Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේ රට ගොඩගැනීමට නම් සැම එක්වී එක නීතියක් ක්‍රියාත්මක කළ යුතුයි

සර් ඩී. බී. ජයතිලක වැනි දේශමාමක ජාති හිතෛශී ජාතික වීරවරයන්ගේ ශ්‍රේෂ්ඨ ජීවිත චරිතාපදාන අප ආදර්ශයට ගත යුතුයි. නිදහස ලබා වසර 71 ක් ගතවන මේ කාලපරිච්චේදය තුළ අසාර්ථක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ දෙකක් ඇති වුණා. තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන්නා. පසුගියදා අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇති වුණා. ජීවිත විනාශ වුණා. මේ සියල්ලකින්ම සිදුවූයේ රට අස්ථාවර වී ආර්ථිකය කඩාවැටීමයි.

මේ භයානක තත්ත්වයෙන් ගොඩඒමට නම් අප සැවොම එක්විය යුතුයි. එකම නීතියක් රටේ ක්‍රියාත්මක විය යුතු යැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කථානායක කරු ජයසූරිය මහතා එසේ පැවසුවේ සර් ඩී. බී. ජයතිලක ශ්‍රීමතාණන්ගේ 150 වන ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් කොළඹ මහා භාරකාර පරිශ්‍රයේ පැවති උත්සවයේදීය.

මේ ජන්ම ශත සංවත්සර උත්සවය ආරම්භ කිරීමට ප්‍රථම මහා භාරකාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේ එනම් සර් ඩී. බී. ජයතිලක ශ්‍රීමතාණන්ගේ නිවහන ඉදිරිපිට ඉදිකර තිබෙන සර් ඩී. බී. ජයතිලක ශ්‍රීමතාණන්ගේ ප්‍රතිමාවට පුෂ්පෝපහාර පිදීම මහා භාරකාර තැන්පත් හිටපු මහාධිකරණ විනිසුරු (සොලිසිටර් ජනරාල්) ඩබ්ලිව්. ජී. එස්. වීරරත්න මහතාගේ ආරාධනයෙන් පාර්ලිමේන්තුවේ කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා විසින් සිදුකරන ලදී.

පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා විසින් සමරු ඵලකය ද නිරාවරණය කළේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක කොටුගොඩ ධම්මාවාස නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහා භාරකාර පරිශ්‍රයේ පැවති උත්සව මහා සභාවේදී කතානායක කරු ජයසූරිය මහතා මෙසේ ද පැවසීය.

මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නව අධිපති වශයෙන් හිටපු මහාධිකරණ විනිසුරුව‍රයෙකු වූ ඩබ්ලිව්. ජී. එස්. වීරරත්න මහතා පත්ව වසර දෙකයි. ඒ වසර දෙකක කෙටි කාලය තුළ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මේ ගොඩනැගිල්ල මහා භාරකාර දෙපාර්තමේන්තුවට පැවරූ සර් ඩී. බී. ජයතිලක ශ්‍රීමතාණන්ට කෘතගුණ සැලකීමට හා එම භාරකාරත්වයේ කාර්යභාරය හොඳාකාර අවබෝධ කරගනිමින් මෙවැනි උත්සවයක් සර්. ඩී. බී. ජයතිලක ශ්‍රීමතාණන්ගේ 150 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කිරීම කෘතගුණ දන්නා සත්පුරුෂ ක්‍රියා වශයෙන් කියන්න කැමතියි.

සර් ඩී. බී. ජයතිලක යනු පරිසමාප්ත අර්ථයෙන්ම ජාති හිතෛශියෙක්. වීර වරයෙක්. දේශ මාමකයෙක්. රට ජාතිය ආගම වෙනුවෙන් හදවතින්ම ක්‍රියාකළ උත්තමයෙක්.

