Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇහැලේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ වැඩ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික වටිනාකමින් යුත් ඇහැලේපොළ වලව්ව හා සම්බන්ධ ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරිය යටකට පවරා ගැනීමෙන් පසු එහි සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පසුගියදා එහි ගියේය.

මෙම ස්ථානයේ පවත්වාගෙන ගිය රිමාන්ඩ් බන්ධනාගාරය බෝගම්බර බන්ධනාගාරයත් සමඟ පල්ලේකැලේ ප්‍රදේශයට ගෙනයාමත් සමඟ හිස් වූ ගොඩනැගිල්ල ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේ එම අධිකාරිය යටතට පවරාගෙන ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීය.

වර්ෂ 2014 සැප්තැම්බර් මස 28වන දින මෙහි නවීකරණ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශය ආරම්භ කළේය. ලුතිනන් කමාන්ඩර් කේ.ඩී.ඒ.වයි. මිහිරිපැන්න මහතාගේ මෙහෙයවීම යටතේ පනස් දෙනෙකුගෙන් සමන්විත නාවික හමුදා කණ්ඩායමක් ප්‍රතිසංස්කරණ කටයුතුවලට සම්බන්ධව සිටිති.

කාමර 40කින් හා විවෘත ශාලා කිහිපයකින් සමන්විත මෙම ස්ථානය ඉදිරියේදී ආර්ථික වශයෙන් ඵලදායි ව්‍යාපෘතියකට යොදා ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පැවසීය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් එම්.ජි.ඒ තිලකරත්න, සහකාර ලේකම් උදාර කොන්ශිවත්ත, මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් යන මහත්වරුද සහභාගී වූහ.

 

අසේල කුරුළුවංශ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();