Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විවාහය නසන අදිසි සතුරෝ



ඔවුනොවුන් හමුවී ඇතිවන ප්‍රේමයෙන් හෝ තුන්වැන්නෙකුගේ මැදිහත්වීමෙන් සිදුවන යෝජනාවකින් සිදුවන විවාහය සම්බන්ධයෙන් විශාලම පීඩනය හා අවදානම ගෙන දෙන්නේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන යුරේනස් නෙප්චුන් සහ ප්ලුටෝ යන ග්‍රහයන් තිදෙනා විසිනි. නමුත් මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ ඉතා සුළු පිරිසකි. මෙකී ග්‍රහයන් විසින් ඇති කරනු ලබන විවාහ දෝෂ මුලින්ම හඳුනා නොගතහොත් විවාහ ජිවිතය සතුටෙන් ප්‍රීතියෙන් ගත කිරීමේ අවස්ථාව ඔබෙන් ගිලිහී යයි. එබැවින් එහි නිවැරදි පදනම හා විවාහ දෝෂයන් පිළිබද සාකච්ඡා කිරීම සඳහා ප්‍රවීණ ටොලමියානු ජ්‍යොතිෂවේදී කේ. සී.ජේ. රත්නායක මහතා සම්බන්ධ කර ගත්තෙමු. ඔහු ඒ පිළිබඳව දැක්වුයේ මෙවන් අදහසකි.
කලත්‍රයා යනු විවාහයේදී සහකරු හෝ සහකාරිය හඳුන්වන පොදු නාමයයි. මේ කලත්‍රයා සොයා ගැනීම බොහෝ විට සිදුවන්නේ ක්‍රම දෙකකටය. එක්කෝ ඔවුනොවුන් හමු වීමෙන් ඇති කර ගන්නා ප්‍රේමය මත එය සිදුවේ. නැතහොත් තුන්වැන්නකුගේ මැදිහත් වීමෙන් කෙරෙන යෝජනාවක් පරිදි කලත්‍රයා මුණ ගැසේ. මේ ආකාර දෙක ප්‍රේම විවාහය සහ යෝජිත විවාහය යනුවෙන් ව්‍යවහාර කෙරේ. කොයි ලෙසකින් කලත්‍රයා මුණ ගැසුණ ද එම දෙදෙනා අතර හට ගන්නා වු විවාහය කෙබදු ස්වරූපයක් ගනී ද එය කොතෙක් කල් පවතී ද විවාහය නිසා දෙදෙනාම සතුටට පත් වන්නේ ද නො එසේනම් දෙදෙනාම පීඩාවට පත්වන්නේ ද එසේත් නැතිනම් දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් පීඩාවට පත්වන්නේ ද යනාදී කරුණු ජන්ම කේන්දරය තුළින් හදුනාගත හැකිය.

ඇතැම් කෙනෙකුට ඉහත කී කුමන ආකාරයකින් හෝ එක්කෝ කලත්‍රයකු නොලැබී යයි. නො එසේ නම් මුණ ගැසුණු කලත්‍රයා සමග විවාහ දිවියට ඇතුළත් වීම කඩාකප්පල් වේ. මේ තත්ත්වයන් දෙකම අපි විවාහ දෝෂ සහ විවාහ නාශක දෝෂ ලෙස හඳුනා ගනිමු. සාම්ප්‍රදායක ජ්‍යොතිෂයේදී රාහු කේතු කුජ ශනී යන ග්‍රහයන් සිවු දෙනා බොහෝ විට විවාහ නාශක ග්‍රහයන් ලෙස චෝදනාවට ලක්වේ. ඊට අමතරව සඳු සිකුරු සහ ගුරු ද හත්වැන්නාධිපතියාද විවාහ දෝෂ සම්බන්ධයෙන් අවලාදයට ලක්වේ. එසේ ගත්කළ සාම්ප්‍රදායක ජ්‍යොතිෂයේදී භාවිතයට ගැණෙන ග්‍රහයන් නවදෙනාගෙන් එක් ග්‍රහයෙකු වුවත් උක්ත චෝදනාවෙන් නිදහස් වන බවක් නො පෙනේ. ශනි මංගල භෞම දෝෂ කාල සර්ප විෂ කන්‍යා සර්ප ශාප යනාදී වශයෙන් විවිධාකාර විවාහ දෝෂ සඳහන් වේ. එහෙත් ඔය සියලු ග්‍රහයන්ට වඩා විවාහය සම්බන්ධයෙන් විශාලම පීඩනය හා අවදානම ගෙන දෙන්නේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන යුරේනස් නෙප්චුන් සහ ප්ලුටෝ යන ග්‍රහයන් තිදෙනා බව අවධාරණය කළ යුතුව තිබේ.
