Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අය-වැය නැති ක්‍රීඩා සංගම් 27දාට පෙර විගණන වාර්තා සකස් කළ යුතු බවට නියෝග

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

මූල්‍ය ප්‍රකාශ සැඟවූ හිටපු භාණ්ඩාගාරිකට එරෙහිව දැඩි පියවර

පසුගිය වසරවල විගණිත මූල්‍ය ප්‍රකාශ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කර නොමැති ක්‍රීඩා සංගම් නියමිත පරිදි මූල්‍ය ප්‍රකාශ සකසා ලබන මස 27 වැනිදාට පෙර විගණකාධිපති දෙපාර්තමේන්තුවට යැවිය යුතු යැයි ක්‍රීඩා අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කරයි. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති විශේෂ රැස්වීමකදී මෙතෙක් මූල්‍ය ප්‍රකාශ විගණනය කර නොමැති නෙට්බෝල්, හොකී, බැඩ්මින්ටන්, ජිම්නාස්ටික්, කායවර්ධන, ජූඩෝ හා චෙස් යන ජාතික සංගම්වල නිලධාරීන්ට මේ නියෝග නිකුත් කොට ඇත.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල, ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදේශකයෙක් හා විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන් හා ක්‍රීඩා සංගම් ප්‍රධානීහු මේ රැස්වීමට එක්ව සිටියහ.

මූල්‍ය ප්‍රකාශ විගණනය නොකළ සංගම්වල නිලධාරීන්ට හිටපු භාණ්ඩාගාරික (වරලත් ගණකාධිකාරී සුදුසුකම් ඇති) මූල්‍ය ප්‍රකාශ ලබාදී නොමැති නම් ඔහු හෝ ඇය වෘත්තීය ආචාර ධර්ම කඩ කළ අයෙක් බවට ඔහුගේ සේවයට අදාළ ආයතනයට පැමිණිලි කිරීමට ද තීරණය විය. උදාහරණයක් ලෙස හිටපු භාණ්ඩාගාරික නීති වෘත්තියට අයත් නම් නීති සංගමයට දැනුම්දීමට ක්‍රියා කරනු ඇත.

එයට අමතරව රාජකාරිය පැහැර හැරීම හා මූල්‍ය ප්‍රකාශ සඟවා තබා ගැනීම යටතේ පොලිසියට පැමිණිලි කොට එම හිටපු භාණ්ඩාගාරිකවරයාට හෝ භාණ්ඩාගාරිකවරියට එරෙහිව සිවිල් නීතිය යටතේ කටයුතු කිරීමට ද තීරණය විය. එවැනි අවස්ථාවකදී මූල්‍ය ප්‍රකාශ ලබා නොදීමේ වරදට අධිකරණය මගින් වරදකරු කරනු ලැබුවහොත් හිටපු භාණ්ඩාගාරිකවරයාට සිර දඩුවම් විදීමට සිදුවේ.

එමෙන්ම වසර දෙකක් තුළ විගණිත මූල්‍ය ප්‍රකාශ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කර නොමැති ක්‍රීඩා සංගම්වලට ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලු අනුග්‍රාහකත්වයන් අත්හිටුවීමටත් තීරණය කර ඇත.

එහිදී එම සංගමය යටතේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කරන කරන බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර ඇත.

ජාතික ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ගේ ධුර කාලය ඉක්ම ගියද විගණිත මූල්‍ය ප්‍රකාශ නොමැතිව නිලවරණ නොපවත්වා ඇතැම් අය එම තනතුරුවල දිගින් දිගටම රැදී සිටීම නීති විරෝධී බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙයට පෙර අවස්ථා කිහිපයකදී ලිපි මගින් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇතත් ප්‍රතිචාරයක් නොවුණි.

වසර 3ක් තිස්සේ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය පවත්වා ගැනීමට නොහැකිව සිටින අතර එහි පරිපාලන කටයුතු වරින් වර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතට පත්වුණි.

බැඩ්මින්ටන් ගිණුම් වාර්තා විගණනය නොවීමට අමතරව නිලවරණය සම්බන්ධව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරී පිරිසක් විසින් නඩුවක් ගොණුකර තිබිණි. නිලවරණය පවත්වා ගැනීමට නොහැකිවූ බැඩ්මින්ටන් පරිපාලනය තවමත් අතුරු කමිටුවක් මගින් පාලනය වේ.

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමෙන් කල් ගිය අතර තවමත් එම සංගමයේ මූල්‍ය වාර්තා විගණනයවී නොමැත.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය නීත්‍යානුකූල නොවන ලෙස පවත්වාගෙන යෑමෙන් ක්‍රීඩාව පරිහානියට පත්වන බව එම සම්මේලනයේ විධායක සභිකයන් පිරිසක් පෙන්වාදී තිබියදී නිලවරණය නොපවත්වා වසර ගණනාවකට පෙර පත්වූ නිලධාරීන් දිගින් දිගටම කටයුතු කරමින් සිටිති. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණයට අදාළ නිලවරණ කමිටුව ලබන මස 10වැනිදා පත්කර ගන්නා ලෙස දැනුම් දුන්නද, එහි ගිණුම් වාර්තා තවමත් විගණනය වී නැත.

ජූඩෝ සංගමය වසර ගනනාවක් තිස්සේ ආදායම් වියදම් පිළිබඳ වාර්තා අනුබද්ධ සාමාජික සංගම් වෙත ලබාදී නොමැති අතර මූල්‍ය ප්‍රකාශ විගණනය කොට වාර්ෂික මහා සභාවක් හෝ පැවැත්වීම පැහැර හැර ඇතැයි චෝදනාවකි. ශ්‍රී ලංකා චෙස් සංගමයටද ඇත්තේ ගිණුම් වාර්තා විගණනය නොකිරීමේ චෝදනාවකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();