නායිකාව චතුරාංගනී උප නායිකාව දර්ශිකා
ආසියානු නෙට්බෝල් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ක්‍රීඩිකාවන් 12 ප්‍රකාශයට පත් කිරීම අර්බුදයක් බවට පත් වෙයි. ජාතික නෙට්බෝල් තේරීම් කමිටුව ක්‍රීඩිකාවන් 12ක් හා අතිරේක ක්‍රීඩිකාවන් 3ක් ලබාදී තිබියදී මලාවී පුහුණු නෙට්බෝල් සංචාරයට එම ක්‍රීඩිකාවන් සියලු දෙනා සහභාගීවන බැවින් ආසියානු නෙට්බෝල් තරගාවලියට යන අවසන් කණ්ඩායම කුමක්ද යන්න ගැටලුවක්ව පවතී.
ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවන් 15ක් පුහුණු තරග 6ක් සඳහා අද මලාවී වෙත පිටත්වීමට නියමිත අතර ලබන මස 6 වැනිදා දක්වා එම සංචාරය ක්‍රියාත්මක වේ. එහිදී මලාවී ජාතික පිල සමග තරග දෙකක්, යොවුන් කණ්ඩායම සමග තරග දෙකක් හා ප්‍රධාන පෙලේ ක්‍රීඩා සමාජ දෙකක් සමග තරග දෙකක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සඳහා සිංගප්පූරුවට යන කණ්ඩායම පසුගියදා පැවැති තේරීම් තරගයකින් අනතුරුව නෙට්බෝල් තේරීම් කමිටුව නෙට්බෝල් සම්මේලනයට ලබාදී ඇති අතර, එහිදී මුල් පෙළේ ක්‍රීඩිකාවන් 12ක් නම් කොට ඇත. ඉතිරි තිදෙනා අතිරේක ක්‍රීඩිකාවන් ලෙස නම් කොට ඇති අතර ඔවුන් ආසියානු ශූරතාවලියට සිංගප්පූරුව බලා පිටත් නොවේ. එහෙත් සියලු ක්‍රීඩිකාවන් පුහුණු තරග සංචාරය වෙනුවෙන් මලාවී බලා රැගෙන යෑමට ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය තීරණය කොට ඇත.
මලාවී සංචාරයට ක්‍රීඩිකාවන් 15ක් හා අනතුරුව තවත් තේරීමේ තරගයක් පවත්වා අවසන් ක්‍රීඩිකාවන් 12ක් තෝරා දෙන ලෙස නෙට්බෝල් සම්මේලනය කණ්ඩායම තෝරා ගැනීමට පෙර නෙට්බෝල් තේරීම් කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කොට ඇති අතර එම ඉල්ලීම තේරීම් කමිටුව ප්‍රතික්ෂේප කොට ඇත.
මේ පිළිබඳව නෙට්බෝල් තේරීම් කමිටු සාමාජිකාවකගෙන් අප කළ විමසීමකදී පැවැසුවේ එම ඉල්ලීම සිදු කිරීමට කලින් අවසන් තේරීම බව හා ක්‍රීඩිකාවන් 12ක් තෝරා ගන්නා ආකාරය ක්‍රීඩිකාවන්ට නිවේදනය කොට තිබූ හෙයින් සම්මේලනයේ එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දැක්වීමට නොහැකි වූ බවය.
“අපිට කිව්වේ හොඳම 12ක් තෝරා දෙන ලෙසයි. අතිරේක ක්‍රීඩිකාවන් වෙනම නම් කළා. කලින්ම කිව්වා නම් 15ක් දෙනවා. අප වෙනදා කරන්නේ 12ක් හා වෙනම තවත් 3ක් තෝරා නම් කරන එකයි. සංචාරයට යා යුත්තේ මුලින් ලබාදෙන 12ක් පමණයි” තේරීම් කමිටු සාමාජිකාව පැවැසූවාය.
කෙසේ වුවද ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ නායකත්වයට අත්දැකීම් බහුල චතුරාංගනී ජයසූරිය හා උප නායිකාව ලෙස දර්ශිකා අබේවික්‍රම නම් කොට ඇත.
ශ්‍රී ලංකා නෙට්බෝල් පිල 2009දී මැලේසියාවේ පැවැති තරගාවලියේදී අවසන් වරට ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් අතර 2012 සිට 2016 දක්වා අවස්ථා තුනකදීම අනු ශූරයන් බවට පත්විය. මෙවර ශ්‍රී ලංකා පිල පුහුණු කිරීම තිලකා ජිනදාස මෙනවියට භාරවී ඇති අතර සහය පුහුණුකාරිනියක් පත්කර නොමැතිවීම විශේෂත්වයකි. ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට 9 වැනිදා දක්වා සිංගප්පූරු ක්‍රීඩා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියට යොමු කොට ඇති ශ්‍රී ලංකා නෙට්බෝල් පිල මෙසේය:
චතුරාංගනී ජයසූරිය (නායිකා), දර්ශිකා අබේවික්‍රම (උප නායිකාව), තර්ජනී සිවලිංගම්, ගයනී දිසානායක, සුරේඛා කුමාරී, තිළිණි වත්තේගෙදර, ගයාංජලී අමරවංශ, නවුජලී රාජපක්ෂ, දුලාංගී වන්නිතිලක, දුලාංගී ධනංජී, හසිතා මෙන්ඩිස්, ඒලියන්තිනී සේතුකාවලන් - රුවිනි යටිගම්මන, ශ්‍යාමලී රත්නායක, රෙසුරී විජේසුන්දර
0 Comments