එජාප නායක රනිල් වික්‍රමසිංහ
සමඟි ජනබලවේගය පිහිටු වීම සම්බන්ධව එහි මහ ලේකම් ප්‍රමුඛ නායකයන් අධිකරණයට කරුණු වසන් කරමින් බොරු කියා ඇති බව අධිකරණ තීන්දුවෙන් සනාථ වන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉකුත් 24 සහ 25 දිනවල වැල්ලවාය, බදුල්ල, ඌවපරණගම, නුවරඑළිය සහ හැටන් ප්‍රදේශවල පැවති ජන හමු කිහිපයකට එක් වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.
සන්ධානයක් මිස පක්ෂයක් හැදීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමැතිය ලබාදී නෑ. මේ සම්බන්ධව අනවබෝධයෙන් කටයුතු කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ වෙනත් අය සිටී නම් ඒ අයට දැන් පක්ෂය සමඟ එක්වීමට අවස්ථාව තිබෙනවා. කොරෝනා නිසා මෙවර මැතිවරණ රැස්වීම් අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන්න සිදුවෙලා. මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්ණායක ඇතුළත් ගැසට් පත්‍රයේ තිබෙන අඩුපාඩු නිසා වර්ජනයක නිරතව සිටින පීඑච්අයි මහත්වරුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස මා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
කොරෝනා වයිරසය සමග ඇතිවු ආර්ථික අර්බුදයට මේ ආණ්ඩුවට මුහුණ දීමට නොහැකි වී තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල ආණ්ඩු කොරෝනා වයිරසය සමඟ ඇතිවූ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට ක්‍රියා කළා. රටේ අද උද්ගතව තිබෙන ප්‍රශ්න වලට සාර්ථක විසඳුම් ඇතිව මැතිවරණයට ඉදිරිපත්ව සිටින එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණයි. ඒ නිසා අපේ සැලසුම් ක්‍රියාත්මක කර කොරෝනා වයිරසය මෙන්ම ආර්ථික අභියෝගය ද ජයගෙන ඔබේ ප්‍රශ්න විසඳා ගැනීමට එජාපයට ආණ්ඩුවක් පිහිටුවීමේ වරම ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට ප්‍රතිපත්ති ප්‍රකාශයට ඔබ්බෙන් ගිය සැලැස්මක් අප ඉදිරිපත් කළා. ඉදිරි අවුරුදු දෙක තුන තුළදී මේ ප්‍රශ්න සියල්ලටම විසඳුම් ලබාදීමට අපට හැකියාව තිබෙනවා. මේ අභියෝගයට මුහුණ දීමට අප ලෑස්ති වුණත් වෙනත් අය ලෑස්ති නෑ. ඇතැම් අය විපක්ෂ නායකකම ගන්න හදනවා. සමහරු සිරිකොත පක්ෂ ගොඩනැඟිල්ල අල්ලා ගන්න හදනවා. අද තිබෙන මේ ප්‍රශ්න වලට එය විසඳුමක් නොවෙයි. අද සමහරු එක්සත් ජාතික පක්ෂ දෙකක් තිබෙන බව ප්‍රකාශ කරනවා. තවත් සමහරු බලවේගයක්ද ගෑස් සිලින්ඩරයක්ද කියන එකේ සාමාජිකත්වය ගන්න එක්සත් ජාතික පක්ෂය ඉඩ දුන් බව ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධව එහි ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර උසාවි ගියා. මාවත් උසාවියට ඇදගෙන ගියා. ප්‍රථමයෙන් දිස්ත්‍රික් උසාවියට ගිය පසු එතැනින් පරාද වුණා. ඉන්පසු සිවිල් අභියාචනාධිකරණයට ගියා. එතනිනුත් පරාජයට පත් වුණා. තවත් උසාවි ගණනාවකට යන බව ඒ අය ප්‍රකාශ කරනවා. ඒ කිසිවක් අප නතර කරන්නේ නෑ. මේ වන විට ඒ අය අපේක්ෂකයන්ගේ විනය උල්ලංඝණය කර ඇති බවට තීන්දු වෙලා තිබෙනවා. “එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ විධිවිධාන වලට පැමිණිලිකරු පැහැදිලිව ප්‍රතිවිරුද්ධව ක්‍රියාකර ඇති බවත් එවැනි අවස්ථාවකදී පක්ෂයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා පරික්ෂණයක් පවත්වන තුරු පැමිණිලිකරුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ නායකයාට පක්ෂ ව්‍යවස්ථාව අනුව අයිතියක් තිබු බවත් පෙනේ”. යනුවෙන්ද තීන්දුවේ සඳහන් වෙනවා. එය උසාවි නියෝගය. මා ඩීල් දානවා කියා චෝදනා කළා. නමුත් ඩීල් දැම්මේ මා නොවේ එජාපය විනාශ කරන අයයි ඩීල් දැම්මේ. එජාපය විනාශ කරන එකත් ඩීල් එකක්.
