Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කිසිසේත්ම ගෘහ විදුලි ඒකකයක මිල වැඩිවන්න දෙන්නේ නැහැ

 

පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍යවේදින් විසින් නැගූ පැනයකට පිළිතුරු සපයමින් අමාත්‍ය කරුණානායක මහතා මෙසේ පැවසීය.

අපට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිෂ්පානය කරලා, ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්‍ය තත්ත්වය යහපත් තත්ත්වය පත් කරන්නයි. මේකට තාවකාලික, මධ්‍යම හා දීර්ඝකාලීන වශයෙන් විසදුම් තිබෙනවා. මේ සදහා වන මුල්ම පියවර තමයි අපි මේ කරලා තියෙන්නේ, තුර්කියේ මේ බාජ් එක තුළින්. සමහරු අහනවා මීට වඩා අඩු මිලකට නැද්ද කියලා. මම කියන්න කැමතියි කාටහරි පුළුවන්නම් මීට වඩා අවම මිලකට විදුලිය ලබාගන්න, ඒක අපට පෙන්නලා දෙන්න යැයි  විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපි උත්සාහ කළේ හදිසි විදුලය මිලදී ගැනීමක් සිදු නොකර ඉන්න. නමුත් ඇති වූ විදුලි ඌනතාව හේතුවෙන් එය නොකර බැරි වුණා. දැනට තිබෙන බලාගාරවල නිෂ්පාදන වියදම රු. 30.00 ට වැඩියි. නමුත් හදිසි විදුලිය මිලදී ගන්න ටෙන්ඩර් කැදවීමෙදි මිල නියම වෙලා තිබුණේ රු. 28.00 , රු. 30.00 වගේ. වසරකට ටෙන්ටර් කැදවුවොත් මිල වැඩිවන නිසා අපි මාස 06 කට ගන්න තීරණය කළා.

මෙම හදිසි විදුලිය මිලදී ගැනිම පිළිබදව ජනතාව අතර  නොයෙක් ආකාරයේ මත ඇති වුණා. මේ තුළින් විශාල මුදල් නාස්තියක් සිදුවන බවට මත පළවුණා. ඒ නිසා මෙම මිලදී ගැනීම් අතරතුරදීම, මෙම තත්ත්වය වෙනස් කරන්න හැකි ආකාරයේ විකල්ප මාර්ග ඉදිරිපත් කරන්න කියලා අපි ජනතාව දැනුවත් කළා. ඒ අවස්ථාවේ තුර්කි රජයෙන් යෝජනාවක් ඉදිරිපත්  කළා. රු. 24.98 ක් තමයි ඔවුන්ගේ මිල වුනේ. සියළු බදුත් සමග මෙහි මිල වන්නේ රු. 26.20 ක් පමණයි. ඒ අනුව අපි මේ පිළිබදව කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා, දැනට අපේ බලාගාර වලට වඩා අවම මිලක් සහිත නිසා කැබිනට් අනුමැතිය ලැබුණා.

හදිසි විදුලිය මිලදී ගැනිමක් අවශ්‍යයි කියලා තීරණය කළේ අපි නොවෙයි. ලංකා විදුලිබල මණ්ඩලයේ අදාල  නිලධාරීන් තමයි කිව්වේ මෙගාවොට් 470 ක හිගයක් පවතිනවා, එය වහාම සපයා දෙන්න කියලා.  ඒ නිසයි හදිසි විදුලිය මිලදි ගැනීමකට යාමට සිදුවුණේ. සමහර පිරිස් අකමැතියි විදුලි ගැටළුව විසදලා, විදුලි කප්පාදුව නැති කරනවාට. ලංවිම  නිපදවන විදුලි ඒකකයකට වඩා පුද්ගලික අංශයෙන් මිලදී ගැනීම වඩා වාසි දායකයි. නමුත් අපි මේ වනවිට ගිවිසුම් අත්සන් කරලා තිබෙන නිසා දැන් ඒවා වෙනස් කරන්න බැහැ.