එදා සර් ඩී. බී. ජයතිලක ශ්‍රීමතාණන් එදා ගෙන ගිය වැඩපිළිවෙළ උදාරතරයි. ශ්‍රේෂ්ඨයි. ඒ කාලසීමාව ගැන අප ආවර්ජනය කරන විට අද වසර 71 ක් නිදහස ලබා ගතවන මේ මොහොතේ හඬා වැළපෙන්න සිදුවනවා. එවැනි උදාරතර නායකයන් වර්තමාන පරපුරට ආදර්ශයක්. ඒ මුල් යුගයේ කිසිම භේදයක් තිබුණේ නැහැ. රට ඉදිරියට ගියා.

නමුත් නිදහස ලබා ගතවූ ඒ වසර 71 න් පසු අපේ රට අසාර්ථක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ දෙකකට මුහුණ දුන්නා. තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන්නා. මේ සෑම එකකින්ම සිදුවූයේ රට අස්ථාවර වී රටේ ආර්ථිකය කඩාවැටීම හා විශාල ජීවිත සංඛ්‍යාවක් විනාශ වීමයි.

පසුගියදා සිදුවූ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ වුණා. අප නිදහස ලබන විට ජපානයේ ආර්ථිකය තිබුණේ අපට වඩා ඩොලර් එකක ඉහළ අගයක්. නමුත් අද අප කොතරම් පසුබැස තිබෙනවාද? මේ තත්ත්වයෙන් රට ගොඩගත යුතුයි.

පසුගිය අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයට සාර්ථක ලෙස මුහුණ දී ‍රටේ ආරක්ෂක තත්ත්වය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවූවා. නමුත් සිදුවූ ආර්ථික පරිහානියත් මිනිස් ජීවිත විනාශයත් විශාලයි.

මෙවන් වාතාරණයක් යළි ඇතිනොවීමට අප සියලු දෙනා ජාති ආගම්, කුලමල භේද ඉවත දැමිය යුතුයි. එක නීතියක් යටතට ගෙන ආ යුතුයි. සමඟිය ස්ථාපිත විය යුතුයි. අන්තවාදී බෙදීම්වලට රැකුල් නොදිය යුතුයි. මුස්ලිම් පාසල් විවාහ සියල්ල එක නීතියක් යටතේ පාලනය විය යුතුයි.

සර්. ඩී. බී. ජයතිලක වැනි දේශාමාමකයින් ක්‍රියා කළේ බෙදී වෙන්වී ජීවත්වීමට නොවේ. එකමුතුව සහජීවනයෙන් ජීවත්වීමේ අගය පෙන්වා දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා විය යුතුයි. අන්තවාදය පිටු දැක ශීලාචාර සමාජයක ජීවත්වීමේ පරිසරය අප ඇතිකළ යුතුයි.

අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු නැවතත් කළු ජූලිය වගේ පරිසරයක් ඇති කිරීමට යම් යම් පිරිස් ක්‍රියාකිරීම කනගාටුවට කරුණක්.

බුද්ධ දේශනාවට අනුව වෛරය ක්‍රෝධය අප ප්‍රතික්ෂේප කළ යුතුයි. මේ අවස්ථාවේදී පූජනීය මහානායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් මිනිස් සිත් සතන් මෛත්‍රී සහගත සිතුවිලිවලට යොමු කිරීම අස්වැසිල්ලට හේතුවක් වන්නේ යයි මා කියා සිටිනවා.

මේ උත්සව මහා සභාවේදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක කොටුගොඩ ධම්මාවාස, විද්‍යාලංකාර පිරිවෙන් අධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමිවරුද මහා භාරකාර හිටපු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. ජී. එස්. වීරරත්න, නියෝජ්‍ය මහා භාරකාර ගෞරී කරවිට මැතිණිය ඇතුළු කීප දෙනෙක්ම කතා කළහ.

සර්. ඩී‍. බී. ජයතිලක ශ්‍රීමතාණන් වෙනුවෙන් වූ විශේෂ දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය රෝහිනී පරණවිතාන මහත්මිය සිදු කළාය. මේ අවස්ථාවට සර්. ඩී. බී. ජයතිලක ශ්‍රීමතාණන්ගේ ඥාතිවරුද එක්ව සිටියහ.

උඩුගම්පොළ සමූහ
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();