Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ධර්මසේන පතිරාජ සමාජය නිවැරැදි මඟකට ගැනීමට උත්සාහ කළ සොඳුරු මිනිසෙක්

Author(s): 
චමීර ඇල්ලදෙණිය

ආචාර්ය ධර්මසේන පතිරාජ ජාතිවාදීන්ගේ නින්දා අපහාස විඳිමින් සමස්ත සමාජයම නිවැරැදි ගමන් මඟකට ගැනීමට උත්සාහ කළ සොඳුරු මිනිසකු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ ධර්මසේන සිනමාකරුවාගේ පළමු අනුස්මරණ වෙනුවෙන් පෙරේදා (28) චිත්‍රපට සංස්ථාව තරංගනී ශාලාවේ පැවැත්වූ සමරු දේශනයට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

පතී තීරණාත්මක අරගල වේදිකාවට ගොඩවැඳී නිවුණු ස්වරයෙන් ජනතාවට කරුණු පැහැදිලි කළ අති දක්ෂයෙක්. ධර්මසේන පතිරාජ සිනමාකරුවාගේ පළමු අනුස්මරණ දේශනය කරන්නට ආරාධනා කිරීම පිළිබඳව සතුටු වෙනවා. නමුත් මා වැන්නකුට වඩා සිනමාව පිළිබඳ දන්නා සුදුසු අය සිටින බව මා සිහිපත් කරනවා. දීර්ඝ කාලීන චිත්‍රපට පිස්සකු වුවත් සිනමාව ගැන විශේෂඥයකු ලෙස පෙනී සිටින්නට මා කැමැති නෑ. මේ දේශනයේ දී මම කලාවෙහි සෞන්දර්ය කාර්යය වැඩිමනක් සාකච්ඡා කරන්නට අදහස් කරනවා. මෙහි එන තර්ක ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වන්නේ කලාකරුවාගේ කාර්යය සමඟයි.

ධර්මසේන පතිරාජ හෙවත් පති ගැන කරුණු තුනක් මට සිහි වෙනවා. එකක් නම් 2015 ජනවාරි ජනාධිපතිවරණයට සමාජ ප්‍රජාතන්ත්‍රකරණය ගැන ලංකාව පුරා යමින් අප කළ ඇතැම් සංවාදවල දී පතී ද වේදිකාවේ සිටීමයි. එවන් රැස්වීම් කිහිපයක දී පතීත් මමත් කතා කළා. ජනප්‍රිය කතිකයන්ගේ කථන විලාසය යම් පමණකට භාවිත කළ හැකි මා උස් හඬින් කතා කළා. නමුත් පතී කතා කළේ නිවුණු සංසුන් ස්වරයක්. තීරණාත්මක අරගල වේදිකාව නැඟ සිටියත් පතීගේ කතා ස්වරයෙහි වුයේ එක්තරා නොඇලුණු ස්වරයක්. ආචාර්ය ධර්මසේන පතිරාජ මධ්‍යස්ථ වූද, දුරස්ථ වූද නිරීක්ෂණයකු ලෙසත් තලතුනා උගතකු ලෙසත් කතා කළා. දේශපාලන කාරණාවල දී ඉතා හැඟීම්බර වන ජනතාවක් සිටින අප රටට මේ නොඇලුණු දුරස්ථ ස්වරයේ සංවාදය ඉතා අවශ්‍යයි. විවිධ ආකාරයේ ජාතිවාදීන්ගේ අපමණ නින්දා අපහාස විඳගෙන ඒ නොඇලුණු ස්වරයෙන් අත්නොහළ කිහිප දෙනකු අප අතර සිටීම භාග්‍යයක්. පතී මිය යන්නට මාස කිහිපයකට පෙර පතී වෙනුවෙන් පළ කළ දොරටු වඩින උත්සවයක් තිබුණා. එහි දී විනාඩි හතක පමණ කතාවක් කළ පතී ජනාධිපතිවරයාගේ ඉදිරියේම වැදගත් අදහස් කිහිපයක් ඉදිරිපත් කළා. එය ඇසු මා පතීට දුරකතනයෙන් කතා කළා. එය මා පතීට දුන් අවසන් දුරකතන ඇමතුමයි. පතී ඒ කතාවේ මූලික වශයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ජාතිවාදී භික්ෂූන් අටවන උගුල්වල නොවැටී සිටින ලෙසයි. එනම් සිවුරට ඇති ගෞරවය නිසා ම භික්ෂු සංස්ථාවේ සිටින සියලු භික්ෂූන් වෙත අවිචාරාත්මකව ළං නොවී විචාරාත්මක දුරස්ථභාවයක් පවත්වාගන්නා ලෙසයි.

තුන්වන සිද්ධිය පතීගේ අවමංගල උත්සවයේ ස්වාභාවයයි. එය ආගමික චාරිත්‍ර අනෙකුත් ආගමික ස්වරූපයේ වතාවත්වලින් තොර වූවක්. ආගම සේම ලෞකිකවාදය සම්බන්ධයෙන් ද දුරස්ථභාවයක් පවත්වා ගන්නා මේ තර්කයට හසු නොවන චාරිත්‍ර විධිවලින් තොර මනුෂ්‍ය ජවයක් පැවැති හැකි යැයි විශ්වාස නොකර නමුත් පතීගේ අවසන් කැමැත්තට ගරු කළා.

ලංකාවේ අද නිර්මාණකරණයෙහි යෙදෙන කලාකරුවාට පමණක් නොව සංස්කෘතික ක්‍රියාධරයාට ද අදාළ වන වැදගත් දෑ පතීගේ ජීවන චරිතයේ තිබෙනවා. එය උකහා ගන්නේ නම් කලාව ජනතාව වෙනුවෙන් තවත් සෞන්දර්යාත්මක ප්‍රගතියක් තිබේවි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();