Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කැබිනට් අනුමැතියට යොමු කළා

Author(s): 
මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක්කරන සයිබර් ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පත, අනුමැතිය සඳහා ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

සයිබර් ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය විසින් ඉතා ඉක්මණින් අනුමත කරනු ඇතැයි විශ්වාසය පළකරන ඒ මහතා එසේ අනුමත කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කිරීමට අපේක්ෂා කරන බවද ඒ අතරතුර රටේ ජනතාවට මෙම පනත් කෙටුම්පත පිළිබඳ දැනුවත් කොට මහජන අදහස් ලබාගැනීමේ අරමුණින් ජූනි මස 6 දා මහජන සම්මන්ත්‍රණයක් සූදානම්කර තිබෙන බවද සදහන් කරයි.

ඇමැතිවරයා මේ බව සදහන් කළේ කොල්ලුපිටියේ පිහිටි ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ අජිත් පී පෙරේරා මහතා,

පසුගිය දිනවල අපේ රටේ පරිගණක පද්ධතිවලට සයිබර් ප්‍රහාරයන් එල්ල වුණා. මේක අලුත් දෙයක් නොවෙයි. මේක විටින් විට ලෝකයේ බලගතු රටවලටත් අපි වැනි කුඩා රටවලටත් සයිබර් ප්‍රහාරවලට ලක්වෙන්න සිදුවුණා. ඒ වගේම මුළු ලෝකයම ඩිජිටල්කරණය කරා යොමු වෙමින් තිබෙනවා. ඩිජිටල්කරණය කරා යොමු වූ ලෝකය තුළ අද සම්ප්‍රදායනුකූල යුද ප්‍රහාරයන් වෙනුවට ඩිජිටල් තාක්ෂණය තුළින්ම මතුවූ ප්‍රහාරයන් සිදුවෙන්න පුළුවන්. ලෝකයේ අද තොරතුරු තාක්ෂණය මත, ඩිජිටල් තාක්ෂණය මත, දත්ත පද්ධති මත ඉතාම බරපතල ලෙස රඳා පවතිනවා. රටේ සියලුම ආයතන යම් ප්‍රමාණයකට ඩිජිටල්කරණයට ලක්ව තිබෙනවා. මේ පවතින පරිගණක පද්ධතිවල ක්‍රියාකාරිත්වය විනාශ කරන්න, අඩපණ කරන්න හා එම පද්ධතිවල තොරතුරු සොකරම් කරන්න ඩිජිටල් ප්‍රහාරයන් එල්ල වෙනවා.

මේ සයිබර් ප්‍රහාර නතර කරගන්න සෑම රටක්ම තමන්ගේ රටතුළ තිබෙන ඩිජිටල් තාක්ෂණය හා සම්බන්ධ පද්ධති භෞතිකමය වශයෙන් ශක්තිමත් කරනවා. අනෙක් පැත්තෙන් නීති පනවා ඒ නීති අනුව කටයුතු කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ආයතනවලට සහ නිලධාරීන්ට බල කරනවා. ඒ වගේම සයිබර් අවකාශය හා සම්බන්ධයෙන් රටේ නීතියට අනුව වරදක් කරන අයට විරුද්ධව දඩුවම් කිරීමට කටයුතු කරනවා. මම මේ අමාත්‍යාංශය බාර ගන්නා අවස්ථාවේ දී මේ රටේ ඩිජිටල් තාක්ෂණය හා සම්බන්ධව ඉතාම අවශ්‍ය වී තිබුණු පනත් දෙකක් සකස් කිරීමට නොහැකිව තිබුණා. එකක් තමයි සයිබර් ආරක්ෂණය පිළිබඳ නීතිය. අනෙක තොරතුරු ආරක්ෂා පිළීබඳ නීතිය වෙනවා. මේ නීතිවල අවශ්‍යතාවය සම්බන්ධයෙන් විශාල වශයෙන් විවිධ සාකච්ඡාවල දී කතා කළා. ඒ වගේම ලංකාවේ ඊ සොෆ්ට් ඩුයින්ග් බිස්නස් දර්ශකයෙන් අපි බලාපොරොත්තු වුනු වේගයෙන් ඉහළට නොයාම පිළිබඳව සාකච්ඡාවේ දී කතා කළා.

