Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිසුවාගේ මරණයට සැකපිට දොස්තරට සිතාසි

හේමන්ත ඩෙප්

රෝගයට අදාළ ඖෂධය නිර්දේෂ නොකොට වැරැදි ඖෂධයක් දීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව මිය ගියේ යැයි කියනු ලබන කළුඅග්ගල ශාන්ත ජෝන් විද්‍යාලයේ 7 වසර ඉගෙනුම ලබන සිසුවකුගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකළ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය සිද්ධියට අදාළ වෛද්‍යවරයාට ලබන මස 15 වැනි දින අධිකරණය වෙත පෙනී සිටීමට සිතාසි නිකුත් කළාය.

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ කොස්ගම අකරවිට ප්‍රදේශයේ පදිංචි මීපේ ගමගේ පසිඳු මධුහංස නමැති වයස එකො‍ළහමාරක පමණ දරුවෙකි.

Dyslceratasiy Congenita නමැති ඇටමිඳුලු වලින් පට්ටිකා නිෂ්පාදනය අඩුවීමේ රෝගකාරක තත්ත්වයක් මත රුධිර සාම්පල තිස්දහසකට අඩුවීම හේතුකොටගෙන පසුගිය මාර්තු 12 දා කොළඹ රිජ්වේ ළමා රෝහලට මෙම දරුවා යොමුකර ඇත. අනතුරුව සිය දරුවා වෙත ලබාදිය යුතු නියමිත ඖෂධ වෙනුවට අධික සැර ලාදුරු හා ක්ෂය රෝගය උදෙසා ලබාදෙන ඖෂධ නිර්දේශ කිරීමෙන් එය දරුවා වෙත සති 2 ක් තුළ ලබාදීමෙන් පසු දැඩි රෝගී තත්ත්වයක් මතු වූ බව පියා පවසයි. එහිදී දරුවාගේ පියා වෛද්‍යවරයා හමුවී එම තත්ත්වයන් පැහැදිලි කිරීමෙන් පසුව ලබාදුන් ඖෂධ වට්ටෝරුව පරීක්ෂා කිරීමේදී වැරැදි බෙහෙතක් ලබාදී ඇති බව එම වෛද්‍යවරයා පිළිගත් බවත් මියගිය එම දරුවාගේ මව වන විජේකෝන් මුදියන්සේලාගේ චම්පිකා කුමාරි (35) යන අය සාක්කි දෙමින් පැවැසුවාය.

කොළඹ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වන එම්. එන්. රූහුල් හක් මහතා එම දරුවාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දරුවාගේ මරණයට යම් දායකත්වයක් ඖෂධ වට්ටෝරුවේ සඳහන්ව ඇති බව පැවසූ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක සිද්ධියට අදාළ කොළඹ රිජ්වේ ළමා රෝහලේ වෛද්‍යවරයා අධිකරණය වෙත ලබන මස 15 පෙනී සිටීමට සිතාසි නිකුත් කළාය.

තම දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බවත් ඒ අනුව සාධාරණ පරීක්ෂණයක් සිදුකරන්නැයි මියගිය දරුවාගේ මව අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කළාය.

කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේ පැවැති මියගිය දරුවාගේ සාක්කි විභාගයේදී දරුවාගේ මව වන විජේකෝන් මුදියන්සේලාගේ චම්පිකා කුමාරි (35) යන අය සාක්කි දෙමින් මෙසේද කීවාය.

මෙලෙස මියගොස් ඇත්තේ මගේ පළමු දරුවාය. ඔහුට Dyslceratasiy Congenita නමැති රෝගයෙන් පෙලුණා. එනිසා ඇටමිදුළුවල ප්‍රශ්න හේතුවෙන් නිසිපරිදි රුධිර පට්ටිකා නිෂ්පාදනය අඩුවුණා. ඒ නිසා දරුවා හොඳින් බලාගැනීමට වෛද්‍යවරු උපදෙස් දී තිබුණා. කිසියම් වෛරසයක් හැදුනොත් දරුවාට අමාරුවේයැයිද හොඳින් දරුවා බලාගන්න කියා තිබුණා. ඒ අතරතුරදී තිස් දහසකට වඩා රුධිර පට්ටිකා අඩුවූ නිසා බෙහෙත් ගත යුතු බව කියා තිබුණා. ඒ නිසා අප කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත දරුවාව ගෙන ආවා. 2019.03.12 වන දින Heanolo logy Clinic එකට දරුවා යොමුකරනු ලැබුවා. එහිදී වෛද්‍යවරයා බෙහෙත් ලබාදී තිබුණා. 2019.04.16 දින නැවත Dapsone නමැති ඖෂධයක් වට්ටෝරුවේ ලියා තිබුණා. එම ඖෂධය දින 14 ක් දරුවාට ලබාදීමට කටයුතු කළා. ඒ ඖෂධය ලබාදීමේදී දරුවා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වුණා. දරුවාව පරීක්ෂා කළ චන්දිමා තෙවරප්පෙරුම වෙත පෙන්වනු ලැබුවා. එහිදී අදාළ බෙහෙත් වට්ටෝරුව ගෙන පරීක්ෂා කිරීමේදී බෙහෙත වරදවා ඇති බව කියා සිටියා. ප්‍රතිකාර ලබමින් සිටින දරුවා 2019.05.23 දින මියගියා. මරණය පිළිබඳව මට සැකයි. සාධාරණ පරීක්ෂණයක් මම ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

අදාළ වෛද්‍ය වාර්තා හා සාක්කි සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි මහත්මිය මියගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා ලබන මස 15 වන දින අධිකරණයට කැඳවීමට සිතාසි නිකුත් කළාය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();