Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාපන්දු තනතුරු කිහිපයක් මාසයකින් සංශෝධනය වෙයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික කමිටුව, බීච් පාපන්දු කමිටුව හා තරගාවලි කමිටුව ඉදිරි කාලයේදී සංශෝධනය කිරීමට සූදානම් වෙයි. එම කමිටුවල සංශෝධන කිහිපයක් සිදු කොට නව මුහුණුවරක් ලබාදීම ඉදිරියේදී සිදුවනු ඇතැයි පාපන්දු ආරංචි මාර්ග පවසයි. මේ කමිටුවල ක්‍රියාකාරීත්වය පාපන්දු ක්‍රීඩාවේ ප්‍රගමණයට ඉවහල් නොවන බවට හා එම කමිටු ක්‍රියාත්මකවීමේදී යම් යම් අකටයුතුකම් සිදුවී ඇති බවට ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධ පාර්ශ්ව කිහිපයක් කැඳවා කළ විමර්ශනයකදී මේ තීරණයට එළැඹ ඇතැයි වාර්තා වේ.

පැමිණිල්ල ක්‍රීඩා ඇමැති හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කළාපීය සංචර්ධන කමිටු සභාපති ආර්. පුවනේනද්‍රන් මහතා හා පාපන්දු ලේකම් යූ. එල්. ජස්වර් යන මහත්වරු ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් කැඳවා තිබූ අතර පරීක්ෂණ මට්ටමට යෑමට පෙර ප්‍රශ්න නිරාකරණය සඳහා උපදෙස් මාලාවක් ලබාදී ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි පාපන්දු තරගාවලි කමිටුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා යටතට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු තාවකාලිකව සිදු කිරීමට නියමිතය. අනතුරුව මාසයක් ඇතුළත අවශ්‍ය සංශෝධන සිදු කිරීමට පාපන්දු ලේකම් යූ. එල්. ජස්වර් මහතා එකඟතාව පළකර තිබේ.

මේ තීරණ පිළිබඳ සියලු පාර්ශ්ව සෑහීමකට පත්ව ඇති අතර පාපන්දු පරිපාලනයේ මෙතෙක් පෙන්වාදුන් සුලු සුලු අඩුපාඩු සංශෝධනය කරගෙන ඉදිරියට යෑමේ හැකියාව ඇතැයි පාපන්දු ලේකම්වරයා මෙහිදී ක්‍රීඩා ඇමැතිවරයාට පෙන්වාදී ඇත.

මේ පිළිබඳ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් යූ. එල්. ජස්වර් මහතාගෙන් කළ විමසීමකදී පැවැසූවේ පාපන්දු කමිටු පිළිබඳ මතුව ඇති ප්‍රශ්න සියල්ල නිරාකරණයට අවශ්‍ය පියවර මාසයක් වැනි කෙටි කාලයකදී ලබාදිය හැකි බවයි. “ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගෙන යම් යම් සංශෝධන ඉදිරියේදී සිදු කරනවා. මා ඒ සම්බන්ධ වගකීම ගත්තා. දැන් සියලු දෙනා සමග කතාකොට ප්‍රශ්න වලට විසදුම් සොයනවා. මේ ප්‍රශ්න අතිවී තිබෙන්නේ එකට සිටි අය අතරම නිසා අවබෝධයෙන් ප්‍රශ්නවලට විසදුම් සොයා පාපන්දු සංවර්ධනයට එක්ව පියවර ගත හැකියි” පාපන්දු ලේකම්වරයා පැවැසීය.

පාපන්දු කමිටුවක ප්‍රධානියකු පාපන්දු විධායක කමිටු සාමාජිකයෙකුද බැවින් කමිටු ප්‍රධානියකු ඉවත් කිරීමට නම් විධායක සභාවේ අනුමැතිය ලබාගත යුතුවේ. නොඒසේනම් එම කමිටු සභාපතිවරු ඉල්ලා අස්වීම හෝ විනය චෝදනා යටතේ විනය කමිටුවකින් දඬුවම් නියම කළ යුතුය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා හා ලේකම් යූ. එල්. ජස්වර් යන මහත්වරු සෑම පාපන්දු කමිටුවකම නිල වශයෙන් සාමාජිකයන් ලෙස පත්ව සිටින අතර ඔවුන්ට එම කමිටු විධායක සභාව රැස්වන තුරු කාවකාලිකව පවරා ගැනීමේ හැකියාවද පවතී. පාපන්දු සම්මේලන කවුන්සිලයේදී පාපන්දු පරිපාලන දුර්වලතා පිළිබඳ කරුණු 14කින් යුත් ලිපියක් යොමුවූ අතර ඒ සියලු කරුණුවලට පාපන්දු සභාපතිවරයා විසදුම් ලබාදීමට එකඟ විය.

එමෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කළ ප්‍රිමියර් ලීග් පළමු පෙළ පාපන්දු තරගාවලියේදී ‘නිව් ස්ටාර්’ ක්‍රීඩා සමාජයේ ගෝල් රකින්නා ලෙස ක්‍රීඩා කළ සෆ්රාස්ගේ පාපන්දු හැඳුනුම්පතට රිෆ්කාන් නැමැත්තකුගේ ඡායාරූපයක් ඇතුළත් කරමින් පාපන්දු හැඳුනුම්පතේ ඔළු මාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධව ද ආන්දෝලනාත්මක පුවතක් ඉදිරිපත් විය. මේ සම්බන්ධව ‘නිව් ස්ටාර්’ ක්‍රීඩා සමාජයේ ලේකම්වරයාගෙන් පාපන්දු සම්මේලනය ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();