කුමන විදියේ තර්ජන, ගර්ජන හා නින්දා අපහාස මෙන්ම විවේචන එල්ල කරමින් මා වැරැදි කාරයෙක් ලෙස සාමාජයට පෙන්වීමට ඇතැමුන් උත්සාහ කළ ද මත්ද්‍රව්‍යවලට සහ දුම්වැටියට එරෙහිව ගෙනයන සටන කිසිසේත් නතර නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කෙළේ 'මතින් නිදහස් රටක් - අභිමානවත් හෙටක් 2019' යන්න තේමාව යටතේ පැවැත්වෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ තෙවැනි දිනය වෙනුවෙන් කොළොන්නාව,
රජමහා විහාරස්ථානයේ දී පෙරේදා (26) පෙරවරුවේ පැවැති විශේෂ වැඩසටහනට එක්වෙමිනි.
ප්‍රජා සංවිධාන මූලික කරගත් විශේෂ වැඩසටහන් දීප ව්‍යාප්තව මතින් නිදහස් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් ජූනි 23 වැනි දා සිට ජූලි 1 වැනි දා දක්වා සතිය ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස නම් කැර තිබේ.
එහි තෙවැනි දිනය වූ ඊයේ (26) පාසල් සිසුන් මූලික කරගත් විශේෂ වැඩසටහන් දීප ව්‍යාප්තව සංවිධානය කැර තිබූ අතර එම වැඩසටහන් සඳහා රාජ්‍ය සේවකයින්, පාසල් දරුවන් මෙන්ම පොදු ජනතාවගේ ද පුළුල් සහභාගිත්වයක් දක්නට ලැබිණි. මෙහි දී මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, ඉදිරිපත් කිරීම් ඇතුළු අංග රැසකින් එය සමන්විත විය.
ජනාධිපති ලේකම් කාර්යාලය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරයි. මේ රටේ පාසල් දරුවන් දැනුවත් කරමින් මත්ද්‍රව්‍ය හා දුම්වැටි අපේ රටින් තුරන් කිරීමේ අරමුණ ඇතිව පසුගිය 23 වැනි දා මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත්කෙරිණි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසිය.
මත්ද්‍රව්‍යවලට එරෙහි සටන සාර්ථක ලෙස ඉදිරියට යන විට අප්‍රේල් 21වැනිදා දා එල්ල කළ ත්‍රස්තවාදී බෝම්බ පිපිරුම එම සටනට එරෙහිව ක්‍රියාත්මක වු එක්තරා ප්‍රතිප්‍රහාරයක් බවට මට සැකයක් පවතිනවා. ලාංකිකයන් පමණක් නොව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ලෝකයේ ප්‍රබල ජාවාරම්කාරයන් මේ වනවිට අපේ අත්අඩංගුවේ පසු වෙනවා. මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් රටපුරා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා.
අද දවස ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනයයි. මේ දිනය ප්‍රකාශයට පත්කර තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ප්‍රධාන සංවිධානයක්. මේ සංවිධානය ලෝකයේ සාමාජික රටවල විවිධ ක්ෂේත්‍ර හරහා සංවර්ධනය, තාක්ෂණය, පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනය, මත්ද්‍රව්‍ය මර්දනය ආදිය සම්බන්ධයෙන් උනන්දුවෙන් කටයුතු කරනවා. අපි සාමාජික රටක් ලෙස ස්වාධීනව සිතන හා වැඩකරන රටක් ලෙස අපේ රටේ යහපත සඳහා අප ගතයුතු, ගතහැකි සියලු ක්‍රියා මාර්ග ගතයුතු වෙනවා. සංවර්ධනයේ දී විවිධ විෂය ක්ෂේත්‍ර රැසක් තිබෙනවා. භෞතික සම්පත් සංවර්ධනය, ආහාර නිෂ්පාදනය, රටකට අත්‍යවශ්‍ය අධ්‍යාපනය හා සෞඛ්‍ය රටක තිබිය යුතුයි. රටේ ජනතාව තුළ ආධ්‍යාත්මික සංවර්ධනයක් තිබිය යුතුයි. නව තාක්ෂණයෙන් භෞතික සම්පත් සංවර්ධනයෙන් කොතරම් ඉදිරියට ගියත් තාක්ෂණයට කොතරම් කැපවුණත් මිනිසුන්ගේ යහපත් සිතුවිලි, හික්මීම, මානුෂිකත්වය ඉතාම වැදගත් වෙනවා. බෞද්ධ දර්ශනය, හින්දු, ඉස්ලාම්, කිතුණු දර්ශන තුළ ඉතා පැහැදිලිව මනුෂ්‍යත්වය කියා දෙනවා.
