Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගමක් වැනසීමට හොර නඩය යළි සැරසෙයි.

Puththalama

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් 606 මනතිව් ග්‍රාම නිළධාරි වසමේ පිහිටා ඇති  විලුක ගම්මානයේ ඉවක් බවක් නොතකා දිගින් දිගටම පවත්වාගෙන යනු ලැබු නීති විරෝධි මහා පරිමාණ බොරළු ජාවාරමක් හේතුවෙන් ප්‍රදේශය පුරාවට  උග්‍ර පාරිසරික ගැටළු රැසක් උද්ගතව ඇති බවට අප පසු ගිය කාල පරිච්ඡේදයන් තුළ දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ අප අනාවරණය කිරීමත් සමඟ බළධාරින්ගේ ඇස් ඇරෙන්නට විය.

නමුත් නැවතත් රජය සතු ඉඩම් සඳහා රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ග්‍රාම නිළධාරි, ඉඩම් සංවර්ධන නිළධාරි, භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශයේ සංවිධානාත්මක හොර නඩය ජනතාවගේ ඇස් බන්දවා එකී ඉඩම් සඳහා ව්‍යාජ පිඹුරු සකසමින් පුද්ගලික හිමිකරුවෙකු වෙත අදාළ රජය සතු බොරළු නිධි ලබා දීම සදහා ක්ෂේත්‍ර චාරිකාවක නිරත වන්නට විය.

එයට සිය විරෝධය පාමින් කොට්ඨාශය භාර මන්ත්‍රීවරයා ප්‍රමුඛ ගම්මානයේ ජනතාව 30ට ආසන්න පිරිසක්  නිළධාරින්ට දැඩි විරෝධය එල්ල කර කියා සිටියේ අදාල ප්‍රදේශය නිරික්ෂණය කිරීම හෝ සිදු නොකරන ලෙසය. නමුත් පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණි ඉඩම් සංවර්ධන නිළධාරි වසම භාර ග්‍රාම නිළධාරි ඇතුළු අනෙක් පැමිණි සහ සංවිධානාත්මක බොරළු ජාවාරම් කරුවන් පිරිස එක්ව ගොස් නිරික්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කලේ ජනතාවගේ හඩ තුට්ටුවකටවත් මායිම් නොකර ජනතාවද බියට පත්කරවමිනි.

වැටයි නියරයි දෙකම ගොයම් කද්දි කාට කියන්නද කියන්නා සේ නිළධාරින්ගෙ පදයට නටන්නට සිදුවන්නේ නිළධාරින් සතුව ඇති රාජ්‍ය බලය පමණක් නොව මැරබලයටද බියගුළුව කටයුතු කිරීමට ජනතාවට සිදුව තිබීම නිසාවෙනි.

පුත්තලම සහ වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශ වලට මධ්‍යස්ථව පිහිටා ඇති විලුක නම් ගම්මානයේ පවුල් 100ට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර ඔවුන්ගේ සිය ජීවනෝපාය බවට පත්ව ඇත්තේ කෘෂි කර්මාන්තය සහ ධීවර කර්මාන්තයයි. ඊට අමතරව  හුදෙක් පිරිසක් කුලී කම්කරුවන් ලෙසද, වතු සහ විවිධ සේවා ස්ථානයන් වල සේවයේ නියතු වෙමින් දෛනිකව ආදායම් සරිකර ගන්නා බවද කියති.

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වටිනාකමින් ඉහළ අගයක් ගන්නා  මෙම ප්‍රදේශය පුරාවටම බොරළු නිධි පිහිටා තිබීම එහි ඇති සුවිශේෂ වූ විශේෂත්වයක්ව තිබේ. මෙකී බොරළු කැණීම් කිරීම සදහා 1971 වර්ෂයේ සිට මේ දක්වා දේශපාලන පිල්මාරුවෙන් බිහිවන දේශපාලඥයින්ගේ නොමද සහය ඇතිව පරිපාලන අංශයේ හොර සක්විත්තන්ගේ මගපෙන්වීමෙන් මෙකී ඉඩම් සදහා ව්‍යාජ බල පත්‍ර සකසමින් බොරළු ජාවාරම්කරුවන් ඉවක් බවක් නොතකා දිගින් දිගටම මහා පරිමාණයෙන් බොරළු කැණීම සිදු කරගෙන ගිය බවට ප්‍රදේශවාසීන් මැසිවිලි නගති.

