Header Ads Widget

බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය සියලු ආගමික පූජකවරුන්ටත්

Author(s): 
කමනි අල්විස්

මහා සංඝරත්නය උදෙසා ක්‍රියාත්මක කරනු ලැබූ බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය සෙසු ආගමික පූජකවරුන්ටත් ලබාදීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය පිළිබඳව යථා කාලයේදී ක්‍රියා කරන බව පැවසූ අගමැතිවරයා ප්‍රථම අදියර යටතේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ගෞරවණීය මෙහෙවරක් ඉටුකරන මහා සංඝරත්නය උදෙසා පිරිනැමූ බවත් අවධාරණය කළේය. මහා සංඝරත්නයේ මෙන්ම සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා බුදුපුත් රක්ෂණාවරණය ක්‍රියාවට නැංවූ බවත් සඳහන් කළ අගමැතිවරයා අප රටේ බුද්ධ ශාසනය රැකීමට දේශපාලන බේද පසෙක තබා කටයුතු කළ යුතු බවද මෙහිදී සිහිපත් කළේය. මහා සංඝරත්නය ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීමෙන් බුද්ධ ශාසනය රැකෙන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ පෙරේදා (26) අරලියගහ මන්දිරයේදී පැවැති භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ක්‍රියාවට නැංවූ බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය ඇරඹීමේ මාහැඟි පුණ්‍ය කටයුත්තට එක්වෙමින්ය.

බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය සඳහා රජය රුපියල් මිලියන පනහක් සහ බුද්ධ ශාසන අරමුදල මඟින් රුපියල් මිලියන හතළිහක් වැය කර රුපියල් මිලියන අනූවක සෘජු අරමුදලක් ස්ථාපිත කෙරේ. මෙම ආයෝජනය තුළින් වාර්ෂිකව රුපියල් මිලියන දහයක මුදලක් ඉපැයීමට බලාපොරොත්තු වෙයි. වාර්ෂිකව බුද්ධ ශාසන අරමුදල මඟින් රුපියල් මිලියන විස්ස බැගින් යොදවා අරමුදල ශක්තිමත් කෙරෙයි. මෙම අරමුදල සඳහා අවශ්‍ය නම් පරිත්‍යාගශීලීන්ට ආධාර ලබාදීමට පිළිවන.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් මෙම අරමුදලට බැර කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බැංකුවේ සභාපති ජෙයරාජ් චන්ද්‍රසේකර මහතා ප්‍රදානය කළේය.

දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳව සිදු කළ යුතු සාකච්ඡා පැවැත්වීමට අතපසුවීම පිළිබඳව සමාව භාජනය කරන ලෙස නමස්කාරපූර්වකව මහා සංඝරත්නය හමුවේ පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡා කඩිනමින් පවත්වා අවශ්‍ය පියවර ගන්නා බවට මෙහිදී දැනුම් දුන්නේය.

නාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළ පරිදිම එම ප්‍රමාදයට හේතුව වුණේ ඉකුත් වසරේ ඔක්තෝබරයේ සිදුවුණු දේශපාලන ව්‍යාකූලත්වය බව අගමැතිවරයා මෙහිදී පැවසුවේය.

දහම් පාසල් අධ්‍යාපනයට අදාළ වැදගත් කටයුතු රැසක් පිළිබඳව අගමැතිතුමා සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත් ඔක්තෝබරයේ දේශපාලන අස්ථාවරභාවය නිසා එය ප්‍රමාද වී තිබෙන බවත් එහි ප්‍රබල අවශ්‍යතාවන් පිළිබඳ මැදගම ධම්මානන්ද නාහිමියෝ කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

එහිදී අගමැතිවරයා තවදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ලොව්තුරා බුදුරදුන්ගේ බුද්ධ වදන රැකගත්තේ රැකගන්නේ මහා සංඝරත්නයයි. කිසිම බාධාවකින් සැකයකින් තොරව සියලුම සංඝරත්නය සඳහා රක්ෂණාවරණය ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය අනුග්‍රහයෙන් වගකීමකින් මේ මහඟු කටයුත්ත සිදු කරනවා. ඒ වාගේම රජයේ සුරක්ෂිතභාවය ලබා දෙනවා.