අද අපි මත්ද්‍රව්‍ය විරෝධී දිනය ශ්‍රී ලංකාවේ අද දවසේ සමරනවා. පසුගිය 23 වැනි දා සිට ලබන 1 වැනි දා තෙක් සතියක් ප්‍රකාශයට පත්කළා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියක් ලෙස. මේ වෙනුවෙන් රටපුරා ජාතික වැඩසරටන් රැසක් සිදු වෙනවා. පළාත් 9ක් තිබෙනවා. ආණ්ඩුකාරවරුන් 9ක් ඉන්නවා. අපි ඔවුන්ට කීවා තමාගේ පළාතේ මේ සතියේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කියලා. පළමුවැනිදා සුගතදාස ක්‍රීඩාංගනණයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ උත්සවයක් පවත්වනවා. මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. බෞද්ධයන් ලෙස අපි පන්සිල් ගන්නවා. ඊට සුරාමේරය සිල් පදය එහි තිබෙනවා. බුදුන් වහන්සේ එදා සමාජයේ දැක්ක ප්‍රශ්නයක් තමයි මත්ද්‍රව්‍ය. ඒ නිසා පන්සිල්වලට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් එකතු කළා. පෙර රජ දවස ගත්විට මත්ද්‍රව්‍ය පවතිනවා. නිපදවනවා. මේක මීටත් එහා ගියවිට මිනිසාගේ ආරම්භයේ සිටම මත්ද්‍රව්‍ය තිබෙනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය සමාජයට අලුත් දෙයක් නොවෙයි. ඒ නිසා අපි උත්සාහ ගන්නේ කුමක් සඳහා ද මත්ද්‍රව්‍ය විවිධාකාරයි.
ගම්වල පොල්, කිතුල් රා මදිනවා. ඒවායින් සිදුවන හානිය ගත්විට හෙරොයින්, මර්ජුවානා, හෂිස්, අයිස් වැනි නීති විරෝධී මත්ද්‍රව්‍යවලට වඩා ඒ තුළ වෙනස්කම් තිබෙනවා. ඇතැම් විට ආයුර්වේදයෙත් මේවා තිබෙනවා. ඒ එක් එක් අංශවලින් සීමාවන් සහ වර්ගලවල තිබෙන ප්‍රභේදයත් සමඟ ඒ තත්ත්වය ඇති වෙනවා. නමුත් නීති විරෝධී මත්ද්‍රව්‍ය පාවිච්චි කළාම ප්‍රතිඵලය තමයි ඉක්මන් මරණය. ශ්‍රී ලංකාවේ රෝහල්වල රෝගීන් සංඛ්‍යාව ගත්විට වැඩිපුර රෝගී වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලයි. එසේ නම් මේ ගැන ඇති සමාජ මතය විවිද පැතිකඩ හරහා දිවයනවා. මේ සියලු මත්ද්‍රව්‍ය මර්දනය කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ඇතැම් විට මේවා සමාජයේ අවශ්‍යතාවන් වී තිබෙනවා. ගමේ රාවලින් විවිධ කෑම වර්ග හදනවා. අපි මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රශ්නයේ දී ජීවිතවලට සිදුවන හානිය බලන්න ඕනෑ. මේ හානියේ දී පළමුවෙන්ම මරණය ඉක්මන්වීම, රෝගී වීම, දුගීබව, අඩදබර, දරුවන්ට හිරිහැර, ආර්ථික දුෂ්කරතා තිබෙනවා. ඇතැම් විට ටොරින්ටන් ව්‍යායාම සඳහා උදෑසන ඇවිදින විට ඇතැමුන්ගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කළ උෂ්ණය එනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම්වල දී අපි ප්‍රමුඛත්වය දී තිබෙන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වලටයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අද සමහර විට ලෝකයේ ආණ්ඩු හදනවා. ආණ්ඩු පෙරළනවා. දේශපාලඥයන් බලයට පත්කරනවා. මත්ද්‍රව්‍ය විරෝධී සටන් ගෙන ගියොත් විනාශ කර දානවා.
