Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවුහිද් ත්‍රස්තවාදීන් මඬින්න මසකදී රටපුරා මෙහෙයුම් 1000ක්

Author(s): 
විජයානි එදිරිසිංහ

තවුහිද් ජමාත් ත්‍රස්තවාදීන් පසුගිය පාස්කු ඉරිදා කොළඹ, මඩකලපුව ඇතුළු ස්ථාන නවයක සිදු කරනු ලැබු බෝම්බ පිපිරීමේ සිද්ධියත් සමඟ ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් විශේෂ කාර්ය බළකායත් බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් පහළොස් දහසක් පමණ යොදවා මාසයක පමණ කාලයක් තුළ රටපුරා ඒකාබද්ධ මෙහෙයුම් දහසක් පමණ ප්‍රමාණයක් සිදු කර එම ත්‍රස්ත ක්‍රියාකාරකම් සියයට අනු පහකින් පමණ අඩපණ කැර නැවතත් ඔවුන්ට සංවිධානය වීමට ඇති ශක්තිය සම්පුර්ණයෙන්ම විනාශ කර ඇති බව යුද්ධ හමුදාව පවසයි.

මාසයක් වැනි කෙටි කාලයක් තුළ රටක හමුදාවක් සිදු කරන ලදැයි විශ්වාස කළ නොහැකි තරම් මෙහෙයුම් ප්‍රමාණයක් සිදු කැර තවුහිද් ජමාත් ත්‍රස්තවාදින් අඩපණ කිරීමට මෙම ආරක්ෂක අංශ කළ කැපවිම දිවා රැ නොබලා දවසේ පැය 24 පුරාම සිදු කරන ලද සුවිශේෂි මෙහෙයුම් ජාලයක් වෙයි.

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසා සිටින්නේ මෙම මෙහෙයුම් හරහා ත්‍රස්තවාදින් සැඟවී සිටි රටේ අස්සක් මුල්ලක් නෑර සියලු ස්ථාන පරීක්ෂාවට ලක්කර ත්‍රස්තවාදයට සම්බන්ධ පිරිසත් මරා ගෙන මැරෙන සාමාජිකයන් සහ එම ත්‍රස්තවාදයට අනුබල දුන් පිරිස්ද ඇතුළත්ව විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ අභිරහස් කටයුතු සියල්ලක්ම හෙළි කැර ගැනීමට සමත් වී ඇති බවයි.

ත්‍රස්තවාදින් කොටු කැර ගැනිමේ ඒකාබද්ධ මෙහෙයුම් මේ වන විටත් සිදු වෙමින් පවතින අතර ඊයේ දිස්ත්‍රික්ක පහක එම මෙහෙයුම් දියත් කැර තිබුණි.

ගම්පහ ,කුරුණෑගල, කළුතර, පුත්තලම සහ කොළඹ යන දිස්ත්‍රික්කවල එම මෙහෙයුම් දියත් කරනු ලැබු දිස්ත්‍රික්ක වෙයි.මිට අමතරව අද දිනයේදි තවත් දිස්ත්‍රික්ක පහක මෙහෙයුම් දියත් කෙරේ. මේ ආකාරයෙන් නැවත නැවතත් මෙම ත්‍රස්තවාදින් සොයා උතුරු නැඟෙනහිර පළාත් ද ඇතුළත්ව දිවයිනේ සැම දිස්ත්‍රික්කයකම මෙම මෙහෙයුම් නොකඩවා සිදු කිරීම කරගෙන යයි. මෙම මෙහෙයුම් සඳහා යොදවන ලද හමුදා භට පිරිස් දිගටම එම මෙහෙයුම් වල යොදවා සිටියි .

මෙම මෙහෙයුම් හරහා ත්‍රස්තවාදින් සතුව තිබු පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ සම්බන්ධයෙන් හමුදාපතිවරයා කියා සිටියේ ත්‍රස්තවාදින් සතුව කිසිදු අවස්ථාවක ආයුධ ගබඩා හෝ ත්‍රස්තවාදි කදවුරු වශයෙන් යමක් නොතිබු බවයි . ආයුධ පෙට්ටි සහ ත්‍රස්තයන් සැගවුණ ස්ථාන වශයෙන් මෙම ස්ථාන හැදින්විය හැකි බවද හමුදාපතිවරයා පවසා සිටියේය. මේ අතර හමුදා බුද්ධි අංශ තවදුරටත් ශක්ති මත් කර රටපුරා ත්‍රස්තවාදීන් හා සම්බන්ධව තොරතුරු සෙවීම නොකඩවා සිදු කැර වාර්තා කිරීම සිදුවෙයි. තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ තොරතුරු විශාල වශයෙන් බුද්ධි අංශ මඟින් පසුගිය කාලය තුළ හෙළි කර ගත් අතර එම බුද්ධි තොරතුරු ඔස්සේ යමින් ත්‍රස්තයන් කොටු කර ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වු අවස්ථා බෙහෝ වෙයි. ත්‍රස්තවාදින් අඩපණ වි තිබුණ නමුත් ආරක්ෂක යුද්ධ හමුදාව සෙසු ආරක්ෂක අංශ සමඟ එක්ව සිදු කරනු ලබන මෙහෙයුම් අදියර තුනකින් මේ වන විට ක්‍රියාත්මක වන බව ද හමුදාපතිවරයා පවසයි. ඒ අනුව බෝම්බ පිපිරිම සිදු වී මාස තුනක් තුළ මාස නවයක් තුළ සහ වසර දෙකක් තුළ මෙහෙයුම් සිදු කැර එම කාලය තුළ තවුහිද් ජමාත් ත්‍රස්ත සංවිධානය මෙරටින් සම්පුර්ණයෙන්ම තුරන් කැර දැමිම ආරක්ෂක හමුදාවල එකම ඉලක්කය බවට පත්වි ඇත. තිස් වසරක් තුළ මේ රටේ පැවැති දරුණුම ත්‍රස්තවාදය වසර දෙකකින් නැත්තටම නැති කැර දැමු මෙරට ආරක්ෂක අංශවලට මෙවැනි ත්‍රස්ත සංවිධානයක් නැති කැර දැමීම අපහසු කර්යයක් නොවන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();