Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රථම වතාවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වාර්තා කිරීමට මාධ්‍යයට ඉඩ

Author(s): 
කමනි අල්විස්

ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වාර්තා කිරීමට මාධ්‍යයට අද (29) සිට අවස්ථාව සලසා දී තිබෙන බව රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය. විනිවිදභාවයකින් කටයුතු කිරීම රජයේ අරමුණ බැවින් මේ අවස්ථාව වාර්තා කිරීමට මාධ්‍යයට අවසර දී තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

පාස්කු දින සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව පැවැත්වෙන තේරීම් කාරක සභාව අද(29) උදේ නමයට පාර්ලිමේන්තුවේදී රැස්වන අතර එහිදී මාධ්‍යයට එය වාර්තා කිරීමේ අවස්ථාව ලැබෙන බව ඇමැති මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කෙළේය.

ත්‍රස්තවාදයට අදාළ නීති සකස් කිරීම රජය සිදු කරගෙන යන බව කී ඇමැතිවරයා කුරාන්, මද්‍රසා, අරාබි අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය කිරීම, අරාබි බසින් නාම පුවරු ප්‍රදර්ශනය වෙනුවට සිංහල, දෙමළ, ඉංග්‍රීසි බසින් නාම පුවරු ප්‍රදර්ශනයට සහ බුර්කාව, මුහුණු ආවරණයෙන් තොරව මුහුණ හඳුනාගැනීමට හැකිවන ආකාරයට සැරසීම යනාදිය සිදු කිරීමට අදාළ චක්‍රලේඛ මේ වන විට නිකුත් කර තිබෙන බවත් සඳහන් කෙළේය. ජනාධිපතිවරයා ගැසට් මගින් මේ සියල්ල ප්‍රකාශයට පත් කර තිබෙන බවත් ඊට අනුකූලව චක්‍රලේඛ නිකුත් කිරීම සිදු කළ බවද ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ (28) රජ‍යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව පැවසීය. තවදුරටත් අැමැතිවරයා මෙසේද ප්‍රකාශ කෙළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඝාතනය වු සහ රෝගී තත්ත්වයට පත්වූ සෑම අයෙකු වෙනුවෙන්ම සහන සැලසීමට රජය පියවර ගත්තා. අප්‍රේල් 21 දා ඇතිවුණු කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු එවැන්නක් රට තුළ සිදු වුණේ නෑ. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කැපවීමෙන් ඉටු කළ මිල කළ නොහැකි කාර්ය භාරයට ස්තූතියි. තත්ත්වය පාලනය කර රට සාමකාමී තත්ත්වයට ගෙනඒමට ආරක්ෂක අංශවලට හැකි වුණා. සාමකාමී වාතාවරණය රටේ ඇති කර තිබීම කඩාකප්පල් කිරීමට ඇතැම් දේශපාලන කොටස් සහ අන්තවාදී සංවිධාන ක්‍රියා කරනවා. රටක් විදිහට අප සැවොම එකට එක්ව ක්‍රියා කරමින් රටේ ආරක්ෂාව, සාමය සංවර්ධනයට උරදිය යුතුයි. අවස්ථාවාදී දේශපාලනය නොකර රට වෙනුවෙන් ක්‍රියා කරමු.

කුරුණෑගල මිනුවන්ගොඩ ප්‍රශ්න ඇති කළේ මෝටර් සයිකල්කරුවන් පිරිසක්. බදුල්ලේත් බෝම්බ බියක් ඇති කළා. පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට සැරසෙනවා. මේවා ජාතික අපරාධ. ජනතාව මේවා සිදු කරන්නන් පිළිබඳව තීන්දු ගනු ඇති. ආණ්ඩුව වැට්ටීමට අසාර්ථක උත්සාහයන්හි යෙදීම පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා.

හදිසි නීතිය යටතේ සැකපිට විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. අන්තවාදී මුස්ලිම් සංවිධාන තහනම් කර තිබෙනවා.

මෙය අන්තර්ජාතික ත්‍රස්තවාදයක්. ලෝකයේ රටවල් විසි එකක ප්‍රහාර අනූවක් ත්‍රස්තවාදීන් සිදු කර තිබෙනවා.

කුරුණෑගල වෛද්‍යවරයකු පිළිබඳව විධිමත්ව විනිවිදබවකින් විමර්ශන පැවැත්වෙනවා. දහස් ගණනකට නොව එක කාන්තාවක් හෝ කාන්තාව නොදැනුවත්ව වඳභාවයට ලක් කර තිබෙනවා නම් වෛද්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.