අපි පසුගිය කාලයේ මත්ද්‍රව්‍යවලට විරුද්ධව විශාල වැඩසටහන් රැසක් ගෙන ගියා. එහි සාර්ථක ප්‍රතිඵල තිබෙනවා. පන්සලේ, පල්ලියේ, කෝවිලේ දේශනා කරනවා මත්ද්‍රව්‍ය වැරැදියි කියලා. අපි ගෙන ගිය සටනේ පැහැදිලි ප්‍රතිඵල තිබෙනවා. පසුගිය වසර කිහිපයේ දී සිගරට් බොන අයගේ සංඛ්‍යාව අඩු වී තිබෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය රටතුළට ඒම පාලනය වී තිබෙනවා. මේ මස හයට අපේ නාවික හමුදාව පමණක් ගංජා ටොන් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය, විශේෂ කාර්ය බලකාය මත්ද්‍රව්‍ය මර්දනයට ප්‍රමුඛත්වය දී තිබෙනවා. අපේ රට තුළට මත්ද්‍රව්‍ය ඒම වළක්වන්න ගතහැකි සියලු සැලසුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ තිබෙන මහා ඛේදවාචකය විශ්වවිද්‍යාල මත්ද්‍රව්‍ය නිසා විනාශයට පත් වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිසුන් මෙන් විශ්වවිද්‍යාලවලට යනවා. නොමිලේ මුලින්ම බෙදා දෙනවා. පසුව සිසුන් ඊට ඇබ්බැහි වෙනවා. බරපතල ලෙස නීති විරෝධී මත්ද්‍රව්‍ය දරුවන්ට පුරුදු කරනවා. වසර කිහිපයකට පෙර රත්නපුර පුංචි දරුවකුගේ බත් පැකැට්ටුවේ මත්ද්‍රව්‍ය යවන්න පුරුදු කරගෙන සිටියා. මෙලෙස සූක්ෂම ලෙස මෙය කරනවා. අපි අපේ රටේ මත්ද්‍රව්‍ය පිළිබඳ නීති ශක්තිමත් කළා මෙන්ම අපි ගෙනගිය වැඩපිළිවෙළ හේතුවෙන් රටතුළ පුළුල් ජනමතයක් ඇති වුණා මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට සහාය දෙන්න ඕනෑ කියා.
අද මේ දරුවන්ට හොඳ සටන් පාඨයක් මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ. දරුවන්ට පුරුදු කළ යුතු යහපත් සටන් තිබෙනවා. සමාජයේ යහපත් ලෙස ජීවත් වෙන්න සටන පුරුදු කරන්න ඕනෑ. ආර්ථිකය ජයග්‍රහණය කරන්න ඕනෑ. අපි මේ ගෙනගිය වැඩසටහන්වල දී මත්ද්‍රව්‍යවලට විරුද්ධව බක්මහ දිවුරුම කියා දිවුරුමක් දුන්නා. පාසල් දරුවන්, රාජ්‍ය සේවය, විශ්වවිද්‍යාල දරුවන්, පෞද්ගලික අංශයේ සේවකයන් දිවුරුම් දුන්නා. අපි මේ සටන සාර්ථක ලෙස ගෙනයන විට අප්‍රේල් 21 වැනි දා ත්‍රස්තවාදී බෝම්බ පිපිරුම සිදු වුණා. ඒ නිසා අපි ගෙනගිය වැඩසටහන් යට ගියා. ඒ යට යෑම බෝම්බ පිපිරුම අතර සම්බන්ධයක් තිබෙනවා ද යන්න අවධානය යොමු කරන්න ඕනෑ කාරණයක්. මත්ද්‍රව්‍ය විරෝධී සටහනට අපි බසින විට ඇතැම් අය තේරුම් ගත්තා. ඇතැම් අය තේරුම් ගත්තේ නැහැ මෙහි ඇති බරපතලකම සහ භයානකකම. ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න පුළුවන් වගේම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ඒවාට විරුද්ධව වැඩකරන අය විනාශ කරන්න පුළුවන්. ඒ නිසා විමර්ශන අංශ ඒ පරීක්ෂණවලින් මොන විදියේ ප්‍රතිඵල පෙන්වා තිබුණත් මගේ ලොකු සැකයක් තිබෙනවා අපි මත්ද්‍රව්‍යවලට ගෙනගිය සටනට දුන්න එක්තරා ප්‍රතිප්‍රහාරයක් කියලා අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාරය කියලා. එකෙන් අපි සියල්ල විනාශ කළා.
