Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වාස් ගුණවර්ධන ඇතුළු පිරිසගේ අභියාචන පෙත්සම විභාගය පෙබරවාරි 6දා

Author(s): 
නෙල්කා මැදගෙදර

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම නියමව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහ‍ුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු හයදෙනකු එම මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා ‍ගොනුකර ඇති අභියාචන පෙත්සම පෙබරවාරි මස 06 වැනිදා කැඳවීමට පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ‍ඊයේ (29) තීරණය කෙළේය.

එම නඩු ගොනුවට අදාළ එතෙක් මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදී නැති ලියකියවිලි මෙම ජනවාරි මස 31 හෝ ඊට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙන ලෙස මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කරන ලදී.

සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන යන පංචපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම අභියාචන පෙත්සම් ඊයේ (29) කැඳවන ලදී. එහිදී විත්තිකාර අභියාචකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ඇතුළු නීතිඥ මඬුල්ල පෙන්වා දුන්නේ මෙම මුල් නඩු විභාගයට අදාළ ලේඛන 85ක් ඇති බවය. එහෙත් එම ලේඛනවලින් 11ක් පමණක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඬුල්ල කළ කැඳවීමකට අනුව මහාධිකරණ රෙජිස්ට්‍රාර් උපුල් නන්දන සහ ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර් ප්‍රදීප් මහමුතුගල යන මහත්වරු අධිකරණය හමුවෙහි පෙනී සිටියහ.

ඒ අනුව අදාළ ලේඛන වහාම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස මහාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියම කළ අතර එම කටයුතු සඳහා සහාය දක්වන ලෙස නිතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සහ විත්තිකාර අභියාචකයන්ගේ නීතිඥවරුන්ට නියම කෙරිණි.

බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් දොම්පේ ප්‍රදේශයේදී 2013 මැයි 22 හෝ ඊට ආසන්න දිනයකදී මරාදැමීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.

එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරුමඬුල්ල විත්තිකරුවන් අදාළ චෝදනාවන්ට වැරැදිකරුවන් බවට තීරණය කෙළේය. 2015 නොවැම්බර් මස 27 ප්‍රකාශිත එම නඩු තීන්දුව මගින් වාස් ගුණවර්ධන, රවිදු ගුණවර්ධන, කැලුම් රංග දිසානායක, ඉන්දික බමුණුගේ, ගාමිණී සරත්චන්ද්‍ර, ප්‍රියංක සංජීව යන විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරන ලදී.

එම මහාධිකරණ තීන්දුව දෝෂ සහිත බැවින් එය බල රහිත කර තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();