Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 101ක ජයක්

තරගාවලියත් 5-0කින් දිනයි

නායක උපුල් තරංග සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ලට ගොඩනැගූ ද්විත්ව ශතක සබඳතාව හේතුවෙන් සංචාරක අයර්ලන්ත ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමග ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 101ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිල සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 7ක් දැවී ලකුණු 403ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය අයර්ලන්ත ‘ඒ’ පිල ලකුණු 302කට දැවී ගියේය.

ලකුණු 404ක දැවැන්ත ඉලක්කය හඹායෑම ඇරැඹු අයර්ලන්ත ‘ඒ’ පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජෙම්ස් මැක්ලම් පළමු කඩුල්ල ස්ටුවට් තොම්ප්සන් (30) සමග ලකුණු 52ක් සහ සිමි සිං (41) සමග ලකුණු 59ක සබඳතා ගොඩනැගීය. ලකුණු 43ක් රැස්කළ මැක්ලම් දෙවැනි කඩුල්ල ලෙස දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 111ක් විය. ඉනිමේ වැඩිම ලකුණුලාභියාවූ නීල් රොක් ලකුණු 78ක් සහ ලෝකන් ටකර් ලකුණු 53ක් රැස් කළද කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ. පන්දු යැවීමේදී අසේල ගුණරත්න කඩුලු 4ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අවිශ්ක ප්‍රනාන්දු සහ උපුල් තරංග පළමු කඩුල්ලට ලකුණු 206ක සබඳතාවක් පිහිටවූහ. ක්‍රේග් යං එම සබඳතාව නිමාකළේ වේගවත් ලකුණු 112ක් රැස්කළ ප්‍රනාන්දු දවා ගැනීමෙනි. හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් එල්ල කළ ප්‍රනාන්දු වැය කළේ පන්දු 94ක් පමණි. දෙවැනි කඩුල්ල ලෙස නායක තරංග දැවී ගියේ මුළු ලකුණු 274ක්ව තිබියදීය. අසේල ගුණරත්න සමගින් දෙවැනි කඩුල්ලට ලකුණු 68ක්ද එක්කළ තරංග ලකුණු 120ක් රැස්කර තිබිණි. පන්දු 108කට මුහුණදුන් ඔහු හතරේ පහර 15ක් සහ හයේ පහරකින් ඉනිම සරසා ගත්තේය. මේ ක්‍රීඩකයන් දෙදෙනාම ඊයේ රැස්කළේ මේ තරගාවලියේ දෙවැනි ශතකයන්ය. 38 වැනි ඕවරයේ පළමු පන්දුවෙන් තරංග දවාගත් ගැරිත් ඩෙලනි ඊළඟ පන්දුවෙන් ගුණරත්නගේ (25) ඉනිම නිමා කළේය.

ඉනිම අවසානයේ වේගවත් ඉනිමක් දියත් කළ චතුරංග ද සිල්වා ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 400 සීමාවට ගෙන ගියේ පන්දු 23කින් ලකුණු 50ක් රැස් කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය. ඔහු, දසුන් ශානක සමගින් එක්ව 5වැනි කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් පිහිටවූයේ පන්දු 27ක් පමණක් වැය කරමිනි. ශානක ලකුණු 39කට දැවී ගිය අතර ඉසුරු උදාන පන්දු 10කින් ලකුණු 22ක් ඉනිමට එක් කළේය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල - 403/7යි. (ඕවර 50) උපුල් තරංග 120, අවිශ්ක ප්‍රනාන්දු 112, චතුරංග ද සිල්වා 50 (ගැරිත් ඩෙලනි 58/3, පීටර් චේස් 57/2)

අයර්ලන්ත ‘ඒ’ පිල - 302යි. (ඕවර 50) නීල් රොක් 78, ලෝකන් ටකර් 53 (අසේල ගුණරත්න 51/4)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();