අප්‍රේල් 21වැනිදා බෝම්බ ප්‍රහාරයෙන් මම ලංකාවේ නරකම මිනිසෙක් බවට පත් කළා. අපි කළ හොඳ වැඩසටහන් සියල්ල යට ගියා. බෝම්බය ගැන විතරක් කතා කරන්න පටන් ගත්තා. මේ බරපතල හානිය සම්බන්ධයෙන් අපි බලවත්සේ කණගාටු වෙනවා. අපි සිතිය යුතුයි ලංකාව මේ වගේ දේකට තෝරා ගත්තේ ඇයි කියා. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් අපේ අත්අඩංගුවේ ඉන්නවා. ලාංකිකයන් පමණක් නොව ලෝකයේ ප්‍රබල ජාවාරම්කාරයන් අපි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිසා අපි මත්ද්‍රව්‍යවලට විරුද්ධව ගෙනගිය සටන අඩපණ කරන්න වෙන්න පුළුවන් අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාරය. මේ හැම පැත්තක්ම අපි සිතන්නට ඕනෑ. නමුත් මේවායින් මම නවතින්නේ නැහැ. මොන විදියේ තර්ජන ගර්ජන ආවත්, නින්දා අපහාස විවේචන ආවත්, මාට මොන විදියේ වැරැදි කාරයෙක් ලෙස සාමාජයට පෙන්වන්න උත්සාහ කළත් මගේ හෘද සාක්ෂියට එකඟව, අවංකව මම කරන කටයුතු කරනවා. මම 89 පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස ඇඩික් ආයතනයේ දේශනවලට ගියා. සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිගරට්වලට විරුද්ධව නව නීති සැදුවා. මට උසාවි යන්න සිද්ධ වුණා. සිගරට් සමාගම් ජයග්‍රහණය කළා. නමුත් මම ජනාධිපති වෙලා ඒ සියල්ල කණපිට හැරෙව්වා. මත්ද්‍රව්‍යවලට විරුද්ධව අලුත් නීති හැදුවා. සිගරට් භාවිතයට අලුත් නීති හැදුවා. ඒවා අපි 2015 වසරේ දීම නීති සම්මත කළා. බොහෝ අය ඒවා ගැන කතා කරන්නේ නැහැ.
අද ජූනි 26 වැනි දා පසුගියි මාස කිහිපයේ දී මම කිව්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය දෙනවා කියා. එම මරණීය දණ්ඩනය දෙන්න මම අද අත්සන් කළා. මෙයට නොයෙක් විරෝධතා එයි. ඒකට හෙට අනිද්දා මාව නොයෙක් නොයෙක් විදිහට වැරැදිකාරයෙක් විදිහට පෙන්වයි. නමුත් මේවා පසුපස ඉන්නේ ජාවාරම්කරුවන්. අපි මේ ජාවාරම්කරුවන්ට සහ අසත්‍ය ප්‍රචාරවලට යට වෙනවා ද, අපිට කරන නින්දා අපහසවලට යට වෙනවා ද යන්න අපි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනෑ. මරණීය දණ්ඩනය අවසන්වරට ලංකාවේ තිබිලා තියෙන්නේ 1976. ඉදිරි සති දෙක තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙයි. මම මරණීය දණ්ඩනය නියම කරන අයට අද අත්සන් කළා. ඒ නිසා මේවා අනුකම්පාවෙන් බලන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ සියල්ල කරන්නේ දරුවන් සහ රට බේරා ගන්නයි. පාසල් දරුවාගේ සිට දරුවා බේරා ගත්තේ නැතිනම් මේ මත්ද්‍රව්‍ය ව්‍යවසනය සමඟ මුළු රටම විනාශ වෙනවා. රටක් විනාශ කරන්න හොඳම දේ තමයි මත්ද්‍රව්‍යට පුරුදු කිරීම.