රජයේ නිලධාරීන් රාජකාරියට වාර්තා කිරීමේදී සැරසිය යුතු ඇඳුම් පිළිබඳව 1989 චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාතික ඇඳුම හෝ කලිසම කමිසයෙන් පුරුෂ පක්ෂය සැරසිය යුතුයි. කාන්තා පක්ෂය සාරිය හෝ ඔසරියෙන් සැරසිය යුතුයි. විධායක නිලධාරීන් කලිසම කමිසයෙන් සැරසෙනවා නම් ටයි පටියක් පැළඳිය යුතුයි.

අපට අරාබි මුස්ලිම් සංස්කෘතිය අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය වන්නේ ශ්‍රී ලාංකික මුස්ලිම් සංස්කෘතියයි. මුස්ලිම් ජනතාවගෙන් සීයට අනූපහකට වැඩි පිරිසක් ත්‍රස්තවාදයට විරුද්ධයි. සුළු පිරිසක් පමණයි අන්තවාදීන් හා ත්‍රස්තවාදීන්. මුස්ලිම් ආගමික නායකයන් රටේ ශ්‍රී ලාංකික මුස්ලිම් සංස්කෘතියක් පිළිබඳව සාකච්ඡා පවත්වනවා.

කුමන අභියෝග පැමිණියත් රටේ සංවර්ධනය උදෙසා රජය කැප වී ක්‍රියා කරනවා. ව්‍යාපෘති නිලධාරීන් විසි දෙදහසක් බඳවා ගන්නවා. උපාධිධාරීන් බාහිර උපාධිධාරීන් බඳවා ගන්නවා. සමෘද්ධියේ තිබුණ ප්‍රශ්න නිරාකරණය කරනවා. සුදුසුකම් තිබුණත් සමෘද්ධිය නොලැබුණ අය සිටිනවා. වාහන තිබෙන යමක් කමක් ඇති අයට සමෘද්ධි ප්‍රතිලාභ ලැබී තිබෙනවා. සමෘද්ධි ලැබීමට සුදුසුකම් ඇති අය හඳුනාගෙන ඔවුන්ට සමෘද්ධිය ලබාදීමට පියවර ගෙන තිබෙනවා. අධිවේගී මාර්ග කිහිපයකම ඉදිකිරීම් කටයුතු වසර අවසානයේ නිමාව දකිනවා. දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය මට්ටමින් මාර්ග ඉදි වෙනවා. මා නියෝජනය කරන මොණරාගල කිලෝමීටර් හයසීයක මාර්ගයක් කාපට් කරගෙන යනවා.

රිෂාඩ් බද්යුදීන් ඇමැතිවරයා පිළිබඳව තේරීම් කාරක සභාවක් පත් කරනවා. විශ්වාසභංගය ගැනත් ක්‍රියා කරගෙන යනවා. එදා අරන්තලාවේ භික්ෂු ඝාතනය, දළදා මාළිගාව, ශ්‍රී මහා බෝධිය ඉදිරිපිට ත්‍රස්තවාදී ප්‍රහාර, පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම් සිදු කළ බවට සම්බන්ධ කරුණා අම්මාන්, පිල්ලෙයාන් වැනි වූවන්ට තනතුරු ලබාදීමට එදා රාජපක්ෂ රජය පියවර ගත්තා. වත්මන් රජය අපක්ෂපාතීව විනිවිදභාවයකින් ක්‍රියා කරද්දී අසත්‍ය චෝදනා නඟනවා.

චෝදනා එල්ල වෙද්දී අපේ ඇමැතිවරු තිදෙනෙක් ඉල්ලා අස් වුණා. රාජපක්ෂ සමයේදී එසේ වූවාද?. මේ මාධ්‍ය සාකච්ඡාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන අධ්‍යක්ෂ අග්‍රාමාත්‍ය උපදේශක නීතිඥ සුදර්ශන ගුණවර්ධන සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ නාලක කළුවැව මහත්වරුද සහභාගි වූහ.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කාර්ය මණ්ඩලය රජයේ සංවර්ධන කටයුතු පිළිබඳ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගැනීම කෙරෙහි නීතිඥ ගුණවර්ධන මහතා මේ අවස්ථාවේදී ස්තූති පූර්වකව ප්‍රකාශ කෙළේය.

ඡායාරූපය - සිරිපාල හල්වල

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();