Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හොඳම කාලය වාර්තා කළත් හතරදෙනාම 4 වැනියෝ

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

රගර් පිල අරාබිය පරදවයි

දහඅට වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවෙන් බලාපොරොත්තු අවසන් පදක්කමත් ඊයේ ගිලිහි ගියේය. ග්ලෝරා බුන් කර්නෝ ක්‍රීඩා සංකීර්ණ‍යේ මීටර් 400 සහාය ඉසව්වට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විනාඩි 3:02.74ක කාලයක් වාර්තා කළද කණ්ඩායම් 8ක් එක්වූ තරගයෙන් 4වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

කෙසේ වෙතත් මලල ක්‍රීඩා තරගවලදී ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් වූ ඉහළම දස්කමද මෙය වන අතර වසර 18කට පසු මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමක් වාර්තා කළ හොඳම කාලයද විය. ඊයේ තරගයේදී මේ ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා වාර්තාව අහිමිවී ගියේ දශම තුනකිනි.

මින් පෙර 2000 වසරේ ජාකර්තාහිදීම පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී විනාඩි 3:02.71කින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබිණි.

එම කණ්ඩායමට මහේෂ් පෙරේරා, වෙල්ලසාමි රත්නකුමාර, රංග විමලවංශ, රෝහාන් ප්‍රදීප් කුමාර ඇතුළත් වූහ.

තරගයෙන් අනතුරුව සහාය දිවීමේ කණ්ඩායම පැවැසුවේ එකට එක්වී පුහුණුවීම් කිරීමට අවස්ථාව හිමිවන්නේ නම් මීට වඩා දෙයක් කළ හැකි වනු ඇති බවයි. ශ්‍රී ලංකා වාර්තාව මෙන්ම පදක්කමක්ද අහිමිවීම කනගාටුවක් බවද ඔවුහු පැවැසූහ.

මේ කණ්ඩායමට අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පසිඳු ලක්ෂාන් කොඩිකාර සහ අජිත් ප්‍රේමකුමාර එක්ව සිටියහ.

මේ ඉසව්වේ රන් පදක්කම විනාඩි 3:00.56කින් තරගය නිමකළ කටාරය දිනාගත් අතර රිදී පදක්කම ඉන්දියාවටත් (වි.3:01.85 ), ලෝකඩ පදක්කම ජපානයටත් (වි. 3:01.94) හිමිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා පැවැති මූලික වටයේදී විනාඩි 3:06.66ක කාලයක් වාර්තා කළ අතර අවසන් තරගයේදී 3:02.74කින් ඉදිරියට පැමිණ තිබිණි.

ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරග ආරම්භ කරමින් ඊයේ ජී.බී.කේ. රග්බි පිටියේ ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් පිල පරාජය කළ ශ්‍රී ලංකාව දෙවැනි තරගයේදී කොරියාව හමුවේ පරාජයට පත්විය.

ලකුණු 68-0කින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල පරාජය කළ ශ්‍රී ලංකා පිල කොරියාව හමුවේ පරාජය වූයේ ලකුණු 31-26කිනි

තරගයේ පළමු භාගය 17-7ක් ලෙස පෙරමුණ ගැනීමට කොරියාව සමත් වූ අතර ආක්‍රමණශිලී ක්‍රීඩාවක නිරතවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි භාගයේදී ලකුණු 19ක් රැස්කළ අතර කොරියාව රැස් කළේ ලකුණු 14ක් පමණි.

එම තරගයේදී රීසා රෆායඩීන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ සුදම් ශූරියආරච්චි උත්සාහක දිනුමක් සහ පරිවර්ථනයක් බැගින් වාර්තා කළ අතර බුද්ධිම ප්‍රියරත්න උත්සාහක දිනුමක් ශ්‍රී ලංකා පිලට එක් කළේය.