මෙම රක්ෂණයට අමතරව මහා සංඝරත්නය උදෙසා ශාසනයට තම දරුවන් කැප කළ මව්පියවරුන් ආරක්ෂා කර ගැනීමටත් බුදුපුත් මව්පිය සුරක්ෂා ක්‍රමයක් මූලික අවශ්‍යතා පවා නොමැති විහාරස්ථාන දියුණු කිරීමට බොදු ආරාම සුරක්ෂා යනුවෙන්ද වැඩසටහන් ක්‍රියාවට නංවනවා.

ගමේ පන්සල දියුණු කිරීම විශේෂයෙන් කළ යුතුයි. මේ සඳහා මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කළා. නගරයේ විහාරස්ථානවලට යම් මූල්‍ය ශක්තියක් තිබෙනවා. නමුත් ග්‍රාමීය නාගරික භේදයකින් තොරව රටේ බෞද්ධ විහාරස්ථාන රැක ගනිමින් දියුණු කරමින් කටයුතු කිරීම රජයෙන් සිදු විය යුතු කාර්යභාරයකි.

අතීතයේ සිටම පාලකයන් දායකයන් එකට එකතු වී මහා සංඝරත්නයේ අවශ්‍යතා ඉටුකරමින් ඉදිරියටම කටයුතු කරගෙන පැමිණියා. සමාජය විශාල පරිවර්තනයකට ලක් වුණා. ගමේ පන්සලේ සංඝයා වහන්සේ නොව වැඩිහිටි දෙමව්පියන් බලා කියා ගැනීමටත් තත්ත්වයක් නැතිව ගියා. මෙවැනි තත්ත්වයක් මහා සංඝරත්නයට බලපානවා. මෙවැනි දේ සිදුවන්නේ අප රටේ පමණක් නොවෙයි. ලෝකයේම සිදු වෙනවා. යුරෝපයේ වැඩිහිටි ආයතනවලට මව්පියන් ඇතුළත් කරනවා. සමහර නගරවල නඩත්තුව කර ගත නොහැකි පල්ලි විකුණනවා.

මෙම රක්ෂණාවරණය ආරම්භ කිරීමේ සංකල්පය ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙයි. කාලෝචිත විශිෂ්ට වැඩපිළිවෙළක් වන මෙම කටයුත්ත රජය පිළිගත්තා. එතුමාට කෘතඥතාව පළ කරනවා. ඇමැති ගාමිණී ජයවික්‍රම මහතා මුදල් අමාත්‍යාංශය සහ අප සමඟ වාද කරමින් සංකල්පය යථාර්ථයක් බවට පත් කළා. ඇමැතිවරයා ඉතා හොඳ බෞද්ධයෙක්. රට පුරාම බෞද්ධ කටයුතු වෙනුවෙන් සේවය කරනවා. අපි දෙදෙනාම 1977 පාර්ලිමේන්තුවට පැමිණියා.

එවකට හිටපු දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අප හට පැවසුවේ ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයේ නවවැන්න ලෙස දක්වා තිබෙන බුද්ධාගම අපි අර්ථවත් කළ යුතු බවයි. දශකයක පමණ කාලයක තුළදී දානපතියන්ගේ ධනය ක්ෂය වී ගොස් පන්සල් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවයක් තිබුණා. එම නිසා රජයෙන් විශාල ලෙස බුද්ධ ශාසනයට උපකාර කිරීමට මුදල් වැය කළා. විමධ්‍යගත අය වැය මුදල් බුදු සසුන වෙනුවෙන් වැය කළා. ඇමැති ගාමිණී ජයවික්‍රම මහතා කුරුණෑගලට විශාල ලෙස වැඩ කළා. දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමා පාලි බෞද්ධ විශ්වවිද්‍යාල ඇති කළා. ගම් උදාව සමඟ පන්සල් ඇති කිරීමට පියවර ගත්තා. දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ ශිෂ්‍යත්ව මහා සංඝරත්නයට ලබා දුන්නා. දිවංගත ගාමිණී දිසානායක මහතා මහවැලිය තුළින් විහාරස්ථාන දියුණුවට විශාල වැඩ කොටසක් කළා. පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කළේ මමයි. සාරිපුත්ත අධ්‍යාපන පීඨය ඇරඹීමට ක්‍රියා කළා. දිවංගත ප්‍රේමදාස, විජේතුංග ජනාධිපතිවරු බුද්ධ ශාසනය රැක ගැනීමට ක්‍රියා කරමින් ඒ සඳහා වැඩ කටයුතු ඉදිරියටම ගෙන ආවා. නායකයින් රැක ගනිමින් දේශපාලන මතබේද වලින් වැළකී ඉදිරියට ආවා.

