Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නෝර්වේ ව්‍යාපෘති වාර්තාවේ තොරතුරු පොතට සීමා නොකළ යුතුයි

Author(s): 
බුද්ධිකා ඉඹුලාන

නෝර්වේ රාජ්‍ය සමඟ එක්ව සිදු කළ ශ්‍රී ලංකාවේ මුහුදු සම්පත් ව්‍යාපෘති වාර්තාවේ ඇති තොරතුරු පොතකට සීමා නොකළ යුතු බව ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා කියයි.

ශ්‍රී ලංකාව සහ නොර්වේ රාජ්‍ය එක්ව සිදු කළ ලංකාව වටා සාගරයේ සම්පත් අධ්‍යයනය පිළිබඳ පර්යේෂණ වාර්තාව එළි දැක්වීම නිමිත්තෙන් කොළඹ 07, පදනම් ආයතනයේ දී පැවති උත්සවයේ දී රාජ්‍ය ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

1978 වසරෙන් පසු ශ්‍රී ලංකාව වටා මුහුදේ මෙවැනි ගවේෂණයක් සිදු කළ පළමු අවස්ථාව මෙය වේ. 2018 වසරේ ජුනි මස 23 වැනි දින සිට ජුලි මස 16 වැනි දින දක්වා පුරා දින 25ක් පුරා මේ සාගර ගවේෂණය සිදු කෙරිණි.

ඉතාමත් දියුණු තාක්‍ෂණික මෙවලම් සහ නවීන රසායනාගාර පහසුකම්ෙවලින් සමන්විත DR.Fridtjof Nansen නෞකාව මේ සාගර ගවේෂණයට එක් විය. එම ගවේෂණයෙන් ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ ඇති සාගර සම්පත් පිළිබඳ දත්ත බොහොමයක් රැස් කරගැනීමට හැකි වී ඇත. ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍ය අතර පවතින අන්තර් සහයෝගිතාව අනුව මේ ගවේෂණය සිදු කෙරිණෙ. ඒ සඳහා ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතනය [නාරා] ජලජීවී විද්‍යාඥයෝ ද, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීහු ද, නෝර්වේ ධීවර හා සාගර විද්‍යාඥයෝ ද ඇතුළු 75 දෙනෙක් මේ ගවේෂණයට එක්ව සිටියහ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

ශ්‍රී ලංකාවට අයිති මුහුදු සීමාවේ මත්ස්‍ය ගහනය සහ අනෙකුත් සාගර සම්පත් පිළිබඳව වසර ගණනාවකින් තොරතුරු සොයා බලා තිබුණේ නෑ. මේ සඳහා අපිට වුවමනාවක් තිබුණත් දක්ෂ විද්‍යාඥයන් හිටියත් අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ තිබුණේ නෑ. ඒ නිසා මේ අධ්‍යයනයන් හැමදාම කල් ගියා. මෙහි දී ලංකාවට සහායට ආවේ නෝර්වේ රාජ්‍යයයි. ඔවුන් මුහුදු පරිසරය පිළිබඳ සොයා බලන නවීන පහසුකම්වලින් යුත් ෆ්‍රිජෙෆ්නැන්සන් නැව ලංකාවට ලබා දුන්නා. ඔවුන් සමඟ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පරිසර පද්ධති සමීක්ෂණය සාර්ථකව සිදු කළා.

මේ ගවේෂණයේ දී අපේ මුහුදේ කොපමණ මත්ස්‍ය ගහනයක් පවතිනවාද කියන එක වගේම ඒ මොන ප්‍රදේශවල ද යන්න පිළිබඳවත් සොයා බලා තිබෙනවා. ඒ නිසා මම කියන්නේ මේ වාර්තාව පදනම් කරගෙන අපේ සාගරය මනා කළමනාකරණයකට ලක් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. මොකද අපේ ධීවරයාට ධීවර සම්පත නෙළාගැනීමට නොහැකි ලෙස විවිධ නීති ක්‍රියාත්මක වෙනවා. ඇත්තෙන්ම ලයිලා සුරුක්කු දැල් භාවිතය නිසා අපේ සුළු පන්න ධීවර ජනතාව මොනතරම් පීඩාවකට ලක් වෙලා ඉන්නවාද. ධීවරයන් දෙතුන් දහසක් නෙළාගන්න මාළු අස්වැන්න මේ ලයිලා සුරුක්කු දැල් භාවිත කරන්න අවසර අරගෙන ඉන්න ව්‍යාපාරිකයන් දෙතුන් දෙනෙක් ගසා කනවා. මෙය නැවැත්විය යුතුයි.

