ව බ්‍රිතාන්‍යයේ ද ජනමත විචාරණ පවත්වා තිබෙනවා. ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් ද, ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ද තමන්ගේ බලය සුරක්ෂිත කර ගැනීම සඳහා ජනමත විචාරණ පවත්වා තිබේ.

ශ්‍රී ලංකාවේ ජනමත විචාරණ ගැන බැලීමේ දී 1982 වසරේ පළමු හා එකම ජනමත විචාරණය පැවැත්වූ අතර, ඒ සඳහා විමසා බැලුවේ මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය ඇතුළු ව පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර හයකින් වැඩි කිරීම සඳහා ජනතා කැමැත්ත විචාර අතර එහිදී පක්ෂ විපක්ෂ සලකුණු ලෙස ලාම්පුව සහ කළගෙඩිය ලකුණ වෙන් කර තිබුණි.

1977 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ මුළු ආසන ප්‍රමාණය වූ ආසන 168න් ආසන 140ක් දිනා ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවෙන්නේ ආසන 8ක් පමණයි. තවත් ආසන 18ක් දිනා ගැනීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ජයගත් අතර එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක් තරම් වැඩි බලයක් ලබා ගැනීමට හැකියාව ලැබුණි.

1982 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස තරග කළ ජේ ආර් ජයවර්ධන මහතා සියයට පනස් දෙකක බහුතර බලයක් ලබා ගෙන ජය ගත් අතර ඉදිරියේ දී පැවැත්වීමට තිබුණේ පාර්ලිමේන්තු මහ මැතිවරණයයි. එම මහ මැතිවරණය පැවැත් වුවහොත් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පෙර මෙන් මහා බලයක් ලබා ගත නොහැකි බව තේරුම් ගත් ජයවර්ධන මහතා තම තියුණු දේශපාලන සටකපටකම් උපයෝගී කර ගනිමින් 1977 මහ මැතිවරණයේ දී ලැබූ නියෝජනය දීර්ඝ කර ගැනීමට ජනමත විචාරණ ගැටය දේශපාලන පිටියට යොමු කළේය.

නැක්සලයිට්වරුන් බවට චෝදනා කරමින් විජය කුමාරණතුංග ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නේ මේ කාලයේදීය. එවැනි දේ සිදු කිරීමට ප්‍රධාන ලෙස හේතු වූයේ 1982 ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට සහාය දුන් තරුණ නායකයන් වූ අතර ඔවුනට බාධා එල්ල කිරීම මඟින් ජනමත විචාරණයේ දී පහසු ජයග්‍රහණයක් ලබා ගැනීම ජයවර්ධන ජනාධිපතිවරයාගේ අරමුණ විය.

ඒ වන විටත් ජනමත විචාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබුණි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කරන ලද වැඩසටහන් බාධාවකින් තොර ව ඉදිරියට රැගෙන යෑම සඳහා පවතින ආණ්ඩුව තව දුරටත් පවත්වාගත යුතු බවත් ඒ සඳහා ජනතා සහාය අවශ්‍ය බවත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ජනතාව වෙත ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු නිල කාලය 1989 අගෝස්‌තු මාසය දක්වා දිගු කිරීම සඳහා ජනමිත විචාරණය පැවැත්වීමට 1982 දෙසැම්බර් මස 22 වන දිනට දින තීරණය කෙරුණි.

ජනමත විචාරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්ෂ ගණනාවක් විරුද්ධත්වය ප්‍රකාශ කරන නමුත් නීතිමය ක්‍රියාමාර්ග මඟින් ඔවුන් වැළක්වීම, සිරගත කිරීම, ලිපිලේඛන අත්අඩංගුවට ගැනීම, හා විරුද්ධවාදී පුවත්පත් කාර්යාල සීල් තැබීමෙන් විරුද්ධවාදී සියලු අදහස් මර්දනය කිරීමට එවකට පැවති ජේ. ආර්. ආණ්ඩුව ක්‍රියා කරන ලදී.

1982 දෙසැම්බර් මස 22 වන දා ජනමත විචාරණය පැවැත්වෙන අතර, පාර්ලිමේන්තු කාලය තව වසර හයක් දීර්ඝ කිරීමට පක්ෂ නම් ලාම්පු ලකුණට කතිරය යෙදීම ද, එම යෝජනාවට විපක්ෂ නම් කළගෙඩි සලකුණට කතිරය යෙදීම ද මෙහිදී සිදු වුණි. ජනමත විචාරණයෙන් ජය ගැනීමට නම් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් අවම වශයෙන් සියයට පනහක ජන්ද ප්‍රමාණයක් පක්ෂව ලැබිය යුතුව තිබුණි.

යෝජනාවට පක්ෂ ව (ලාම්පුව) ලැබුණ ඡන්ද ප්‍රමාණය 3,141,223 වූ අතර යෝජනාවට විපක්ෂව (කළගෙඩිය) 2,605,983ක ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. ප්‍රකාශිත ප්‍රමාණයෙන් 54%ක ප්‍රතිශතයක් යෝජනාවට පක්ෂ ව හිමි වුණි. ඒ අනුව ලංකාවේ ප්‍රථම හා දැනට පවත්වා ඇති එකම ජනමත විචාරණයෙන් ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව ලැබුණි ඒ සමග ම පාර්ලිමේන්තු කාල සීමාව තවත් වසර හයකින් දීර්ඝ වෙනවා. පෙර පැවති ජනාධිපතිවරණය මෙන්ම ජනමත විචාරණයත් දූෂිත බව විපක්ෂ දේශපාලනඥයන් විසින් දිගින් දිගටම ප්‍රකාශ කෙරුණි. එවකට සිටි මධ්‍යස්ථ විචාරකයන් ද සඳහන් කළේ මේ ජනමත විචාරණය මෙන්ම පෙර පැවැති ජනාධිපතිවරණයද දූෂිත බවයි.

ඉන්පසු දෙදහස වර්ෂයේ දී එවකට ජනාධිපති ධූරය දැරු පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට උත්සාහ කළද පසුව එම උත්සාහය අතහරිනු ලැබිණි.

උදිත ගුණවර්ධන

 



from dinamina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();