අනූ නව අවුරුදු බදු බල පත්‍ර යටතේ සහ වාර්ෂික බදු බල පත්‍ර යටතේ බොරළු සහිත වූ  මෙකී  ඉඩම් සංවර්ධනය කරගෙන යන මුවෙන් අදාළ බොරළු ජාවාරම් කරුවන් පුත්තලම ප්‍රදේශිය ලේකම් කාර්යාලය මඟින් ලිඛිත හෝ වාචික අවසරය  ලබා ගැනීමෙන් අනතුරුව කාර්යක්ෂම බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මහා පරිමාණයෙන් බොරළු කැණීම් කිරීම සිදු කර ඇත්තේද? එවකට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් ලබා දී තිබූ බල පත්‍ර නීති රීති සම්පූර්ණයෙන් උල්ලංඝණය වන අයුරිනි.  

එවකට අළුයම් කාලයේ සිට ගොම්මන් අඳුර වැටෙනතුරු සිදු කරගෙන යනු ලබන මෙම මහා පරිමාණ බොරළු ජාවාරම සදහා දිනකට ටිපර් රථ 50ට ආසන්න ප්‍රමාණයක් යොදා ගන්නා අතර,  එක්  ටිපර් රථයක් වාර දහයක් ඉක්මවා බොරළු ප්‍රවාහනයේ යෙදෙනු බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

පරිසර ආඥා පනතට පටහැනිව සිදුකරගෙන යනු ලැබු මේ මහා පරිමාණ බොරළු ජාවාරම නිසාවෙන් මේ වන විට පොළව පිහිටි මට්ටමේ සිට අඩි විස්සක්, තිහත්  අතර ප්‍රමාණයක් ගැඹුරට කැණීම්  කර බොරළු ලබා ගැනීම නිසාවෙන් ප්‍රදේශය පුරාවට විශාල ප්‍රමාණයේ වළවල් සෑදීම හේතුවෙන් මේ වන විටත් මිනිස් ජීවිත තුනක් අහිමිව ගොස් ඇති බව ගම්මුන් පවසති.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මගින් නිකුත් කරනු ලබන නීති රීති කොන්දේසි වල පෙන්වා දී ඇති පරිදි කුමන හෝ ස්ථානයක කැණීම්ක් සිදු කිරීමෙන් අනතුරුව නැවත එම ස්ථානය පස් යොදා පිරිවිය යුතු යැයි සදහන් කර තිබුණද, එකී නීති රීති තුට්ටුවකටවත් මායිම් නොකරන මෙකී හොර ජාවාරම් කරුවන් කිසිදු බියකින් තොරව මෙම මහා පරිපමාණ බොරළු ජාවාරම සිදු කරගෙන ගොස් තිබූ බව කියයි.

මෙම හොර බොරළු ජාවාරම් කරුවන්ට දේශපාලඥයින්ගේ මෙන්ම පරිපාලන අංශයේ නොමද සහය නිරන්තරයෙන්ම ලැබුන බවටයි ජනතාව මැසිවිලි නගන්නේ.

මේ හේතුව නිසාවෙන් මේ වන විටත් අක්කර 100ට ආසන්න ප්‍රමාණයක මහා පරිමාණයෙන් කැණීම් සිදුව තිබියදීත් එයට කිසිදු බළධාරියෙකු නීතිය ක්‍රියාත්මක නොකර මුණීවත රැකීම බරපතල ගැටළු සහගත තත්ත්තවයක් බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් කළ විමසුකදී අදහස් දැක්වූ  ජේ.ඒ.රෝහන ලක්ෂ්මන්,

අපි මේ බොරළු ජාවාරමට තදින්ම අපේ විරෝධය පල කරනවා මොකද අපි කුඩා කාලෙ ඉදලම මේ ගමේ සිද්ධ වුණේ මේ මහා පරිමාණ බොරළු කැපිල්ල මේකට ඒ කලේ ඉදලා හොරු ටික කෙල හාලාගෙන හිටියෙ අපි කුඩා කලේ ඉදලම මේ වෙනකම් කෙරුවෙ බොරළු ටික කපාගෙන හොරුන්ගෙ සාක්කු පුරවගෙන අපේ ගමේ පාරවල් ටික කඩලා බිදලා දාලා ගිය එක තමයි. මේකට අපේ ගමේ ඉන්න දෙන්නෙක් තුන්දෙනෙක් වග කියන්න ඕනෙ සම්පූර්ණයෙන්ම මොකද ඒයාලත් මේ ජාවාරම පිටුපසින් හිටියා ඒ කාලේ. හැබැයි මෙදා සැරේ අපි බළධාරින්ට කෙලින්ම කියන්නෙ. හැංගිලි වෙස් බදින්න එපා එළිපිට නටන්න වෙන්නෙ. කියන එක විතරක් මතක තියා ගන්න. මේ ළගදි අපේ ගමේ කව්රුත් දන්නෙ නැහැ. එක පාරටම ගමේ ග්‍රාම සේවකයි. ඒ.ජී. ඔෆ්ෆිස් එකේ ඉඩම් අංශයෙ ලලිත් කියන කෙනයි භූ විද්‍යා එකේ අයයි. තව පිරිසකුයි ඇවිල්ලා මේ රජයේ බොරළු ඉඩමකට අලුතින් බල පත්‍ර දෙන්න ඇවිල්ලා අපි දන්නෙත් නැහැ පස්සෙ අපි ගමේ ඔක්කෝම එකතු වෙලා මේකට විරෝධය පල කරද්දි ඉඩම් අංශයෙ මහත්තයා කිව්වා ඔයාලට විරෝධය පල කරන්න කිසිම දෙයක් මෙතන වෙන්නෙ නැහැ අපි බොරළු කපන්න නෙමෙයි ආවේ බොරළු වලට බල පත්‍රය දෙන්න කියලා මේක මහ හතර බිහිරිඩ කතාවක්නෙ.

