Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මත්ද්‍රව්‍ය නිවාරණයට ජනපති ගත් එඩිතර තීරණ අගය කරනවා

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාවලියේදී රට වෙනුවෙන් එඩිතර තීන්දු තීරණ ගත් ජනාධිපතිතුමා හෙට අනිද්දා අපි කාටත් දැන ගන්න පුළුවන් ආකාරයේ තවත් තීන්දු තීරණ කීපයක් ගැනීමට සූදානමින් සිටිනවා යැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පසුගියදා (25දා) පොළොන්නරුවේදී පැවසීය.

ආණ්ඩුකාරවරයා ඒ බව පැවසුවේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ පාසල් සතිය වෙනුවෙන් පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති පස්වන දින වැඩමුළුවට සහභාගි වෙමිනි. එහිදී සරත් ඒකනායක මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන අද රට පුරා ක්‍රියාත්මක වන්නේ මේ රටේ රාජ්‍ය නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උදාරතර අදහසක් අනුවයි. එතුමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටිද්දී විවිධ පාර්ශ්වයන්ගේ හා පුද්ගලයන්ගේත් ව්‍යාපාරිකයින් සහ ලෝකයේ විවිධ සංවිධානයන්ගේ බලපෑම්වලට යටත් නොවී ඉතාමත්ම අභියෝගාත්මක තීන්දු තීරණ ගත්ත කෙනෙක්. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත වූ බලපෑම් ඇතිවෙනවාය කියලා දුම් වැටි මේ රටෙන් ඉවත් කිරීමේ සේනක බිබිලේ වාර්තාවේ තිබුණු කරුණුවලට දේශපාලනය පැත්තෙනුත් යම් යම් අවහිරතා ඇතිවෙන වේලාවෙත් එතුමා නොසැලී නිර්භීතව ඒ තීන්දු තීරණ ගත්තා. ඒ තීරණ ජනතාව අතරට ගෙන එන විට ඒ අවස්ථාවේදී අපිට දැනුනේ නැතිව ඇති, ඒ ගැන අපි හිතන්නවත් විශ්වාස කරන්නවත් නැතුව ඇති, ඒකෙන් විශාල බලපෑමක් රටේ ඇතිවෙයි කියලා. අද වර්තමානය වන විට රටේ කිසිම ප්‍රසිද්ධ ස්ථානයක හෝ බස් රථයක සිගරට් දුම්වැටි පාවිච්චි වෙන්නේ නෑ. මේ එතුමා එදා ගත්ත දැවැන්ත තීරණයේ ප්‍රතිඵලයක් විදියටයි මම දකින්නේ. මේ ගත්තු තීරණයන් එක්ක, හපලා කන දුම්කොළවලටත් මේ තීන්දු තීරණ වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම අපි සතුටු වනවා පාසල් දරුවෝ දුම්වැටිවලින් ඈත්වීම ගැන. මේ අපේ රටේ අනාගතය සඳහා එතුමා ගත්ත දැවැන්ත පියවරක් විදිහට අපිට එය හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා.

වර්තමානය වන විට අපි කතා කරන සිගරට්, මත්පැන්වලට පරිබාහිරිව ලෝකයේ තිබෙන විවිධ මත්ද්‍රව්‍ය අපේ රටේ සමාජයට එකතුවෙලා තියෙනවා. ඒවා සමාජයට එකතුවෙන්න හේතුව සොයා බැලුවෝතින් මුදල තමා මුල් වෙලා තියෙන්නේ. මුදල් පසුපස තමයි අපි වැඩි දෙනෙක් හඹා යන්නේ. ඒ යුගය අද යහමින් උදාවෙලා තියෙනවා. වැඩියෙන් පොහොසත් වෙන්න මඩිය තරකර ගන්න රටට හඳුන්වා දුන්න මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය අද අපේ රටේ මහා ව්‍යසනයක් බවට පත්වෙලා හමාරයි.

