Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රාථමික සෞඛ්‍ය සැලසුම් ජනතාවට සමීපවීම තවත් විධිමත් විය යුතුයි

මූලික ප්‍රාථමික සෞඛ්‍ය සැලසුම් ජනතාවට සමීප වීම තවත් විධිමත්ව ක්‍රියාත්මක විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ 144 වැනි විධායක මණ්ඩල රැස්වීම අමතමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 144 වන විධායක මණ්ඩල රැස්වීමේ සමාරම්භක උත්සවය අමතමින් ඇමැතිවරයා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී මේ බව ප්‍රකාශ කළේය. පසුගිය 24 වැනි දා ආරම්භ වූ විධායක මණ්ඩල රැස්වීම පෙබරවාරි මස 01 වැනි දා අවසන් වීමට නියමිතය.

එහි දී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසුවේය.

ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වන සංවර්ධනය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරිපත් කළ වාර්තාව අතිවිශිෂ්ටයි. දකුණු සහ නැඟෙනහිර ආසියානු රටවල් වෙනුවෙන් එම වාර්තාව ඉදිරිපත් කිරීම වෙනුවෙන් මම අධ්‍යක්ෂ ජනරාල්වරයාට ස්තූතිය පළ කරනවා. ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පසුගිය දශක කිහිපයේ සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකි වුණා. බෝ වන රෝග මැඬ පැවැත්වීමට හැකියාව ලැබීම එහි දී වැදගත් වෙනවා. ඇතැම් රටවල් තවමත් එම ක්‍රියාවලියේ නිරතව සිටිනවා. බෝ නොවන රෝග සෞඛ්‍ය ක්ෂේත්‍රයට අභියෝගයක්. ඒ කෙ‍රෙහි අවධානය යොමු කළ යුතුයි. සමස්ත ලෝකයම මුහුණ දෙන අභියෝගයක් වන බෝ නොවන රෝග මැඬ පැවැත්වීමට ගෝලීය වශයෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. එම ක්‍රියාමාර්ගවලට අදාළව සාර්ථක ප්‍රතිඵල ලැබෙන අතර තවත් ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට නියමිතයි. දකුණු සහ නැඟෙනහිර ආසියානු කලාපයේ දී විශ්වීය සෞඛ්‍ය ආවරණයට ගැළපෙන අයුරින් බෝ නොවන රෝග මැඬ පැවැත්වීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මූලික ප්‍රාථමික සෞඛ්‍ය සැලසුම් ක්‍රියාත්මකවීම තවත් විධිමත් විය යුතුයි. බෝ නොවන රෝග සම්බන්ධයෙන් ජනතාවට සමීප වන බිම් මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. රෝග වැළැක්වීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිර්මාණාත්මකව ක්‍රියාත්මක විය යුතුයි.

මූලික සෞඛ්‍ය පිළිබඳව දකුණු සහ නැඟෙනහිර ආසියානු කලාපයේ ප්‍රතිසංස්කරණ සිදු වෙමින් පවතිනවා. එහි දී ශ්‍රී ලංකාව දෙස බැලීමේ දී සෑම ශ්‍රී ලාංකිකයකුටම පවුලේ වෛද්‍යවරයා සංකල්පය හඳුන්වාදීමට ලැබීම ඉතා වැදගත්. නිදහස් සෞඛ්‍ය සේවාවෙන් ජනතාවගේ මුදල් පසුම්බියට වාසිදායක තත්ත්වයක් උදා කිරීමට අපට හැකි වුණා. ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් පෞද්ගලික සහ රාජ්‍ය අංශය සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය ආරක්ෂණ සේවා ලබාදීමටත් එය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වෙනවා. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ද දියුණු කරමින් තිරසර සංවර්ධනයකට ගෙන යෑමට කටයුතු කරනවා. තව ද මානසික සෞඛ්‍ය නඟා සිටුවීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ගෝලීය ක්‍රියාමාර්ග රැසක් ද ක්‍රියාත්මකයි. එහි සාර්ථකත්වය ළඟා කරගැනීමට තවත් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. මානසික සෞඛ්‍ය නඟා සිටුවී‍මට අවධානය යොමු කර ඇත්තේ සෞඛ්‍ය සම්පන්න ශරීරයක් නොව, සෞඛ්‍ය සම්පන්න ශරීරයේ සෞඛ්‍ය සම්පන්න මනසක් හිමි කරදීමයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();