මේ සම්බන්ධයෙන්  කළ විමසුකදී අදහස් දැක්වූ ජේ.ඒ. සුරංග,

අපි මේ බොරළු ජාවාරමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි ඒකට හේතුව තමයි ගම වළක් කරන්න අපිට දෙන්න බැහැ රජයේ ඉන්න ගොන් මොට්ටලයන්ට මෙව්වා තේරෙන්නෙ නැහැ ඕනෙම කෙනෙක් ඇවිල්ලා බලන්න අපේ ගමේ බිම් අඟලක් නැහැ මුඩු ඉඩමක් කියලා හැම ඉඩමටම මේ වගේ රජයේ හොරු ටික එකතු වෙලා හොරට බල පත්‍ර හදලා කරන්නෙ බොරළු කපන එක රටේ ජනාධිපති තුමා හරි මේ ප්‍රවෘත්තිය බලලා අපිට සහනයක් ලබා දෙන්න කියලා අපි ඉල්ලන්නෙ ඉතාමත්ම අවංකව වෙන මිනිස්සු වගේ අපි ගෙවල් හදලා ඉල්ලන්නෙ නැහැ. ණය ඉල්ලන්නෙ නැහැ අපි ඉල්ලන්නෙ අපේ ගම රැකලා දෙන්න කියන ඉල්ලීම විතරයි.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ උසිත නිරෝෂන්,

මම ඒ කාලේ ඉදලා මේ බොරළු ජාවාරමට දැඩි ලෙස විරෝධය කරපු කෙනෙක් අවසානේ මාව බොරළු ජාවාරම් කාරයො ටිපර් එකෙන් යට කරන්නත් ආවා ඒ විතරක් නෙමෙයි ගෙවල් දොරවල් කඩනවා ගිනි තියනවා කියලා උන්ගෙ මැරබලය උපරිම පාවිච්චි කරනවා අපි මේ බොරළු ජාවාරමට විරුද්ධ වුනොත් ඒත් කරන්න දෙයක් නැහැ අපිව මැරුවත් අපි මේ කෑ ගහන්නෙ අපේ ගම වෙනුවෙන් මේ හොර නඩයට තකට තක කියා ගත්තු ගමේ ග්‍රාම සේවක, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ ඉඩම් අංශයෙ මහත්තයා සම්පූර්ණයෙන්ම මේවට වග කියන්න ඕනෙ මොකද ඒ මිනිස්සු මේ ගම්වල මිනිස්සු නෙමෙයි කොහෙවත් ඉදලා බෑග් එක කරේ ගහගෙන ඇවිල්ලා මේ රක්ෂාව කරලා ආපහු ගෙදර යන ඒක ඒ මිනිස්සු කරන්නෙ. එහෙම කියලා බොරළු ජාවාරම් කාරයන්ගෙන් කීයක් හරි අත මිට මොලව ගත්තා කියලා අපේ ගමක් මේ විදියට විනාශ වෙන්න දෙන්න බැහැ. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම මේ බොරළු ජාවාරමට විරුද්ධයි. අපේ ගමේ ඉඩමක් නැති මිනිහෙක් බොරළු වලේ පදිංචි වෙන්න ඕනෙ කියලා ලියුමක් දුන්නොත් එහෙම ඔය කියන ග්‍රාම සේවකලා ඉඩම් අංශයෙ මහත්වරු කඩාගෙන බිදගෙන ඔය විදියට එයිද කවදාවත් එන්නෙ නැහැ. හැබයි මොණර කොළ දෙක තුනක් පෙන්නුවොත් කඩාගෙන බිදගෙන එයි කියන එක නියතයි.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ වසම භාර ප්‍රාදේශිය සභා මන්ත්‍රී එස්.රවී කුමාර්,