මේ වන විට බුද්ධ ශාසන අමාත්‍යාංශය, ජාතික ප්‍රතිපත්ති කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික අරමුදල, සංස්කෘතික අමාත්‍යාංශය යනාදිය තුළින් ගත වුණ වසර හතරහමාර තුළ රුපියල් මිලියන හත්දහසක පමණ මුදලක් බුද්ධ ශාසනයේ දියුණුවට වැය කර තිබෙනවා. මෙයාකාරයට බුදු සසුන වෙනුවෙන් මුදල් වැය කළ වෙනත් ආණ්ඩුවක් ශ්‍රි ලංකාව තුළ තිබුණේ නෑ. ආණ්ඩුවක් ලෙසින් මෙවැනි උත්තරීතර කාර්යභාරයක් ඉටුකිරීමට හැකිවීම ගැන අභිමානයක් අප තුළ පවතිනවා.

බෞද්ධ අධ්‍යාපන කටයුතු උදෙසා මුදල් වැය කර ලබාදීමටත් ක්‍රමවේද ඉදිරියේදී සකස් කර දෙනවා යැයිද අගමැතිතුමා අවධාරණය කළේය.

කථානායක කරු ජයසූරිය මහතා මෙසේ අදහස් දැක්වීය. වසර දෙදහස් පන්සියක ප්‍රෞඪ ඉතිහාසය තුළ මහා සංඝරත්නය ශාසනයේත් දේශයේත් පැවැත්ම වෙනුවෙන් සිදු කළ කැපවීම අමතක කළ නොහැකියි. උන්වහන්සේලා සිදු කළා වූ අති විශාල යුග මෙහෙවර නමස්කාරපූර්වකව සිහිපත් කරනවා.

ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් අගමැතිතුමාගේ සහායෙන් ඇමැති ගාමිණී ජයවික්‍රම මහතාගේ මෙම උදාර සංකල්පය ක්‍රියාත්මක වුණා. මහා සංඝරත්නයට උපහාර දැක්වීම ජාතික යුතුකමකි.

මහා සංඝරත්නයට උපහාර දැක්වීමේ උත්තරීතරත්වය අගමැතිතුමා සඳහන් කළා. රටට අවවාද අනුශාසනා ලබාදෙන මහා සංඝරත්නය අද මෙම වේදිකාවේ වැඩ වසනවා.

අතීතයේ ගම පන්සල අතර තිබුණේ මනා සබඳතාවයකි. ජ්‍යෙෂ්ඨ ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගනිමින් ගම්මුන් තම ගැටලු විසඳා ගැනීමට මූලස්ථානය ලෙස පන්සල පත් කර ගත්තා. එදා ගුරු ගෝල සබඳතාව හොඳින් පැවතුණා. ගුරුවරුන් දේවත්වයෙන් සැළකුවා. ගුරුවර ගුරුවරියන් එදා ශිෂ්‍ය ශිෂ්‍යාවකට සද්භාවයෙන් වේවැල් පහරක් දුන්නේ එම දරුවාගේ යහපතටයි. අද සිදුවන්නේ පහරදීමට එරෙහිව මානව හිමිකම් නඩුවකි. එදා සහ අද සමාජය බෙහෙවින් වෙනස් වී ඇත. එදා හඳ දිහා බලා දරුවන් නැළෙව්වා. අද වන විට සඳ තරණය කළා පමණක් නොව අඟහරු ලොවටත් ගිහිල්ලා.

