Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පිතිකරුවන්ට ලියැවුණු ලෝක කුසලානයේදී මාලිංග පන්දු යවන්නන්ගේ පැත්ත ගනියි

එක්දින තරගයක ජයග්‍රහණය කිරීම සඳහා බලපාන සාධක අතරට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීම ප්‍රධාන සුදුසුකමක් බවට පත් වුවත් පන්දු යැවීමේ අංශය යටතේද මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග ජයග්‍රහණයක් සඳහා පැහැදිළි බලපෑමක් කිරීමේ හැකියාවක් පවතින බව තම විශ්වාසය යැයි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

පෙර තිබුණු තත්ත්වයට වඩා වෙනස් හෙවත් ඕවර 50 ඇතුළතදී ලකුණු 400 සීමාව ඉක්මවාලමින් ලකුණු ලබා ගැනීමට බොහොමයක් කණ්ඩායම් මේ වන විට සමත්ව න අතර ඒ පිළිබඳව මාලිංග තම මතය ඉහත අයුරින් ප්‍රකාශ කර තිබේ. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වේගයෙන් පන්දුවට පහර දෙන හැකි පිතිකරුවන් පිළිබඳව වැඩිපුර බලාපොරොත්තු තබා තිබෙන නමුත්, එහි වාසිය ආපසු පන්දු යවන්නන් වෙත ලබා ගැනීම මාලිංගගේ බලාපොරොත්තුව බවට පත්ව තිබේ.

“ක්‍රිකට් ක්‍රීඩාව දැන් ගොඩක්ම පිතිකරුවන් දෙසට දෝලනය වෙලා තියෙන ක්‍රීඩාවක්. නමුත් පන්දු යවන්නන්ට තරගය වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. එතැනදි කඩුලු ලබා ගන්න හැකි වුණොත් එම තරගය ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා” යැයි ඔස්ට්‍රේලියාව සමඟ පැවැති පුහුණු තරගයෙන් පසු මාධ්‍ය අමතමින් මාලිංග පවසා තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරු කෙටි විවේකයක් ලද මාලිංග ඉකුත් සති අන්තයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ නමුත්, ඔස්ට්‍රේලියාව සමඟ පැවැති පුහුණු තරගයට ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටියේය.

“ඕනෑම තත්ත්වයක් යටතේ දක්ෂ අයුරින් පන්දු යැවීමට පන්දු යවන්නකු සමත් වන්නේ නම් එයින් කණ්ඩායමට ලොකු වාසියක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා” යැයි පවසන මාලිංග, අවස්ථානුකූලව පන්දු යැවීමට හැඩ ගැසීම ඒ අතරින් වැදගත් බව සඳහන් කරයි.

35 වැනි වියේ පසුවන මාලිංග ඉකුත් 2007 සහ 2011 වසරවල පැවැති ලෝක කුසලාන තරගාවලි ද්විත්වයේදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට වරම් ලැබි කණ්ඩායමේ සිටින එකම ක්‍රීඩකයා වන්නේය.

“අවසන් වසර කීපයේදීම මම එකිනෙකට වෙනස් තණතීරු තත්ත්වයන් යටතේ ක්‍රීඩා කරලා තියෙනවා. එතැනදි වැදගත් වන්නේ ඒ පවතින තත්ත්වයන් වලට හැඩ ගැහෙමින් පන්දු යැවීමයි. තරග දිනවන්නෙක් වන්නට නම් මම කඩුලු ලබා ගත යුතුයි. එතැනදි වේගය අඩාල කරලා යවන පන්දුද, එහෙමත් නැත්නම් වෙනත් පන්දුද යන්න ඒ අවස්ථාව අනුව තීරණය කළ යුතුයි. කොහොම වුණත් මට විශ්වාසයක් තියෙනවා පන්දු යැවීමෙන් දක්ෂතා දක්වන්න” යැයි මාලිංග වැඩිදුරටත් පවසයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවුණු දෙවැනි පුහුණු තරගයේදී ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ රැස් කර ගැනීමට සමත්වූයේ කඩුලු 8කට ලකුණු 239ක් පමණි. එම ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව අදාළ ඉලක්කය පන්දුවාර 5ක් ඉතිරිව රැස් කරගන්නා ලද්දේ කඩුලු 5ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි.

“තරගාවලියේ ශූරතාව දිනන්නෙ කවුද කියන එක හරියටම කියන්න බෑ. මොකද අපිට තියෙන අත්දැකීම් එක්ක බැලුවහම දුර්වල කණ්ඩායමක් හමුවේ වුණත් හොඳම කණ්ඩායම් පරාජය වෙලා තියෙන නිසා. ඔස්ට්‍රේලියානු කණ්ඩායම සතුවත් හොඳ ක්‍රීඩකයන් සිටිනවා. විශේෂයෙන් තරග දිනවිය හැකි මට්ටමේ අය. ශ්‍රේණිගත කිරීම අනුවත් පෙරමුණේ ඉන්න ඔස්ට්‍රේලියාවත් මෙවර ශූරතාව දිනා ගනු ඇතැයි අපේක්ෂිත කණ්ඩායම් අතර ඉදිරියෙන්ම ඉන්නවා” යැයි මාලිංග පවසා තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();