ඒවා අපේ රටට ගේන අය ගැන සොයා බැලුවෝතින් ඒ කිසි කෙනෙක් ඒ ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ. ඒ අය පාවිච්චි කරන්නේ එයින් ලැබෙන මුදල පමණයි. ඒ නිසා ඒ ව්‍යසනකාරීත්වය නැති කිරීමට නීතිරීති තවදුරටත් ගෙන ආ යුතුයි. ඒ නීති අකුරටම ක්‍රියාත්මක කිරීමට බිය නැති රාජ්‍ය නායකයෙකුත් අද අපට ඉන්නවා. මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා එතුමා අපි කාටත් දැනගන්න පුළුවන් ආකාරයේ තීන්දු තීරණවලට එළඹීමට නියමිතව තියෙනවා. ඒ අනුව මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට දෙන්නට පුළුවන් උපරිම දඬුවම් දීලා එය නැති කරන්න සූදානම්. මේ මත්ද්‍රව්‍ය නිවාරණ කටයුත්තේදී අපි විවිධ දේශනවලට සවන් දෙනවා.

විවිධ ආයතන මේ කටයුත්තේදී පෙරමුණට ඇවිත් ලොකු කුඩා අපිට දැනුවත් කිරීම් කළත්, දුවේ පුතේ ඔබට තිබෙන ඒ පුළුල් අවස්ථාව රටේ වැඩිහිටියන්ට ලබා ගන්න බෑ. මම එහෙම කියන්නේ වැඩිහිටියෝ හිතන පතන හා නිර්මාණ හැකියාවන් සඳහා ආපස්සට හැරෙන්න දැන් ඔවුන්ට අපහසු නිසා. ඔවුන්ව යම් දේශනයකට, වැඩමුළුවකට ගෙනත් දැනුම්වත් කළත් එතනින් නැගිටලා යනවිට ඒ දේ වැඩිදුර ගෙනියන්නේ නෑ. එයාලට ඒවා අමතක වෙනවා ඒ වුණත් දූව, පුතාලා වන ඔබට ඒ දේ කරන්න පුළුවන්.

පාසලේදී මෙන්ම මව්පියන්ටත් සමාජයටත් ආදර්ශයක් දෙමින් ජීවත්වන්නට පුළුවන් දරුවෝ විදියට මේ ව්‍යසනයෙන් රට මුදාගන්න හැකියාවක් තිබෙන බව අපි පිළිගන්නවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කල්පනා කළේ මේ පිළිබඳව දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මක කරන අතරේ අපේ දරුවන්ටත් මේ පණිවිඩය දීලා ඔවුන් මගින් සමාජය නිවැරදි තැනට ගෙනියන්න ඕනෑ කියලා මේ පාසල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ආරම්භ කළේ. ඒ සතිය තුළ විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ පාසල් දරුවන් දැනුවත් කරන්න කටයුතු කර තිබෙනවා. ඒ තුළින් සමාජය යහපත් කරන්නට නම් දරුවනි පළමුව අපි අපිට ආදරය කරන්න ඕනෑ.

පොළොන්නරුව මහ දිසාපති පණ්ඩුක අබේවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා පොළොන්නරුව රාජකීය විද්‍යාලය එක්ව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනට සමගාමීව සංවිධානය කළ පාසල් පාදක මෙම වැඩමුළුවට පා ගමනක් ද පැවැත් වූ අතර වැඩසටහන පුරාවට පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සරත් ජයසිංහ, තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික දංගම්පොල , පොළොන්නරුව නගරාධිපති චානක රණසිංහ, පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ බාහිර සේවා නිලධාරි තිළිණ ජයවර්ධන, පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරි වසන්ත කස්තුරි ආරච්චි, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරත් ගුණසිංහ යන මහත්වරු ඇතුළු මාධ්‍යවේදීහු පිරිසක් හා සිසු සිසුවියෝ දහසකට වැඩි ගණනක් එක්ව සිටියහ.

ලංකාපුර එච්.එල්.ද සොයිසා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();