මේ රටේ වෙනසක් ඇති කළ යුතුයි. එහිදී මහා සංඝරත්නය මූලිකත්වය ගෙන රට හරිමඟට ගෙන යා යුතුයි. ගෞරවණීය මහා සංඝරත්නය වෙත ආරාධනාවක් කරමි. නව දේශපාලන සංස්කෘතියකින් මේ රට ගොඩනැඟීමේ ක්‍රමවේදයක් හදන්න. පාස්කුදා වුණු සිදුවීම අප රටට කලු ලපයක්. නිර්මල බුදුදහම පවතින මේ රට ගැන ඉන්දියාවේ අගමැති මෝදි මෙසේ පැවසුවා. 'මම බුදුන් උපන් දේශයේ අගමැති. බුදු දහම රැකෙන්නේ ශ්‍රී ලංකාවෙන්.'

වාද‍ ‍භේද පසෙක දමා රටක් ලෙස අප සැම එකතු විය යුතුයි. මේ පුංචි රටේ ඉන්නේ මිලියන විසි එකක පමණ ජනගහනයක්. මේ අයව නිසියාකාරව හැඩ ගස්වා ගැනීමට අපහසු නෑ. මීට වඩා ජනගහනයක් වෙසෙන නගර රටවල් ලොව තිබෙනවා. සමහර රටවල් නගරාධිපතිවරු පාලනය කරනවා.

අතීත ශ්‍රී විභූතිය නැවත මේ රටට ලබාගන්න මහා සංඝරත්නයේ පූර්ණ සහාය අවශ්‍යයි. බුදුපුත් රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමේ උදාර මෙහෙවර ඉටුකළ ඇමැති ගාමිණී ජයවික්‍රම මහතාට අප ‍ණය ගැතියි. එතුමා මෙහි නියමුවාය.

බුද්ධ ශාසන වයඹ සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා -

බුදු පුත් රක්ෂණාවරණයෙන් ලබන පළමුවැනිදා නවදහසක් පමණ වූ මහා සංඝරත්නයට පිළිගන්වනවා. බස්නාහිර පළාතේ ස්වාමීන් වහන්සේලා කැඳවා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පිළිගැන්වීම සිදු වෙනවා. සෑම දිස්ත්‍රික්කයකටම ඇමැතිවරයා ලෙස පැමිණ මහා සංඝරත්නය වෙත රක්ෂණාවරණය ලබා දෙනවා.

මෙම රක්ෂණාවරණය ලබාදීමේදී කිසිම භේදයක් බලන්නේ නෑ. චීවරය පමණයි බලන්නේ. මෙම රක්ෂණාවරණය රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබෙනවා. අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් කිත්සිරි, හිටපු ලේකම් ගමගේ මහත්වරුන් මෙම රක්ෂණාවරණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළා. බුදු දහමේ උගන්වා තිබෙන විනය ඉවසීම තුළින් අප ක්‍රියා කළ තරමින් මතුවන ප්‍රශ්න සඳහා කැපවීමෙන් විසඳුම් සොයා පිරිසිදු චේතනාවෙන් කටයුතු කළ යුතුයි.

බුද්ධ ශාසනයේ දියුණුව සඳහා මහා සංඝරත්නය වෙනුවෙන් අරඹා තිබෙන බුදු අරම සුරක්ෂා වැඩසටහනට ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇමැති වජිර අබේවර්ධන, ඇමැති සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගෙන් විශාල දායකත්වයක් ලැබෙනවා. පන්සල්වල පවතින සංඝාවාස ජල ප්‍රශ්න වැසිකිළි කැසිකිළි යනාදිය ගැටලු මේ යටතේ නිරාකරණය වෙනවා.

මෙහිදී ‍මම විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගැන යමක් කිව යුතුයි. අගමැතිතුමාට ඉතිහාසය පිළිබඳව පවතින්නේ හසල දැනුමක්. අගමැතිතුමාට ඇති දැනුම පරිගණකයක් ලෙසින් මම දකිනවා. නිහඬව කාර්යභාරය එතුමාගෙන් අපත් දැනුම ලබා ගන්නවා.

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියෝ -

බුදුන් වහන්සේ වදාළ දෑ මහාවංශයේ එන ගාථා පාඨයෙන් වටහා දෙනවා. ගහට පොත්ත මෙන් පොත්තට ගහ මෙන් මහා සංඝරත්නයටත් ජනතාවටත් බලවත් ඇල්මකින් එකට සිටි නිසා ඇති වුණ සෑම බාධාවකින්ම රටත් ජනතාවත් අනාදිමත් කාලයක් පුරාවට රැකුණා.

