ලංකා පාපන්දු පිල දකුණු ආසියා පාපන්දු ශූරතාවලියට මුහුණදීම සදහා මේ වනවිට බංග්ලාදේශයේ සංචාරයක නිරතවී සිටියි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, පාකිස්තානය, නේපාලය හා භූතානය තරගවදින මෙම ශූරතාවලියේ මෙතෙක් සිටි ඇෆ්ගනිස්තානය පසුගිය වසරේ සිට ඉවත්ව ගියේය. ශ්‍රී ලංකාව ‘ඒ‘ කාණ්ඩයෙන් ඉන්දියාව හා මාලදිවයින සමග මූලික වටයේදී සටනට පිවිසෙන අතර එයින් එක් තරගයක් හෝ ජයගෙන අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.
සම්පත් පෙරේරාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පාපන්දු පිල වසර 1995දී දකුණු ආසියානු පාපන්දු ශූරතා ‘රන් කුසලානය‘ දිනාගත් පසු තවමත් එම ශූරතාව දිනා ගැනීමට සමත්වී නොමැති හෙයින් ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ ජයග්‍රහණයේ පිපාසයකින් පසුවේ. 1993දී අවසන් මහා තරගයට පිවිසි ශ්‍රී ලංකාව ඉන් වසර දෙකකට පසුව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ශූරතාව දිනා ගත්තේ අද මෙන් විශාල පහසුකම් මැද නොවේ.
එදා ඉන්දියාව ගෝල් 1-0කින් පරාජය කොට ශ්‍රී ලංකාව ලැබූ ජයග්රහණයෙන් පසුව එක් ක්‍රීඩකයෙකුට තෑගි වශයෙන් ලැබුණේ රුපියල් 22000ක් වැනි මුදලකි. එදා තරගාවලියේ වීරයා ලෙස ‘ගෝල්ඩන් බූට්‘ සම්මානය මොහොමඩ් අමුනුල්ලාට හිමිවූ අතර හොදම ගෝල් කීපර් ලෙස ‘ගෝල්ඩන් ග්ලව්‘ සම්මානය ලලිත් වීරසිංහට පිරිනැමුණි. බ්‍රසීල ජාතික ජෝජ් පෙරෙයිරා හා මාකෝස් පෙරෙයිරා යන මහත්වරුන්ගේ පුහුණුව යටතේ ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයෝ ජයග්‍රහණය වාර්තා කළ අතර ඉන් පසුව විදෙස් පුහුණුකරුවන් කිහිපදෙනකුම ශ්‍රී ලංකා කණ්ඩායමට මාර්ගෝපදේශ ලබා දුන්නද ප්‍රතිඵලයක් නොවීය.
වසර 23ක කාලයකදී දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී නොමැත. ඉන්දියාව දකුණු ආසියා පාපන්දු ශූරතාව 7ක්වතාවක් දිනා ඇති අතර, ශ්‍රී ලංකාවෙන් පාපන්දු ක්‍රීඩාව ප්‍රගුණ කළ මාලදිවයින එක් වතාවක්ද, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය එක් වතාව බැගින් ද, දකුණු ආසියා පාපන්දු ශූරතාව දිනා ගත්හ. නේපාලය, භූතානය හා පාකිස්තානයට තවමත් දකුණු ආසියා පාපන්දු කිරුළ පැලදීමේ අවස්ථා උරුමවී නැත.
මෙවර දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වරම සුභාෂ් මධුෂාන්ට හිමිව ඇත. 27හැවිරිදි ඔහු නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු පෙළ පාපන්දු තරගවලදී ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙකු ලෙස දස්කම් දැක්වූවෙකි. විදෙස් තරගාවලි කිහිපයකටම එක්වූ ඔහුගේ අත්දැකීම් ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල ශක්තියක් වනු ඇතැයි විශ්වාස කෙරේ.
ශ්‍රී ලංකා පිල මෙවර වයසින් අඩු ක්‍රීඩකයින් කිහිපදෙනකුම එක්කොට ඔවුන් කෙරෙහි වැඩි බලාපොරොත්තු තබා ඇත. වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩකයින් 12ක්ම ශ්‍රී ලංකා පාපන්දු පිලට ඇතුලත්ව සිටිති. එයින් එක් අයෙකු පාසල් වයසේ පසුවන ක්රීඩකයෙකුවීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා පිලේ හිටපු දීප්තිමත් ක්‍රීඩකයෙකුවූ රුමී පකීර් අලී මහතා ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස එක්ව ඇති අතර ගෝල් කීපර් පුහුණුකරු සම්පත් බණ්ඩාර, අභ්‍යාසක මොහොමඩ් බසිත් ඔහුගේ සහයට බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටිති.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මාස 6කට වැඩි කාලයක් සියලු පහසුකම් ලබාදී කණ්ඩායමට නිසි පුහුණුවක් ලබාදී ඇති අතර, විශාල මුදලක් වැයකොට කොරියාවේ හා ජපානයේ පුහුණු සංචාර දෙකක්ද ලබාදුනි. ඒ සියලු දේ සොයා බැලීමට ජාතික පාපන්දු කළමනාකරණ කමිටු සභාපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි, කළමනාකරු සුනිල් සෙනවීර, ක්‍රීඩක කමිටු සභාපති හා ජාතික පාපන්දු කළමනාකරණ කමිටු උප සභාපති රෝහිත ප්‍රනාන්දු යන මහත්වරු කණ්ඩායම සමග නිරන්තරව කටයුතු කළහ.
දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය තවත් දින කිහිපයකින් ආරම්භවන බැවින් කලකට පසුව ‘රන් කුසලානය‘ ශ්‍රී ලංකාවට ගෙන එනු ඇතැයි සියලු දෙනා තුල ඇත්තේ බලවත් විශ්වාසයකි. එය බංග්ලාදේශයේ ඩකා නුවර බංගබන්ධු ක්‍රීඩාංගණයේදී යථාර්තයක් බවට පත්කිරීමේ වගකීම ඇත්තේ ජාතික පාපන්දු පිලේ ක්‍රීඩකයින්ට පමණි.
0 Comments