රටක් වේගයෙන් විනාශ කරන්න පුළුවන් මත්ද්‍රව්‍යවලට පුරුදු කළාම. පිලිපීන ජානධිපතිවරයා 27, 000 ක් ඉවර කළා නඩු කිසිවක් නොමැතිව. නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණුවා නම් පාවිච්චි කළා නම් එතැනට ගොස් වෙඩි තබනවා. නමුත් අපේ රටේ එහෙම කරන්න බැහැ. තිබෙන නීති යටතේ තමයි කරන්න ඕනෑ. මම පිලිපීනජ නාධිපති කළ දේ හරි කිව්වාම රාජ්‍ය නොවන සංවිධාන මට විරෝධය පළ කළා. රාජ්‍ය නොවන සංවිධාන තමයි රට පාලනය කරන්න යන්නේ. ඒ නිසා අපි අපේ රට පාලනය කරන්නේ රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය විදිහට නොවෙයි. අපේ රට පාලනය කරන්න ඕනෑ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට අවශ්‍ය විදිහට නොවෙයි. අපේ රට පාලනය කරන්න ඕනෑ රටේ ජනතාවට අවශ්‍ය විදිහටයි. ජනතාවගේ සිතුම්, පැතුම්, අදහස් එක්කයි. රටේ මහජනතාව වෙනුවෙන් ඒ කටයුතු කරන්න ඕනෑ. ඒ නිසා මේ මරණීය දණ්ඩනය දීමට මම අත්සන් කෙළේ මේ රටේ ජීවත්වන දරුවන්, මිනිසුන්, හෙට උපදින දරුවන් බේරා ගන්නයි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මට පෙර කිසිඳු රාජ්‍ය නායකයෙක් මේකට අතගසා තිබුණේ නැහැ. ලෝකයේ ගත්විටත් නීති විරෝධී මත්ද්‍රව්‍ය පාලනය කරන්න රාජ්‍ය නායකයන් අත ගසන්නේ නැහැ. ප්‍රතිඵලය භායානකයි. තමන්ගේ ජීවිතය, බලයෙන් පහකිරීම, ආණ්ඩුව පෙරළීම ඒක තමයි එන ප්‍රතිඵලය. මේ තිබෙන දේශපාලන ව්‍යාකූලතාවයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විවිධ ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපි මේවා ගැන ප්‍රශ්නයක යථාර්ථය සම්බන්ධයෙන් පිය වී ඇසින් බැලිය යුතුයි. ඒ අනුව මේවාට මුහුණ දෙන්න ඕනෑ.
කොළඹ දිස්ත්‍රික්කය ගත්විට මත්ද්‍රව්‍ය කෙතරම් තිබෙනවා ද යන්න අපි දන්නවා. මත්ද්‍රව්‍යවලට ප්‍රසිද්ධ තැනක් කොළොන්නාව. අපි කොහොමද කොළොන්නවා හොඳ කොළොන්නාවාක් කරන්නේ. ආධ්‍යාත්මික වශයෙන් යහපත්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැති, මත් පෙති, මත් කුඩු පාවිච්චි කරන්නේ නොමැති ජනතාවක් කොළොන්නාවෙන් බිහිකර ගන්නේ කොහොමද. ඒකට තමයි රටක ආණ්ඩුවක් තිබෙන්නේ. එදා පෙර රජ දවසත් මෙවැන්නකට දඩුවම් දී තිබෙනවා. අද අපි මත්ද්‍රව්‍ය මර්දන සටන ඉදිරියටත් ශක්තිමත් කළයුතු වෙනවා. මේ වැඩපිළිවෙළ ශක්තිමත්ව කළ පමණින් රට යහපත් රටක් බවට පත් වෙනවා. මේ රටේ හිරගෙවල්වල 11, 000 ක් පමණයි දාන්න පුළුවන්. නමුත් 24, 000ක් ඉන්නවා. මෙයින් සියයට 60ක් මත්ද්‍රව්‍යයට සම්බන්ධ අයයි ඉන්නේ. කාන්තාවන් කෙතරම් ඉන්නවා ද. මම ඒ අයත් සමඟ කතා කර තිබෙනවා. හිරගෙදර මත්ද්‍රව්‍යට හසුවී සිටින කිසිවකු කියන්නේ නැහැ වැරැදි කළා කියා. අපිට තරහ කරයෙක් දාලා මේ වැඩේ කළා කියනවා.