කුමන ආකාරයකින් මේ දේවල් සිද්ධ වුණත්,  කිසිසේත්ම ගෘහ විදුලි ඒකකයක මිල වැඩිවන්න දෙන්නේ නැහැ. ඒ පදනම අපි ආරක්ෂා කරනවා. ඒ වගේම කිසිදු ආකාරයකින් විදුලි කප්පාදුවකට යන්නෙත් නැහැ. ඒ වෙනුවෙන් අපි විදුලිය නිෂ්පාදනය කල යුතුයි. වාර්ෂිකව විදුලි ඉල්ලුම 6%, 7% ක් වගේ ප්‍රමාණයකින් වර්ධනය වෙනවා. ඒ කියන්නේ මෙගාවොට් 350 ක් පමණ. 2012 වර්ෂයේ සිට පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 400ක් පමණ එකතුවුණා මිසක්, අළුතින් එකම ඒකකයක්වත් ජාතික පද්ධතියට එකතු වෙලා නැහැ. අපට දෛනික අවශ්‍යවන විදුලි ඒකක ප්‍රමාණය ජල විදුලියෙන් සපුරා ගන්න පුළුවන් නම් කිසිදු ගැටළුවක් මතු වන්නේ නැහැ. නමුත් මේ වනවිට ඒ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා ජල මූලාශ්‍රයන්ගේ තිබෙන හිගතාවය නිසා. ඒ නිසා අපිට විකල්ප මාර්ග අවශ්‍ය වනවා. විදුලිබල මණ්ඩලයෙන් නිෂ්පාදනය කරනවාද නැතිනම් පිටින් තාවකාලිකව අරගෙන අඩු වියදමකින් ජනනය කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවාද කියා අප තීරණය කල යුතුයි. ඉතිහාසයේ පළමු වතාවට තමයි අපි මේ වගේ අවම මිලක් යටතේ හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකරලා තියෙන්නේ.  අපි ලබන සුමානෙ ටෙන්ඩර් කැදවන්න සූදානම් වෙනවා, මීට වඩා අඩුවෙන් වසර දෙකක් සදහා මිලදී ගැනීමක් සිදුකරන්න.

තුර්කියෙන් ගෙනෙන මේ නැව, ජාතික පද්ධතියට ගැටළුවක් නොමැතිව සම්බන්ධ කරන්න පුළුවන් කොහෙන්ද කියලා අපි සොයා බැලුවා. ඒ අනුව ගාල්ල, කොළඹ , හම්බන්තොට යන වරායන්ගෙන් තමයි අවම දුරක් සහිතව සම්බන්ධ කළ හැකිවන්නේ. ඒ තුලිනුත් ගාල්ල, හම්බන්තොටට සාපේක්ෂව කෙරවලපිටියෙන් තමයි පහසුවෙන්ම සවිකළ හැකි වන්නේ. ඒ සදහා මාසයක් පමණයි යන්නේ සවි කරන්න. නමුත් කෙරවලපිටියෙන් අපට මෙගාවොට් 200 එක් කරන්න අපහසුතාවක් තිබෙනවා. නමුත් අපි කෙරවලපිටියේ 200න් 100 කට තමයි අපි ගෙවන්නේ. අපි ගිවිසුම් ගතවෙලා තිබෙන්නේ ඒ ආකාරයට 50% ක් ගෙවන්නයි. ගාල්ලෙන් අපි තවත් 65% ක් ලබා ගන්නවා. ඒ කියන්නේ මෙගාවොට් 400 නෞකාවෙන් අපි ගන්නේ 115 ක් පමණයි. අපට අවශ්‍ය ප්‍රමාණයට ගන්න තුර්කි සමාගමේ නැව් නැහැ. ඒ නිසයි මේ 400 නැව ගෙනත් එයින් 50% ක් ගන්නේ.  මේ නැව් දෙක නොගත්තොත්, ලංවිමට බිලියන 94 ක් වැය වෙනවා මේ මාස 06 වෙනුවෙන්. නැව් දෙක ගත්තොත් වැය වන්නේ බිලියන 93 ක් පමණයි. ඒ අනුව මේ නැව් දෙක ගැනීම තුළින් ලංවිමට බිලියන් 01 ක ලාභයක් ලැබෙනවා. මේ ගනනය කිරීම් කරලා තිබෙන්නේ වියලි කාලගුණික තත්ත්වයන් හමුවේ. වැසි තත්ත්වයක් ඇතිවුවහොත් මේ ගනන් තවත් අඩු වෙනවා.

ඉදිරියේදී අපි චීනෙන් මෙගාවොට් 300, ජපානෙන් මෙගාවොට් 300, ඉන්දියාවෙන් මෙගාවොට් 300 ආදි වශයෙන් බලාගාර 03 ක් ගන්නයි හදන්නේ අපි. මේ බලාගාර සියල්ලක්ම එන්නේ 2022 න් පස්සේ. ඒ වෙනකල් අපිට විදුලි හිගයක් එනවා.  විදුලිබල පනතට අනුව 43 -4 – C 11 යටතේ පුළුවන් අපට හදිසි මිලදී ගැනීමක මිල, ටෙන්ඩර් මිලට වඩා සෑහීමකට පත් වෙනවානම්, එම හදිසි මිලදී ගැනම සිදුකළ හැකියි. ඒ ක්‍රියාපටිපාටිය යටතේ තමයි අපි මේ මිලදී ගැනීම සිදු කළේ යැයි පැවසීය.

The post කිසිසේත්ම ගෘහ විදුලි ඒකකයක මිල වැඩිවන්න දෙන්නේ නැහැ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();