Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තෙවැනි තැනට එති

Author(s): 
ෆවුස් මොහොමඩ්

පිලිපීනයට එරෙහිව දැවැන්ත ලකුණු 40-12ක ජයක් වාර්තා කරමින් ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ හොංකොං හි පෙරේදා නිමාවට පත්වූ පළමු අදියරේ තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. පසුගිය වසරේ හොංකොං තරගාවලියේදි පස්වැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ තුන්වැනි ස්ථානය අත්කර ගැනීම කැපී පෙනුණි.

හොංකොං රාජ්‍යයේ හැපි වැලි නුවර හොංකොං පාපන්දු සංගම් ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියේ කුසලාන වටයේ අවසන් පූර්ව තරගයෙන් සත්කාරක හොංකොං පිල හමුවේ ලකුණු 31-0ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම පිලිපීනයට එරෙහිව පැවැති තුන්වැනි ස්ථානය සඳහා වූ තරගයේදි විශිෂ්ට දස්කම් දක්වමින් ගෝල් 5ක් සහ උත්සාහක දිනුමක් වාර්තා කළේය.

තරගය ආරම්භයේදීම නවීන් හේනකංකානම්ගේ තැබූ අනගි උත්සාහක දිනුමක් නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු ලබාගැනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු භාගය නිමාවෙද්දී ලකුණු 21-7කින් පෙරමුණ ගත්තේය. දෙවැනි භාගය ආරම්භයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ බාධා කිරීම් මැඩ පවත්වමින් දනුෂ දයාන් අගනා උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ඊට මොහොතකට පසු හිඩැස් අතරින් වේගයෙන් රිංගා යමින් බුද්ධිම පියරත්න තැබූ උත්සාහක දිනුම කැපී පෙනේ. සුදම් සූරියආරච්චි, දිනුක් අමරසිංහ, සහ නායක සූරියබණ්ඩාර සෙසු උත්සාහක දිනුම් වාර්තා කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායම කුසලාන වටයේ අවසන් පූර්ව තරගයට එක්වූයේ පෙරේදා උදෑසන පැවැති මූලික වටයේ අවසන් තරගයේදී චීන තායිපේ කණ්ඩායම ලකුණු 33-12කින් පරාජය කරමිනි. කුසලාන වටයට එක්වීමේ තීරණාත්මක තරගයක් වු බැවින් ශ්‍රී ලංකා පිල ආරම්භයේ සිටම ක්‍රීඩා කළේ මනා සැලසුමක් ඇතිවය. පළමු භාගයේදීම ප්‍රතිවාදින් දැඩි පීඩනයකට ඇද දැමූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 21-0කින් පළමු භාගය නිමා කළහ. තරගයේ පළමු මිනිත්තුවේදීම බුද්ධිම පියරත්න මීටර් 35ක් පමණ දිවගොස් තැබූ අගනා උත්සාහක දිනුම කෙවින් ඩික්සන් විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීය.

අනතුරුව සිය මංගල ජාත්‍යන්තර තරගාවලියට ක්‍රීඩා කරන දිනුක් අමරසිංහ පිට පිට උත්සාහක දිනුම් 2ක් තැබීමට සමත්විය. ඉන් පළමු උත්සාහක දිනුම සුදම් සූරියආරච්චි ගෝලයක් බවට ප්‍රවර්තනය කළ අතර දෙවැනි උත්සාහක දිනුම කෙවින් ඩික්සන් විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කළේය. දෙවැනි භාගයේ ආරම්භයේ චීන තායිපේ ක්‍රීඩකයන් තරමක් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරතවෙමින් පිට පිට උත්සාහක දිනුම් දෙකක් තැබුවත් අනතුරුව දනූෂ දයාන් සහ නවීන් හේනකංකානම්ගේ උත්සාහක දිනුම් දෙකක් තබා ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු කළේය.

හොංකොං තරගාවලියේ කුසලානය දිනා ගනු ලැබුවේ ජපාන කණ්ඩායම විසිනි. අදියර තුනකින් යුතු ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ දෙවැනි අදියර මේ මස 29 සහ 30 දෙදින දකුණු කොරියාවේ පැවැත්වෙයි. අවසන් අදියරේ තරගාවලිය ලබන ඔක්තෝබර් මස 13 සහ 14 කොළඹ දී පැවැත්වීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();