Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මඩකලපුව සරසවිය ඉදිකිරීමට අනුමැතිය දී ඇත්තේ ඩලස්

Author(s): 
චමීර ඇල්ලදෙණිය

අද කුමන චෝදනා නැගුවත් මඩකලපුවේ විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සඳහා පසුගිය රජය සමයේ වෘත්තීය පුහුණු ඇමැතිවරයා වූ ඩලස් අලහප්පෙරුම මහතා හා හිස්බුල්ලා මන්ත්‍රීවරයා අදාළ මූලික ගිවිසුම අත්සන් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය. මේ විශ්ව විද්‍යාලය ඉදි කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ පසුගිය රජයේ වෘත්තීය පුහුණු ඇමැතිවරයා බව ද ඒ මහතා කීය‍.

පැලවත්ත බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (27) පැවැති මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ බව අනාවරණය කළේය.

21 ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙනවා. සංචාරක කර්මාන්තය කඩා වැටිලා. සංචාරක කර්මාන්තයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වුණු සියලුම මහා පරිමාණ, සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සහ ස්වයං රැකියා කළ සියලු පුද්ගලයන් විශාල අර්බුදයකට ලක්වෙලා ඉන්නවා. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව සහන ලබාදෙනවා කිව්වට සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ වක්‍ර රැකියා කළ පුද්ගලයන්ට කිසිදු සහනයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේ නැහැ. මෙවැනි ප්‍රහාරයකින් පසුව ආණ්ඩුව ඉතාම වගකීම් සහගතව කටයුතු කළ යුතුයි.

“21වැනිදා ප්‍රහාරය පිළිබඳව සම්පූර්ණ පරීක්‍ෂණයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්‍ෂවල සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කොට සිදුකළ යුතු බවට ආණ්ඩුවත් විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂත් එකඟතාවකට ආවා. එයින් සිදුවන්නේ 21වැනිදා ප්‍රහාරය පිළිබඳවත් ඉන්පසු තත්ත්වය පිළිබඳවත් සම්පූර්ණ පරීක්‍ෂණයක් සිදුකිරීමයි. එම යෝජනාව ඉදිරිපත් වුණාට පසුව තමයි රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවත් රිෂාඩ් බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයත් අතර කිසිදු සම්බන්ධයක් නැහැ.

විශ්වාසභංගයක් ඉදිරිපත් වන්නේ පාර්ලිමේන්තුවේ පිළිගත් ක්‍රමවේදවලට අනුවයි. මීට පෙර රවී කරුණානායකටත් රනිල් වික්‍රමසිංහටත් එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගවලට නිශ්චිත කරුණු ඉදිරිපත් කොට තිබුණා. මහ බැංකු ගනුදෙනුව සහ ඊට අදාළ වෙනත් මූල්‍ය ගනුදෙනු පිළිබඳව චෝදනා නිශ්චිත වෙලා තිබුණා. ඒ නිසා අපි ඔවුන්ට විරුද්ධව ඡන්දය ලබා දුන්නා. රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිවත් අපි කටයුතු කරනවා. ආණ්ඩුවේ කිසිදු ඇමැතිවරයෙක් ආරක්‍ෂා කරන්න ජවිපෙට වුවමනාවක් නැහැ. ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංගයක් ගෙනාපු ජවිපෙට එක ඇමැතිවරයෙක් ලොකු නැහැ.

රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග විවාදය පළමුව එනවා. එහි ඡන්ද විමසීමෙන් පසුව තමයි ජවිපෙ ගෙන ආ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්නේ. ඒ දෙක අතර කිසිදු සම්බන්ධයක් නැහැ. ඇතැම් අය චෝදනා කරනවා රිෂාඩ් බේරගන්න ආණ්ඩුවට එරෙහිව අපි විශ්වාසභංගයක් ගෙනාවා කියලා. බැරිවෙලා හරි රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය ජවිපෙ ගෙනාවා නම් ඒ අය කියන්නේ ආණ්ඩුව බේරගන්න රිෂාඩ්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවා කියල. ඒ නිසා අපිට ඒ අයගේ කතාවලින් වැඩක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ තීරණ ගන්නේ ස්වාධීනවයි. අපි කවදාවත් ප්‍රශ්නයක වලිගයෙන් අල්ල ගන්නේ නැහැ. අපි ප්‍රශ්නයේ ඔළුවෙන් අල්ල ගන්න පක්‍ෂයක්. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙනාවේ නිශ්චිතව තහවුරු කරගත් කරුණු අනුවයි. මේ ප්‍රහාරය හේතුවෙන් අපේ රටට විදේශ බලපෑම්වලට පාර කැපෙනවා. ඒ සියලු කරුණු පදනම් කරගෙන තමයි අපි මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ. ඇත්තටම අපිට චෝදනා කරන පිරිස තමයි ආණ්ඩුව බේරගන්න රිෂාඩ්ට එරෙහිව විශ්වාසභංගය ගෙනත් තිබෙන්නේ.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කළත් මැතිවරණයක් එන්නේ නැහැ. සිදු වන්නේ පාර්ලිමේන්තුව ඇතුළේම වෙනත් ආණ්ඩුවක් හැදෙන එකයි. විශ්වාසභංග විවාදයෙන් පස්සේ ඉදිරි පියවර ගැන සලකා බලන්න පුළුවන්. අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි. ඒවා සලකා බලන්න වෙන්නේ ඒ මොහොතේ ඇතිවන තත්ත්වයන් අනුවයි.

කුරුණෑගල වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අයථා වත්කම් උපයා ගැනීමක් සම්බන්ධවයි. ඒ ආකාරයෙන් අත්අඩංගුවට ගන්නවා නම් අපේ රටේ තවත් බොහෝ පුද්ගලයන් ඉන්නවා තමන්ගේ ගිණුම්වල තිබෙන මිලියන ගණන් මුදල් හම්බ කරගත්තේ කොහොමද කියලා පැහැදිලි කරගන්න බැරි අය. අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තේ වත්කම් සම්බන්ධයෙන් වුවත් ඔහු සම්බන්ධයෙන් තවත් පරීක්‍ෂණ පැවැත්වෙනවා. වඳ සැත්කම් පිළිබඳව පරීක්‍ෂණයත් ඉන් එකක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් කිවුවා. ඔහුට එරෙහිව තිබෙන පැමිණිලි ඉදිරිපත් කරන්න කියලා. දැන් දිවයින පුවත්පතටත් පුළුවන් වඳ සැත්කම් කළ 4000 දෙනාගේ තොරතුරු පොලීසියට ලබාදෙන්න. ඒක පරීක්‍ෂණවලට පහසුවක් වෙයි. අදාළ වෛද්‍යවරයා වඳ සැත්කම්වලින් වත්කම් උපයාගෙන තිබෙනවා නම් එයත් බරපතළ තත්ත්වයක්. ඒ නිසා ඔහු පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රසව හා නාරිවේද ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යන ආයතන එක්ව සිදුකළ යුතුයි. ඔහුට එරෙහිව ඉදිරිපත් වෙලා තිබෙන චෝදනා ඔප්පු වෙනවා නම් වහාම ඔහුට දඬුවම් ලබාදිය යුතුයි.

අන්තවාදී මතවාදය අපේ රටේ ප්‍රචලිත වීම වසර ගණනාවකට සිට ආපු එකක්. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි 21වැනිදා ප්‍රහාරය සිදුවුණේ. ඒ නිසා කළයුතුව තිබෙන්නේ මේ ආගමික අන්තවාදය එයට සහාය වෙන අන්තවාදී මතවාදය ප්‍රචාරය වීමත් වහා නතර කිරීමයි. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් යෝජනා ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා. නව නීති ගෙන ඒමත්, එවැනි යෝජනාවල අඩංගු වෙනවා. ඒ වගේම අපි යෝජනා කරන්නේ පවතින නීති රාමුව ඇතුළේ අන්තවාදී මතවාද ප්‍රචාරය වීම වැළැක්වීමට ආණ්ඩුව කඩිනම් පියවර ගත යුතුයි. මේ අන්තවාදය ඉතාම බරපතළ තත්ත්වයක්. ඒ නිසා එම මතවාදය පෝෂණය වීම වැළැක්වීමට ආණ්ඩුව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගත යුතුයි.

රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා ආරක්‍ෂා කරනවායැයි විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වෙනවා. ජනතා විමුක්ති පෙරමුණට කිසිවකු ආරක්‍ෂා කිරීමට වුවමනාවක් නැහැ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ කාගේවත් මුදල්වලට, බලයට යටත් වෙන පක්‍ෂයක් නොවෙයි. අපි ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අපරාධ ගැන හෝ පුද්ගලයන් ගැන පරීක්‍ෂණ කරන ආයතනයක් නොවෙයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();