බන්ධනාගාරවල 15, 000ක් පමණ මත්ද්‍රව්‍යවලට සම්බන්ධව ඉන්නවා. හැම පාසලකට ගිය පසු විභාග ප්‍රතිඵල ඉතා හොඳයි. ඒක ඇත්ත. නිදහස් අධ්‍යාපනයේ හොඳ විභාග ප්‍රතිඵල තිබෙනවා. නමුත් විභාග ප්‍රතිඵල හොඳ වුණාට හිර ගෙවල් පිරින්නේ කොහොමද. හිරගෙවල්වල තදබදය තිබෙන්නේ කොහොමද. ඒ නිසා සමාජයයේ තිබෙන සියලු නරක වැඩ සියල්ලට මත්ද්‍රව්‍ය මුල වී තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මෙහෙයවීමෙන් එය කරනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කියූ විගස සිතට එන්නේ වෙරි මතයි. මත්ද්‍රව්‍යවල ප්‍රතිඵලය ඉතාම භයානකයි. ලංකාවේ දිනපතා හදිසි අනතුරුවලින් 10 දෙනෙක් පමණ මැරෙනවා. එයින් පහක් හයක් රියැදුරන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා. මේ සියල්ලට මත්ද්‍රව්‍ය හේතු වෙනවා. යහපත් සිතිවිලි එන්නේ නැහැ. සමාජයට ක්‍රෝධ කරනවා. සමාජයට වෛර කරනවා. තමන්ගේ සෞඛ්‍ය පිරිහීමත් සමඟ සමාජයට එන ජාතික ව්‍යසනය ඉතාම බරපතලයි. ඒ නිසා මේ සමාජය යහපත් සමාජයක් කරන්නයි මම මරණීය දණ්ඩනය දෙන්න තීන්දු කෙළේ. කෙතරම් පිරිසක් ඊට විරුද්ධ වුණත් රජයේ ජනතාවගේ ආශිර්වාදය මේකට ලැබෙයි කියා මම විශ්වාස කරනවා.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති, මහාචාර්ය සමන් අබේසිංහ මහතා-
ජාත්‍යන්තර දිනයක් වන මත්ද්‍රව්‍ය භාවිතය සහ නීති විරෝධී ජාවාරමට එරෙහි දිනය සමරනවා. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ශ්‍රී ලංකාව සෑම වසරකම මේ දිනය සමරනවා. මේ වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව මෙය සංවිධානය කරනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලංකාව තුළ හොඳින් වටහාගත් හා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නායකයෙක් ඉන්නවා. මේ ප්‍රශ්නයේ ගැඹුර අවබෝධ කරගෙන එතුමා කටයුතු කරනවා.රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහතා-
අද ලංකාව මත්ද්‍රව්‍යවලින් යම් ජයග්‍රහණයක් ලබා තිබෙනවා නම් එහි ප්‍රබල කොටස්කරුවෙක් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන් මහතා පත්ව සිටිනවා. ඉතා වැදගත් අරමුණකින් අපි මේ ස්ථානයට පැමිණියා. ලංංකාව මත්ද්‍රව්‍යවලින් තොර රටක් බවට පත් කරන්න අරමුණ වී තිබෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලෝකයේ සත්‍ය තොරතුරු හෙළි වී තිබිය දී අපි මේ සම්බන්ධයෙන් උනන්දු වන්නේ ඇයි. අපි මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් වද වෙන්නේ ඇයි. මත්ද්‍රව්‍ය කාලයක සිට තිබෙන ප්‍රශ්නයක්. එය නතර කරන්න බැහැනේ කියා ඇතැමුන් කියනවා. නූතන ලෝකයේ දියුණුවත් සමඟ මත්ද්‍රව්‍යවලට අපේ දරුවන් බිලිබාගන්නා තත්ත්වයක් තිබෙනවා. ලංකාව දුම්වැලිවලින් විනාශ කරන්න යනවා. ඒකට ඉඩ දෙන්න එපා කියා අපි එදා මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළා.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල්, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - සුදත් මලවීර සහ ජනාධිපති මාධ්‍ය අංශය
0 Comments