කසුන් රාජිත - ප්‍රභාත් ජයසූරිය කණ්ඩායමට
සංචාරක දකුණු අප්‍රිකානු පිලට එරෙහිව මේ මස 29 දා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේදී ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල ඊයේ නම් කරනු ලැබීය.
මේ වසරේ මුල් භාගයේදී බංග්ලාදේශයේ පැවැති තුන්කොන් එක්දින තරගාවලියේදී ජාතික එක්දින හා විස්සයි20 කණ්ඩායම්වල නායකයා ලෙස යළි පත්වූ ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායම මෙහෙයවූයේ එක්දින තරග 2කට පමණි. ඉන් අනතුරුව මේ මුහුණුවර 2දීම නායකයා ලෙස කටයුතු කරනු ලැබුවේ ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් විසිනි. සිය ආබාධය නිසා මෙරට පැවැති නිදහස් කුසලාන තරගාවලිය ද මැතිව්ස්ට අහිමිවිය.
කෙසේවෙතත් අයි.සී.සී.යේ තරග තහනමකට ලක්වී සිටින ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් මේ කණ්ඩායමට ඇතුළත් නොවන අතර විනය විරෝධී හැසිරිමක් හේතුවෙන් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ද ක්‍රිකට් ආයතනයෙන් තරග තහනමක් පනවා ඇති බැවින් තරගාවලිය අහිමිවී තිබේ.
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අනුමැතිය යටතේ ඊයේ නම් කළ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට පිට දඟ පන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය සහ නවක වමත් දඟපන්දු යවන්නකු වන ප්‍රභාත් ජයසූරිය ඇතුළත් වෙති.
සුරංග ලක්මාල්, ළහිරු කුමාර සහ කසුන් රාජිත වේගපන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වී සිටින අතර තිසර පෙරේරා සහ දසුන් ශානක තුන්ඉරියව් ක්‍රීඩකයන් ලෙස කටයුතු කරති.
ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට 25 හැවිරිදි කසුන් රාජිත එක්වී සිටින්නේ පළමු වරටය. මීට පෙර ටෙස්ට් තරග 2කට සහ විස්සයි20 තරග 3කට ක්‍රීඩා කර ඇති කසුන් රාජිත මාතර සාන්ත සර්වේෂස් විදුහලෙන් බිහිවූ විශිෂ්ට වේගපන්දු යවන්නෙකි.
අවසන් වරට ශ්‍රී ලංකා පිල එක්දින තරගාවලියකට ක්‍රීඩා කළ බංග්ලාදේශ සංචාරයට එක්වූ වේගපන්දු යවන දුෂ්මන්ත චමීර සහ තුන්ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න කණ්ඩායමට ඇතුළත් වී නොමැත. එසේ වුවත් හෙට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් පී.සරා ඕවල් පිටියේ දී දකුණු අප්‍රිකානු පිල සමග පැවැත්වෙන එක්දින පුහුණු තරගයට අසේල ගුණරත්න එක්වී සිටී.
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව තරග 2-0ක ජයක් හිමිවූ ටෙස්ට් තරගමාලාවේ වීරයා බවට පත්වූ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න එක්දින පිලේ අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කර තිබේ. මීට අමතරව විනය විරෝධී හැසිරීමක් හේතුවෙන් වසරක අත්හිටවූ තරග තහනමක් පනවා ඇති පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩේසේ සහ පිට දඟ පන්දු යවන නිෂාන් පීරිස් ද අතිරේක ක්‍රීඩක ලැයිස්තුවේ වෙති.
ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර පළමු එක්දින තරගය මේ මස 29 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙස පැවැත්වෙන අතර දෙවැනි එක්දින තරගය ලබන අගෝස්තු මස 1 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙයි. තුන්වැනි එක්දින තරගය අගෝස්තු මස 5 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙස පැවැත්වෙයි. අගෝස්තු මස 8 වැනිදා දෙපිල අතර සිවුවැනි එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලෙකැලේ පිටියේදීම පැවැත්වෙන අතර අවසන් එක්දින තරගය අගෝස්තු මස 12 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම - ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා. උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, කසුන් රාජිත, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ශෙහාන් ජයසුරිය
අතිරේක - දිමුත් කරුණාරත්න, ඉසුරු උදාන, නිෂාන් පීරිස්, ජෙෆ්රි වැන්ඩේසේ
0 Comments