Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටේ සෑම දෙනා පොදු නීතියට අවනත විය යුතුයි

තමන් කවර ජාතියකට, කවර ආගමකට, කවර සංස්කෘතියකට අයත් වුවත් සියලු දෙනා රටේ පොදු නීතියට අවනත විය යුතු බවත් කිසිවකුට ආගම හෝ ජාතියට මුවා වී නීතිය නමන්නට හෝ උල්ලංඝනය කරන්නට නොහැකි බවත් කතානායක කරු ජයසූරිය මහතා පැවසීය. කතානායකවරයා මේ බව සඳහන් කෙළේ ඊයේ (28) කොළඹ 7 මහාභාරකාර දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ඩී.බී ජයතිලක ගුණානුස්මරණ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.‍

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා මෙසේද පැවසීය.

අන්තවාදී උන්මත්තකයන් සුළු පිරිසක් නිසා සමස්ත මුස්ලිම් ජනතාව පිළිබඳව අයහපත් ආකල්පයක් ඇතිකර නොගත යුතුයි. බහුතර මුස්ලිම් ජනතාව අන්තවාදයට විරුද්ධව නැගී සිටීමට සූදානම්. කෙසේ වෙතත් අන්තවාදී වුවමනාවන් වෙනුවෙන්  ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතන පාලනයටත්, බහුතර මුස්ලිම් ජනතාව එකහෙළා ප්‍රතික්ෂේප කරන ළමා අයිතිවාසිකම් උල්ලංඝණය කරන නීති විරෝධී විවාහ පිළිබඳව නීති ගෙන ඒමටත්, පාර්ලිමේන්තුව කඩිනමින් කටයුතු කරනවා. දැනටමත් ලංකාවට ආගන්තුක බුර්කාව වැනි විලාසිතා තහනම් කරන ලෙස මුස්ලිම් සමාජයෙන් නිතිපතා ඉල්ලීම් ලැබෙමින් තිබෙනවා.

එදා ඩී.බී ජයතිලක, ඩී.එස් සේනානායක වැනි නායකයන් සමඟ එක්ව මවුබිමේ නිදහස උදෙසා අධිරාජ්‍යවාදයට එරෙහිව කටයුතු කිරීමට මුස්ලිම් නායකයන්ද ඉදිරිපත් වූවා. අන්තවාදීන් සුළු පිරිසක් හැරුණු විට මවුබිමේ අභිවෘධිය වෙනුවෙන් කැප වන විශාල මුස්ලිම් ජනතාවක් වර්තමානයේ ද ත්‍රස්තවාදයට එරෙහිව පෙරට පැමිණ තිබෙනවා.

බුදුන් වහන්සේ ජාති ආගම් බේද කිසිවිට තැකුවේ නැහැ. ලෝකයේ සිටින සියළු මිනිසුන් එකම මිනිස් ජාතියකට අයත් බව උන්වහන්සේගේ ඉගැන්වීමයි. අන්තවාදීන් විකෘති කිරීමට උත්සාහ කළද ලෝකයේ සෑම ආගමකම හරය එයයි.පාස්කු ඉරිදා ප්‍රහාරයේ මිලේඡත්වය මෙන්ම ඉන් සති තුනකට පමණ පසුව උද්ගත වූ අහිංසක මුස්ලිම් ජනතාව ඉලක්ක කළ අන්තවාදී ප්‍රහාරයන් ද එක ලෙස පිටු දැකීමට ශිෂ්ඨ සම්පන්න මිනිස්සුන්ට හැකිවිය යුතුයි.ඉතිහාසයේ නිදහස ලබන විට ජපානය සමඟ සම තත්ත්වයේ සිටි අප වර්තමානයේ සිටින පසුගාමී තත්ත්වයට වගකිව යුත්තේ රටේ සාමකාමී ගමනට බාධා කළ බලවේගයි. එහිදී ප්‍රධාන වගකීම දුටු කළ වල ඉහ ගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළ දේශපාලඥයන් භාරගත යුතුයි.මේ රට මූලධර්මවාදයකට ගෙනයෑමට සිහින දකින අන්තවාදීන් දකින්නේ හුදෙක් සිහිනයක්ම පමණයි. ඉස්ලාම් මූලධර්මවාදය තුළිනුත් ලොව පුරා වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ අහිංසක මුස්ලිම් ජනතාවමයි.ඩී.බී. ජයතිලක වැනි විශිෂ්ඨ බුද්ධිමතකු එදා රටේ අගමැති ධුරයට පවා පත්වනු ඇතැයි ජනතාව අපේක්ෂා කළා. ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාදුන් රට අද පවතින තත්ත්වය පිළිබඳව දැනෙන්නේ නම්, නිදහසේ විරුවන් හඬාවැටෙනු ඇතැයි ද කථානායකවරයා පැවසීය.

උඩුගම්පොළ සමුහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();