Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සසුනඹර එළිය කළ සෝභිත සඳ මඬල

(මාදුළුවාවේ සෝභිත හිමිගේ 77 වන ජන්ම දින සැමරුම නිමිත්තෙනි.)

විටෙක උන් වහන්සේ සසුනඹර එළිය කළ සොඳුරු සඳ මඬලකි. විටෙක උන් වහන්සේ සදහම් ඔසුවෙන් මිනිස් සිත් සතන් සුවපත් කළ අපූරු ජීවකයෙකි.

එමතු ද නෙවේ මිනිස් සුවඳින් පිරි අභිමානවත් දේශයක් උදෙසා අපගේ මව්බිමට අපරිමිත රුව ගුණ සමුදාය වචනයට නැඟීම ද ඉතා අසීරු උත්සාහයකි.

ස්වකීය ශාසනික මෙහෙවරට නොදෙවෙනිව නිහඬ සමාජ සේවකයෙක් ලෙස ද උන් වහන්සේ කැප වී ක්‍රියා කළහ. පන්සලට ලැබෙන සියලු තෑගි භෝග දුගී ජනතාවට ලබාදීම ද උන් වහන්සේගේ සුපුරුදු දින චර්යාවක්ම වූහ.

උන් වහන්සේ වැඩ සිටි කෝට්ටේ නාග විහාරය, සියලුම ආගම් සහ ජනවර්ගවල ජනතාවට විවෘතව පැවතීම ද සුවිශේෂ ලක්ෂණයකි. එවන් දර්ශනයක් අන් කවර විහාරස්ථානයකවත් මා දැක නැත. සැබෑ ආගමික සහජීවනය එමඟින් විශ ද විය. අනුරාධපුර දුෂ්කර මායිම් ගම්මානයක් වූ ඇලපත්ගම දිළිඳු පවුල් 153කට තම දායකයන්ගේ අනුග්‍රහය ඇතිව නිවාස තනාදීමට ද උන් වහන්සේ ක්‍රියා කළහ. දැනට ඉන්දියානු රජය රුපියල් මිලියන 300ක මුදලක් එම නිවාස වැඩි දියුණු කරගැනීමට ලබා දෙන්නේ උන් වහන්සේට ගරු කිරීමක් වශයෙනි.

එසේම සාධාරණ සමාජයක් සඳහා ජනතාව පෙළගස්වමින් රට දැය සුරක්ෂිත කිරීමට උදාර නායකත්වයක් ලබාදීමට උන් වහන්සේ කිසි විටෙකත් පසුබට නොවූහ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාව වෙනුවෙන් අභීතව පෙරට ආ උන් වහන්සේ රටට ප්‍රජාතන්ත්‍රවාදී සාරාර්ථ දිනාගැනීමට රට පුරා වැඩම කොට ජනතාව දැනුවත් කරමින් සමාජ පෙළගැස්මක් නිර්මාණය කළහ.

දැඩි අව් රශ්මිය මැද පා ගමනින් පාර්ලිමේන්තු වට රවුම අභියසට වැඩම කොට 19 වන ව්‍යවස්ථාව සම්මත වනතුරු නොයමියි වදාළ සේක. නිදහස් අධිකරණයක් නිදහස් පොලිසියක් නිදහස් රාජ්‍ය සේවයක් නිදහස් මැතිවරණ සහ තොරතුරු දැනගැනීමේ පනත ද විගණන පනත යනාදී ප්‍රජාතාන්ත්‍රික සිහින සැබෑ කර ගන්නට උන් වහන්සේ හදවතින්ම කැප වූහ.

එහෙයින් එකී සිහින පල නොදරා පර වී යෑමට ඉඩ නොදීම පාලකයන්ගේ පරම වගකීමකි. මන්ද වත්මන් පාලකයන් බලයට පත් වූයේ උන් වහන්සේගේ පිහිටෙන් මිස පුද්ගල පක්ෂ මත වූ සුවිශේෂ හැකියාවක් නොවන නිසාය.

බලයට පත් වූ පසු තමා බලයට පත් වූයේ කෙසේ දැයි අමතක වීම බොහෝ පාලකයන්ගේ සිරිතකි. ‍එසේ වුවද එකී විසල් ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවලට පණ නොදෙන්නේ නම් අදාළ පාලකයන් සේම අදාළ ආණ්ඩුව ද අතිශයින්ම ලැජ්ජා විය යුතුය. කෙසේ වුවද නිදහස් අධිකරණයක් ස්ථාපිත වීම පිළිබඳව යම් සොම්නසක් අප තුළ අැතත් අනෙකුත් සියලු ආයතන ශක්තිමත් කිරීමට සෝභිත හිමියන්ගේ කරමතින් බලයට පැමිණි ඇතැයි පාලකයන් අසමත්වීම පිළිබඳව අතිශය සියුම් වේදනාවක් 'සාධාරණ සමාජයක්' ආරම්භක සාමාජිකයෙක් ලෙස දැනෙන බව හෘදයාංගමව සටහන් කරමි.

උන් වහන්සේ ප්‍රාර්ථනා කළ ලෝකය අන්ධකාරයෙන් වැසී යන්නට ඉඩ නොදී තම ජාතික වගකීම ඉටු කිරීමට නොපමාව එක්වන ලෙස ද දේශමාමක ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

නීතිඥ රවී ජයවර්ධන
සභාපති
මාදුළුවාවේ සෝභිත හිමි
ගුණානුස්මරණ පදනම

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();