මම මේ අමාත්‍යාංශය බාරගත් වහාම මේ අමාත්‍යාංශය සම්බන්ධයෙන් මගේ ප්‍රධාන වගකීමක් ලෙස මේ පනත් දෙක සකස් කිරීමට පියවර ගත්තා. අද වනවිට අපිට පුළුවන්කම ලැබී තිබෙනවා සයිබර් ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්න. සයිබර් ආරක්ෂණය පිළිබඳ නීති අමාත්‍ය මණ්ඩලය විසින් ඉතා ඉක්මණින් අනුමත කරයි කියා විශ්වාස කරනවා. ඒසේ අනුමත කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර රටේ ජනතාවට මෙම පනත් කෙටුම්පත පිළිබඳ දැනුවත් කිරීම සඳහා ජූනි මස 6 දා මහජන අදහස් ලබාගැනීම වෙනුවෙන් මහජන සම්මන්ත්‍රණයක් සූදානම්කර තිබෙනවා. අද වනවිට මෙම පනත් කෙටුම්පත ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳ වෙබ් අඩවියේ ඇතුළත්කර තිබෙනවා.

මේ සම්බන්ධ තමන්ගේ අදහස් ලිඛිතව ඉදිරිපත් කරන්නත් පුළුවන්. 6 දා මේ මහජන සම්මන්ත්‍රණයට පැමිණ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. මේ කෙටුම්පත සම්බන්ධයෙන් විද්වතුන්ගේ සහ ජනතාවගේ අදහස් අපේක්ෂා කරනවා. මේ කෙටුම්පත අපේ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ විවාදයට පෙර මහජන අදහස් අපි අපේක්ෂා කරනවා. මෙය ලොකු ඉදිරි පියවරක්. වසර 15ක පමණ කාලයක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබුණේ නැහැ. අපි මේ වනවිට අමාරුම පියවර අවසන් කොට තිබෙනවා. තොරතුරු ආරක්ෂණ පනත් කෙටුම්පතත් මේ වනවිට කෙටුම්පත් කර අවසන්. එහි කටයුතු අවසන් වූ පසුව ජූනි අවසන් වනවිට මහජන අදහස් විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්න. මේ පනත සම්මත කර ගැනීමත් සමඟ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් අභියෝග එල්ල කරන පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරන්න අවස්ථාව සැලසෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටේ ආරක්ෂාව යහපත් මට්ටමට ගෙනවිත් තිබෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හමුදාපතිවරුන් විසින් ප්‍රකාශෙයක් කර තිබෙනවා. විශේෂයෙන් මේ රටේ පුරවැසියන්ට මෙන්ම විදේශිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජාතික ආරක්ෂාව ඉතාම වැදගත්. නමුත් එම ප්‍රහාරයෙන් පසුව සමාජ මාධ්‍ය වාරණය කරන්න විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් පියවර ගත්තා. නමුත් සමාජ මාධ්‍ය වාරණය කිරීම එතරම් සුදුසු නැහැ. එවැනි වාරණයක් කළයුත්තේ ඉතාම අත්‍යවශ්‍ය අවස්ථාවේ පමණයි. යම්කිසි පාලනයක් කරන් පුළුවන්. නමුත් සම්පූර්ණයෙන්ම අවහිර කරන්න බැහැ. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් අපි වළක්වා ගතයුතු වෙනවා. අපි මේ නව නීතිරීති හදුන්වා දෙන්නේ වාරණය සඳහා නොව ආරක්ෂාව සඳහායි. පුරවැසියන්ගේ නිදහස උපරිමයෙන් තිබිය යුතුයි. එය ආණ්ඩුව විසින් කළයුතුයි. රජයේ සහ පෞද්ගලික තොරතුරු පද්ධති ද ආරක්ෂා කළයුතු වෙනවා. රටේ ආර්ථීක මර්මස්ථාන ආරක්ෂා කරන්න ද පියවර ගතයුතු වෙනවා.

ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ නියෝජිත ආයතනය නමින් ආයතනයක් අපි මේ පනත යටතේ පිහිටුවන්න අපේක්ෂා කරනවා. තොරතුරු තාක්ෂණ පද්ධති ආරක්ෂා කරන්න ස්වාධීන ව්‍යුහයක් ඇති කරන්න ඒ මඟින් හැකියාව ලැබෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂාවේ ඉතාම වැදගත් පැතිකඩක් තොරතුරු තාක්ෂණය. සයිබර් ආරක්ෂණය යන්න ජාතික ආරක්ෂාවට ඉතාම වැදගත්. මට පක්ෂයට වඩා වැදගත් වෙන්නේ රට. ඉතිං රට වෙනුවෙන් මට වගකීමක් පැවරී තිබෙනවා. මේ රටේ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ වගකීම මට පැවරී තිබෙනවා. ඒවා ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීමේ වගකීම මට තිබෙනවා. ඒ වගකීම මම ඉටුකරනවා. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා සියලු කටයුතු විමර්ශනය කෙරෙනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();