අපි මේ අයට කිව්වේ සන්ධානයක් හදන්නයි. අවශ්‍ය නම් අගමැති අපේක්ෂක කමත් ගෙන අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන ලෙසයි. නමුත් මේ අය හදලා තියෙන්නේ පක්ෂයක් බව දැන් පැහැදිලියි. මේ සත්‍ය තත්ත්වය ග්‍රාමීය මට්ටමට ගෙන ගොස් ජනතාව දැනුවත් කළ යුතුයි. ඒ පක්ෂයේ සිට සිරිකොත අල්ලන්න එනවා කියන්න බෑ. මේ පසුබිම තුළ මේ අය සිරිකොතට පැමිණියොත් ඒ කටයුත්ත මා පොලිසියට බාර දෙනවා. පක්ෂ අපේක්ෂකයන්ගේ විවිධ වාද විවාද තිබෙනවා. නමුත් මෙලෙස පිටින් ඇවිත් සෙල්ලන් දාන්න දෙන්න බෑ. මේ අය ප්‍රකාශ කරන පරිදි ඡන්දයෙන් පසු ඔවුන්ගේ ප්‍රථම කාර්යය වන්නේ සොරකම් කිරීමයි. අනුන්ගේ ගෙවල් වලට පැන පහර ගැසීමයි. මෙවැනි අයට ඡන්දය දෙන්නේ කව්ද? අද මැතිවරණ වේදිකාවේ වෙනත් පක්ෂ කතා කරන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන. නීතිය සාමය ආරක්ෂා කිරීම ගැන. නමුත් මේ අය කියන්නේ ඡන්දයෙන් පසු ගහලා සිරිකොත අල්ලා ගන්නවා කියා.
තම පරමාර්ථය එක්සත් ජාතික පක්ෂ නැති කිරීම නම් ඒ අයට මෙතැනින් පිටවී ඕනෑම පක්ෂයකට එක්විය හැකියි. තමන්ගේ පරමාර්ථය එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න නම් පක්ෂ සාමාජිකයකු ලෙස ක්‍රියාකර එජාපයට ඡන්දය ලබාදිය යුතුයි. නඩු තින්දුවෙන් පසු දෙකම කරන්න බෑ. ඒ අනුව කුමන පැත්තකට යනවාද කියා තීරණය කළ යුතුය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හෝ වෙනත් අපේ ක්‍රියාකාරිකයෙක් හෝ සමඟි ජනබලවේගයට වැඩ කළොත් ඔහුට තවදුරටත් එජාපයේ සාමාජිකත්වය දැරීමට නොහැකියි. එක්සත් ජාතික පක්ෂය ලෙස අපි කිසිවකුටත් මඩ ගසන්න හෝ අපහාස කරන්න යන්නේ නෑ. අපේ අරමුණ මේ රට ගොඩගැනීමයි. 2015 මා අගමැති ධූරයට පත්විමෙන් පසු විවිධ අමාත්‍යාංශ මාර්ගයෙන් මේ ප්‍රදේශ සංවර්ධනය කිරීමට මුදල් දුන්නා. අපි බලයට පැමිණ හම්බන්තොට වරාය යටතේ විශේෂ ආර්ථික කලාපයක් ඇති කළා. එය දකුණු ආසියාවේ විශාලතම ආර්ථික කලාපයයි. ඊට අක්කර දස දහසක් අයත් වෙනවා. හම්බන්තොටින් 5,000ක් සහ මොනරාගලින් 5,000ක් බැගින් ඒ සංවර්ධන කටයුත්ත ආරම්භ කරන්න අප සැලසුම් කළා. ඒ වගේම මත්තල සිට වැල්ලවායට අධිවේගි මාර්ගයක් ඉදිකරන්න සැලසුම් කළා. ඌව පළාතේ මොනරාගල, බදුල්ල සහ නුවරඑළියත් දියුණු කිරීමට සැලසුම් කර තිබුණා. වතුකරයේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් අපේ පක්ෂයේ සෑම නායකයෙක්ම වැඩ කළා. අගමැතිවරයා ලෙස වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමට පියවර ගත්තා. දෙමළ නායකයන්ට වඩා වතු ජනතාවගේ පුරවැසි අයිතිය ලබාදීමට මා කැප වී ක්‍රියා කළා. 2015 දී ඉන්දියන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කර එරට ආධාර යටතේ නිවාස 12,000ක් ද, අපේ ආණ්ඩුව යටතේ නිවාස 4,000ක්ද වතුකරයට ලබා දුන්නා. අපේ පක්ෂයෙන් පිටව ගිය අය මේ ඡන්දයට පෙර එතැන ඉන්නවාද? නැතිනම් නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වෙනවාද? කියා තීරණය කළ යුතුයි. පසුගිය ජනාධිපතිවරණයේදී අපට අහිමි වුණ සිංහල ඡන්ද නැවත පක්ෂයට ලබාගෙන ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම අපේ අරමුණ වී තිබෙනවා.
ශිරෝමි අබයසිංහ සහ කරාපිටිය සමූහ
0 Comments