මහා සංඝරත්නය රැක ගැනීමට ඇමැති ගාමිණී ජයවික්‍රම මහතා ඇමැති මණ්ඩලය සමඟ සාකච්ඡා පවත්වා දක්වා තිබෙන්නේ වටිනා අනුග්‍රහයක්.

භික්ෂූන් වහන්සේලා අසරණ වන අවස්ථාවන්හිදී අතදීමට මෙවැන්නක් ඉටු කිරීමට පියවර ගැනීම කෘතඥතා පුණ්‍යානුමෝදනා ලබාදෙමින් අඛණ්ඩව දීර්ඝ ලෙස ගෙනයාමට හැකියාව නොඅඩුව ලැබේවා. විශාල මුදලක් මේ වෙනුවෙන් වැය කරනවා. අමරපුර මහ නිකායේ පූර්ණ සහාය මේ සඳහා ලබා දෙනවා. භික්ෂූන් වහන්සේලාගේ තත්ත්වය මැනවින් තේරුම් ගෙන ක්‍රමවත්ව ඇරඹූ වැඩසටහනක් ලෙස මෙය දකිනවා. මෙහි වටිනාකම අප්‍රමාණයි. සාර්ථක පුණ්‍යකාමී වැඩකටයුතු සඳහා අමරපුර මහ නිකාය පූර්ණ සහාය ලබා දෙනවා. ඉංග්‍රීසි පෘතුගිසි ලන්දේසි යුගවල බුද්ධ ශාසනයට තැනක් ලැබුණේ නෑ. ඒ සියල්ල අකා මකා රට ඉදිරියට ගෙනයාමේ උදාර සංකල්පය ඇතිවුණේ මහා සංඝරත්නය හා ජනතාව බලවත් ඇල්මකින් එකට එක්ව ක්‍රියා කිරීමයි.

දිඹුල්කුඹුරේ සරණංකර අනුනාහිමි

ශාසනය ඉදිරියට යාමට ධර්මයේ පැවැත්මට මහා සංඝරත්නය අවශ්‍යයයි. එවන් කල්පනාවකින් අසරණ වුණ භික්ෂූන් වෙනුවෙන් ඇති කළ මේ සුරක්ෂා රක්ෂණාවරණය බලවත් උපකාරයකි. ඇමැති ගාමිණී ජයවික්‍රම මහතාගේ සංකල්පයට අගමැතිතුමා ඇතුළු ඇමැති මණ්ඩලය ලබා දුන් සහාය බෙහෙවින් වටිනවා. මෙය මහා පින්කමකි. මෙම පින්කම් තුළින් සම්බුද්ධ ශාසනය රැකෙනවා. අගමැතිතුමනි, යම් කෙනකු ගිලනුන්ට උපස්ථාන කරනවා නම් එය අප ලොව්තුරා බුදු පියාණන්ට සිදු කරන උපස්ථානයකට සමානයි. ගිලානෝපස්ථානය පූතිගත්තතිස්ස තෙරුණ්ට උපස්ථාන කිරීම තුළින් බුදුන් වහන්සේ පෙන්වා දුන්නා. මෙම රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීම තුළින් ගිලානෝපස්ථානයේ වටිනාකම තවත් තීව්‍ර කළා. සම්බුද්ධ ශාසනය පවතින්නේ දායකකාරකාදීන් සිදු කරන උපස්ථාන මතයි. එදා බුදුන් වහන්සේට සියලු උපස්ථාන දාන මානාදිය අනේපිඬු සිටුතුමා විශාඛා මහ උපාසිකාව සිදු කළා. රජවරු සිදු කළා.