අද එළිදැක්වූ වාර්තාවට අනුව අපේ රටට අයිති මුහුදේ මාළු ප්‍රදේශ අනුව අඩු වැඩි වෙන බව පැහැදිලියි. ඒ මාළු අල්ලා ගන්න අපේ ධීවරයට නිවැරැදි, පහසු පන්න ක්‍රම හඳුන්වා දෙන්න අවශ්‍යයි. ලංකාවේ පළාත් අනුව මේ පන්න ක්‍රම වෙනස්. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ එක් නීතියක්. මේ නිසා ගැටලු මතු වෙලා. මම කියන්නේ මේ ගවේෂණයේ වාර්තාව අනුව රටට ආර්ථිකය උපද්ධන මේ ධීවර කර්මාන්තය වෙනුවෙන් ඒ ඒ පළාත් සඳහා නීති හඳුන්වා දී මත්ස්‍ය සම්පත වගේම අපේ ධීවරයා රැකගැනීමට කටයුතු කළ යුතුයි.

එහි දී නව තොරතුරු විශාල ප්‍රමාණයක් එක් රැස් කරගෙන තිබෙනවා. මුහුදේ භෞතික සම්පත් සහ මුහුදු ජලයේ රසායනික ද්‍රව්‍යයන්, විනාශකාරී ප්ලාස්ටික් නිසා සිදු වන සාගරික පරිසර දුෂණය පිළිබඳ දත්ත, මුහුදේ ජීවී කොටස්වල විවිධත්වය හා බහුලත්වය පිළිබඳ දත්ත, මසුන්ගේ ගහනතාව, බහුලත්වය පිළිබඳ දත්ත, මුහුදු ක්ෂීරපායින් පිළිබඳ දත්ත මේ අධ්‍යයනයේ දී හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව අවට මුහුදේ සාගරික තත්ත්වවල සංකීර්ණභාවය ද මේ පරීක්ෂණයේ දත්තෙවලින් පැහැදිලි වෙනවා. සාගරයේ ආහාර කළා. මාළු බෝවන ප්‍රදේශ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට මේ අධ්‍යයනයේ දී හැකි වී තිබෙනවා.ෙ

මේ අධ්‍යයනය කාල සීමාවේ ලංකාවේ වයඹ මුහුදු තීරය (කොළඹ සිට පුත්තලම දක්වා) වැඩි වශයෙන්ම විනාශකාරී ප්ලාස්ටික්වලින් දුෂිත මුහුදු තීරය ලෙස හඳුනා ගෙන තිබෙනවා. මේ අධ්‍යයනයේ දී ලංකාව වටා මුහුදේ මත්ස්‍ය ගහනය ටොන් එක්ලක්ෂය විසි දෙදහසක් බව ද සොයා ගෙන තිබෙනවා. මහද්වීපික තටාකයේ වෙසෙන මත්ස්‍ය ප්‍රමාණය ටොන් පනස් දහසක් පමණ බව ද සොයා ගෙන තිබෙනවා. ලංකාවේ නැඟෙනහිර වෙරළබඩ ප්‍රදේශය (ත්‍රිකුණාමලය සිට මඩකලපුව දක්වා ) ආවරණය වන පරිදි ප්‍රථම වරට මුහුදු ක්ෂීරපායීන් පිළිබඳ අධ්‍යයනයක් ද සිදු කර තිබෙනවා.

මෙහි දී විශේෂ 5කට අයත් මුහුදු ක්ෂීරපායීන් හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් නිල් තල්මසුන් ප්‍රධාන තැනක් ගෙන තිබෙනවා. මුළු නිරීක්ෂණයෙන් 72%ක්ම නිල් තල්මසුන් වීම ලංකාවට වෙස් වළා ගත් ආශිර්වාදයක්. මේ තල්මසුන් නැරැඹීමේ ව්‍යාපාරයෙන් අද වන විට ඉතා විශාල විදේශ විනිමයක් රටට ලබා දෙනවා. නමුත් එය වැඩි දියුණු කළ යුතුයි. මේ කටයුත්ත මුලින්ම ආරම්භ කිරීමට දායක වුයේ ධීවර අමාත්‍යාංශය මුලිකවයි. එමෙන්ම මා විසින් හඳුන්වා දුන් නිල් ආර්ථික වැඩපිළිවෙළෙන් මේ සම්පත් යොදා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක කර ගත යුතුයි.

කෘෂීකර්ම, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, නෝර්වීජියානු තානාපති Thorbjorn Gaustadsaether, ලෝක ආහාර හා කෘෂීකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත Nina Brandstrup මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();