සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස
ආණ්ඩුව ගත් සෑම තීන්දුවකින්ම පාලකයන් ජයග්‍රහණය කර ඇති බවත් පොදු ජනතාව පරාජයට පත්ව ඇති බවත් සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ පෙරේදා (25) බෙලිඅත්තේ පැවති ජන හමුවක දීය.
එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.
වර්තමානයේ රට ආර්ථික වශයෙන් කඩා වැටී, ව්‍යාපාර අකර්මණ්‍ය වෙලා. සමඟි ජන බලවේගය ආණ්ඩු පිහිටුවන දිනයේ ජනතාව සැප ලබන යුගය ආරම්භ වෙනවා. හම්බන්තොට වසම් සියල්ලේම අනාගත වගකීම භාර ගන්නේ මම. මේ දිස්ත්‍රික්කයේ තරුණ කණ්ඩායමකට මැති සබයට යන්න අවස්ථාව ලැබීම ගැන මා සතුටු වෙනවා. අපේ ආණ්ඩුව යටතේ දිනන අයට වගේම පරාජය වෙන අයටත් වැඩ කරන්න විමධ්‍යගත මුදලක් ලබා දෙනවා. එය පළාත් සභාවටත් පාර්ලිමේන්තුවටත් එසේමයි. එහිදී හැමෝටම වටිනාකමක් දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා. හැට නවලක්ෂයක් ජනතාව බලාපොරොත්තු සහිතව නොවැම්බර් මාසයේ කළ වෙනසින් රටට අත් වෙලා තිබෙන ඉරණම මොකක්ද? ලැබෙන වාසිය කුමක්ද? ආණ්ඩුව ගත්තු තීන්දු හැම එකකින්ම පාලකයෝ දිනලා, පොදු ජනතාව පැරදිලා. ජනවාරි මාසයේ අතුරු සම්මත ගිණුම හරහා අප ලබා දුන්න රුපියල් දසදහසේ සහනය ඉවත් කළා. කැබිනට් පත්‍රිකාවකින් අහෝසි කළා. ඒක විශ්‍රාමිකයන්ටත් බලපෑවා. ගුණාත්මක මුව ආවරණ රටේ ජනතාවට නොමිලේ ලබා දෙමු කිව්වාම එය බැහැ කිව්වා. ආණ්ඩුව කළේ ඒ අයට ගැති අය දමාගෙන මුව ආවරණ තඹ සතේකට වැඩක් නෑ කියලා කීමයි. දැන් කියන්නේ මුව ආවරණ නැතිව එළියට බහින්න එපා කියලා. පාර්ලිමේන්තුවේ 225න් මා විතරයි ඒ ගැන කතා කළේ. අද අපේ රට ආර්ථික වශයෙන් කඩන් වැටිලා, ව්‍යාපාර අකර්මණ්‍ය වෙලා. ස්වයංරැකියා ලාභීන් අනාථ වෙලා. මිත්‍රවරුනි, සතුටු වන යුගය, සැප ලබන යුගය එනවා. ඒ යුගය සමඟි ජන බලවේගය ආණ්ඩු පිහිටුවන දිනය. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආණ්ඩුව පිහිටුවලා, පළමුවැනි පැය විසිහතරේ අපි අනිවාර්යයෙන් තෙල් මිල අඩු කරනවා. මේ ආණ්ඩුව හිතනවා පන්දාහේ කෑලි දෙකක් දුන්නම ඔක්කොම ඉවරයි කියලා. බෙලි අත්තේ ජනතාව දන්නවා මගේ පියා ජනසවිය ක්‍රියාත්මක කරපු ආකාරය. පියා එහෙම කළා නම් පුතාට විසිදාහක් දෙන එක ලොකු දෙයක් නෙවෙයි. විදුලි බිලේ මාර්තු, අප්‍රේල් මුදල අපේ ආණ්ඩුවකදී අපි ජනතාවට ලබා දෙනවා. සියයට 4 සහන පොලියට මා සමෘද්ධි ඇමැති වෙලා සිටියදී ණය දුන්නා. අනිවාර්යයෙන් වෙනදා වගේම ගමක් පාසා සංවර්ධන වැඩ පෞද්ගලිකව මගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනවා.
ශිවන්ති ප්‍රනාන්දු
0 Comments