ධර්මාශෝක රජු සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මට වෙහෙර විහාර අසූහාරදහසක් නිර්මාණය කළා. එතුමාගේ පුතු සහ දියණිය මිහිඳු හිමියන් සහ සඟමිත් මෙහෙණිය ශ්‍රී ලංකාවට වැඩම කළා. දේවානම්පියතිස්ස රජ බුදුදහම වැළඳ ගත්තා. පළවන පරාක්‍රමබාහු පළවන විමලධර්මසූරිය රජවරු ශාසනයට ඉහළ මෙහෙවරක් කළා. ඔවුන් නැතිනම් ශාසනයේ පැවැත්මක් නෑ.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ-

ශාසනයත් භික්ෂූවත් කසාය මුට්ටියට හඳුන්වා දී තිබෙනවා. කසාය පවතින්නේ නෑ මුට්ටිය නැතිව. මෙහිදී මුට්ටිය භික්ෂූන් වහන්සේලාය. බුදුන්ගේ ධර්මස්කන්ධය භාජනයක් ලෙස වැඩසිටිය යුතුයි යනු එහි අදහසයි.

ඉටුකළ මේ වටිනා කාර්යභාරය අගය කරනවා මල්වතු මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි ඇතුළු කාරක සභාවේත් ආශිර්වාදය මෙම උතුම් කටයුත්තට ලබාදෙනවා.

මැදගම ධම්මානන්ද නාහිමි-

සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කළ උත්කෘෂ්ඨ කාර්යකි. මෙවන් ක්‍රියාවක් සිදු කිරීම පිළිබඳව ප්‍රසාදය පිරිනමමි. යහපත් රජයක් පවත්වාගෙන යාමට අවවාද අනුශාසනා දිවා රාත්‍රී නොබලා ලබාදෙමින් කැපවීමෙන් සංඝයා වහන්සේ ක්‍රියා කරනවා. අපගේ ආශිර්වාදය රජයට පිරිනැමීම වගකීමක්.

බෞද්ධ ජනතාවගේ සංවර්ධනය උදෙසා බෞද්ධ බැංකුවක් පිහිටුවීමට ඉඩ ලබාදෙන්න. ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ආශිර්වාදය ඒ සඳහා ලැබෙනවා. බෞද්ධ රටවල් ගොනු කරගෙන බැංකුව ක්‍රියාත්මක විය යුතුයි. අස්ගිරි මහනාහිමිපාණන් වහන්සේ ඇතුළුව කාරක සංඝ සභාවේ ආශිර්වාදය මෙම කටයුත්ත ඉටුකළ රජයට පිරිනමනවා.

මාතලේ ධම්මකුසල අනුනාහිමි-

ලොව්තුරා බුදුන් වහන්සේගේ පාදස්පර්ශය වු මේ රට අනුබුදු මාහිමිගේ වැඩම කිරීමෙන් ධර්මාලෝකය පැතිරුණා. අනුබුදු මාහිමි සමඟ පැමිණි භික්ෂූන් වහන්සේලාට නවාතැන් දුන් ගල්ලෙන් අදත් අනුරාධපුරයේ තිබෙනවා. සැදැහැවතුන් එක්වී එදා එම ගල්ලෙන් පූජා කළා.

චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්චය යන්නට භේසජ්ජ පරික්කාර ඇතුල්ව තිබෙනවා. එනම් අසනීප වූ විට ඖෂධ ගැනීමයි. මහා සංඝයා නඩත්තු වන්නේ මහජනතාවගෙන්. රටේ වටිනාම සම්පත භික්ෂූන් වහන්සේලා. භික්ෂූන් වහන්සේලා ශාසනයේ රඳවාගෙන ශාසනයේ ඉදිරි පැවැත්මට මෙවැනි රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට ජනාධිපති අගමැති ආශිර්වාදය සහාය ලැබීම අගය කරමින් ගෞරවය හා කෘතවේදීත්වය පිරිනමනවා.

මෙම අවස්ථාවට අන්‍ය ආගමික පූජකතුමන්ලා, විදෙස් නියෝජිතවරු, ඇමැති වජිර අබේවර්ධන, රාජ්‍ය ඇමැති ජේ.සී අලවතුවල, නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර, ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉඳුනිල්, හර්ෂණ රාජකරුණා මහත්ම මහත්මීන්ද සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සෝභිත රාජකරුණා මහතා ඇතුළුව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි, හිටපු ලේකම් චන්දපේම ගමගේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂිකා චම්පිකා කනේරු ප්‍රධාන ගණකාධිකාරිනි ගයනි මුණවීර, බෞද්ධ කටයුතු සහකාර කොමසාරිස් සහන් කුරුප්පු මහත්ම මහත්මීහු ඇතුළුව රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();