එම තරගයේදී උත්සාහක දිනුම් 10ක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පරිවර්ථනයන් 9ක් සාර්ථක කර ගැනීමට සමත් වූහ. කවිඳු පෙරේරා උත්සාහක දිනුම් 3ක්, අනුරුද්ධ ශ්‍රීනාත් උත්සාහක දිනුම් 2ක් සහ පරිවර්තනයක්, දයාන් චන්ද්‍රදාස උත්සාහක දිනුම් 2ක්, සුදර්ශන මුතුතන්ත්‍රී උත්සාහක දිනුමක් සහ පරිවර්තනයක්, බුද්ධිම ප්‍රියන්ත උත්සාහක දිනුමක්, සුදම් සූරියආරච්චි උත්සාහක දිනුමක් සහ පරිවර්තනයක් 2ක් සාර්ථක කරගත් අතර තරිඳු රත්වත්ත පරිවර්තනයන් 6කින් 5ක් සාර්ථක කර ගැනීමට සමත් විය.

‘සී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව අද (23) ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග බිමට පිවිසෙන අතර එම තරගයෙන් ජයගත හොත් අද පස්වරුවේ පැවැත්වෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

මේස පන්දු කාන්තා කේවල ඉසව්වෙන් ඉෂාරා මධුරංගි ඊයේ රාත්‍රියේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයේ පසුවන චීනයේ වන්ග් මන්යු සමගින් ඊයේ රාත්‍රියේ 32 දෙදෙනාගේ වටයේදී තරග වැදුණු ඉන් මන්යු ට වට 4-0ක ජයක් අත්විය. තරගයේ ලකුණු තත්ත්වය වූයේ 11/8, 11/5, 11/8ක් සහ 11/1 කි.

මේ අතර මූලික වටයේ පිරිමි තරගයට එක්වූ උදය රණසිංහ තරග අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ප්‍රතිවාදී ක්‍රීඩක ලාඕසයේ සෝන්පසිත් මොසැංසිංට නිතරග ජයක් හිමිවිය.

ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් පිල නේපාලය සමගින් 13-16ත් අතර ස්ථානය සඳහා පැවැති තරගයෙන් 3-1ක ජයක් හිමිකර ගත්තේය. තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු වටය 25-23ක් ලෙස පෙරමුණ ගැනීමට නේපාල සමත්වූ අතර දෙවැනි වටයෙන් ලකුණු 25-16ක ජයක් ශ්‍රී ලංකාව සතු විය. තෙවැනි වටය 26-25කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිවුවැනි වටයෙන් 24-21ක ජයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකාව අද 13-14ත් අතර ස්ථානය සඳහා ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.00ට තරග වැදීමට නියමිතය.

ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටනින් ඉවත්වූ ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම ඊයේ ස්ථානයක් වෙන්කර ගැනීම සඳහා ඕමානය සමගින් පැවැති තරගයෙන් ගෝල් 5-2 කින් පරාජයට පත්විය. ඒ සමගින් කණ්ඩායම් 12ක් එක්වූ තරගාවලියේ ශ්‍රී ලංකාවට හිමිවූයේ 8 වැනි ස්ථානයයි.

චීනය රන් 100 පනී

ආසියානු ක්‍රීඩා උළෙලේ 11 වැනි දිනය නිමාවනවිට පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටින චීනය රන් පදක්කම් 100 සීමාව පසු කිරීමට සමත්ව සිටී. ඊයේ 12 වැනි දිනයට තරග ආරම්භ වනවිට චීනය රන් පදක්කම් 104ක් දිනා තිබිණි. ඔවුන් සමස්ත පදක්කම් 219ක් දිනා තිබුණේ රිදී 67ක් සහ ලෝකඩ පදක්කම් 50ක් සමගිනි. රන් 52ක් සමගින් ජපානය දෙවැනි ස්ථානයේ පසුවූ අතර දකුණු කොරියාව තෙවැනි ස්ථානයේ පසුවිය. සත්කාරක ඉන්දුනීසියාව සිවුවැනි ස්ථානයේ පසුවිය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();