මම මේ කොට්ඨාශයෙ මන්ත්‍රී විදියට මම ජනතාවට සේවය කරලා වැඩක් නැහැ මේ ගමේ මහා පරිමාණයෙන් මම දන්න දා ඉදලා බොරළු කැපිල්ල සිද්ධ වුණා. ඒ හේතු කිහිපයක් ඇතුව එකක් හොරු හොරාට කැපුවා. තව දෙයක් රජයෙ නිලධාරින් හොරුන්ට උදව් කරලා කැපුවා. අන්න ඒ විදයට නමුත් පසු ගිය වසරේ මට මතක විදියට මුල් මාසේ රජයේ පුවත් පතක් වන දිනමිණ පුවත්පතේ පල කරපු ලිපිය නිසා මේ හොර බොරළු ජාවාරම සම්පූර්ණයෙන්ම නැවතිලා නිළධාරින්ට කර කියා ගන්න දෙයක් නැතුව ගියා නමුත් දැන් ආයෙත් රජයේ නිළධාරි ටික එකතු වෙලා සතර කම්මන්ත්‍රණ කර කර කොහෙවත් නැති මිනිහෙකුට බොරළු කපන්න අවසරය දෙන්න කියලා ගමේ මිනිස්සුන්වත් බය කරගෙන අපිටත් ශබ්දෙ දාගෙන බලය හොබවනවා. මම බලයට ඇවිල්ලා එච්චර කල් නැහැ. නමුත් මම ජනතාවට විශාල සේවයක් කරන්න බලාපොරොත්තුවෙන් දේශපාලනවට ආවා මිසක් ජනතාවගෙ සල්ලි හොරා කන්න ආපු කෙනෙක් නෙමෙයි කියලා පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ ඉඩම් අංශයේ ලලිත් මහත්තයටයි වසමෙ ග්‍රාම සේවකටයි මම ජනතාව ඉදිරියෙම කිව්වෙ මෙයාලගෙ දෙබිඩි පිලිවත මට බලාගෙන ඉන්න බැරි තැන. මොකද මම බලවට ඇවිල්ලා මාසයක් යන්න කලින් මේ ගමේ ඉන්න හිටින්න ගෙයක් නැති මිනිස්සු 80 – 100 විතර ඉන්නවා ඒ සියලු දෙනාගෙම ඉල්ලීම් ලිපි සකස් කරලා මම ප්‍රාදේශිය ලේකම් කාර්යාලට දුන්නා ඔය කලින් බොරළු කපපු තැන් ටික මට්ටම් කරලා අසරණ ජනතාවට නිවාස ව්‍යාපෘතියක් හදලා දෙන්න කියලා ඉඩම් අංශයෙ මහත්තයා කිව්වා එව්වා රජයෙ ඉඩම් බලන්න ඕනෙ කියලා ඒ කියලා බලන්න ආවෙත් කැමැත්තකින් නෙවේ. හැබැයි මේ බොරළු හොරුන්ට බොරළු කපලා ගම විනාශ කරන්න දෙන්න විනාට පහක් යන්නත් කලින් ආවා ඇවිල්ලා ඔක්කොම බලලා හදලා අපි විරුද්ධ වුණේ නැත්නම් එවලෙම බොරළු කපන්න දෙන තැනට මේ නිළධාරි  වැඩ කෙරුවා. මෙව්වා සහගහන අපරාධ ගමක් වනසලා තනි පුද්ගලයෙකුගෙ සාක්කුව පුරවන්න හදනවා කියන්නෙ.

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් කළ  විමසුකදී අදහස් දැක්වූ පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයේ ලලිත්,

අපි අද ආවේ බොරළු කපන්න නෙමෙයි බොරළු කපන්න බල පත්‍රයක් දෙන්න බලන්න කරුණාකරලා අපේ රාජකාරියට බාධා කරන්න එපා අනික මෙතන මාධ්‍ය සංදර්ශණ පවත්වන් අපිට කිසි උවමනාවක් නැහැ. ඒක මතක තියා ගන්න යනු වෙනි.

මේ සම්බන්ධයෙන් වසම භාර ග්‍රාම නිලධාරි වරයාගෙන් කළ විමසීම,

ප්‍රශ්ණය:- ඔය බොරළු කැපිල්ල සදහා දෙන්න යන ඉඩමට බල පත්‍රයක් තියෙනවාද? ඒකෙ අක්කර කොච්චරද?

පිළිතුර:- මට මතක විදියට ආ…හ්ම් අක්කර තුනක් විතර තියෙනවා මම හිතන්නෙ. බල පත්‍රයක් තාම නිකුත් කරලා නැහැ ඉඩම් කච්චේරියට යොමු කරලා තියෙනවා තවම කාගෙ නමකටවත් බලපත්‍ර කිසිවක් නැහැ රජයෙ ඉඩමක් මේක.

– පුත්තලම ප්‍රියංකර කළුපහන

 

The post ගමක් වැනසීමට හොර නඩය යළි සැරසෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();