සාම්ප්‍රදායක හින්දු ජ්‍යොතිෂයට යුරේනස් නෙප්චුන් හා ප්ලූටෝ යන ග්‍රහයින් තිදෙනා එකතු කැර නොගන්නා හෙයින් එකී ජ්‍යොතිෂ ක්‍රමයට ඇතැම් විවාහ දෝෂ ග්‍රහණය නොවේ. හින්දු ජ්‍යොතිෂයේ ප්‍රවීණයකු වු ක්‍රිෂ්ණ මුර්ති වියතාණන් එකී අඩුව මැනවින් වටහාගෙන ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය නම් ජ්‍යොතිෂ ක්‍රමය හදුන්වා දුන් අතර ඔහු ඉතා නිවැරදි ලෙස යුරේනස් නෙප්චූන් හා ප්ලූටෝ යන ග්‍රහයන් තිදෙනා ඵලාපල කථනයට එකතු කර ගත්තේය. විවාහය නැමති මාතෘකාවට අදාළව මේ ග්‍රහයන් තිදෙනා විසින් ඇති කරනු ලබන බලපෑම මෙතැන් සිට විමසා බලමු.
ටොලමියානු ජ්‍යොතිෂයේ යුරේනස් හා නෙප්චුන් යන ග්‍රහයන් දෙදෙනාට ඉහළම තැනක් වෙන්වේ. යුරේනස් යනු වායු ග්‍රහයෙකි. නෙප්චූන් යනු ජල ග්‍රහයෙකි. යුරේනස් වෙතින් දැඩි පුරුෂාකාරබව සටන්කාමීත්වය ආක්‍රමණශීලි බව යුධවාදී රුචිකත්වය විප්ලවය උද්වේගකර බව පර පීඩකත්වය භෞතිකමය සංවර්ධනය යනාදිය නිවේදනය කෙරේ. නෙප්චූන් ග්‍රහයා වෙතින් ස්ත්‍රීත්වය අවිහිංසාව ස්වපීඩකත්වය අධ්‍යාත්මික ලෝකය සංගීතය දර්ශනවාද සහ සාහිත්‍ය කලා යනාදිය නිවේදනය කෙරේ. විවාහය සඳහා මේ ග්‍රහයන් දෙදෙනා අදාළ වන්නේ තරමක සංකීර්ණ ස්වභාවයෙනි. ටොලමියානු ජ්‍යොතිෂයේදී ලෝකයේ ජීවත්වන සියලු ස්ත්‍රීන් හා පුරුෂයන් කොටස් දෙකකට බෙදනු ලැබේ. එක් වර්ගයක් නම් යුරේනියන් (Uraniun type) කාණ්ඩයයි. අනෙක් කොටස වන්නේ නෙප්චුනියන් (Neptunian type) කාණ්ඩයයි. යුරේනියන් කොට්ඨාසය යනු සපුරාම භෞතිකමය ලෝකයේ කටයුතු සදහා ඇබ්බැහීවුවන් වේ. ඔවුහු දැඩි ලෙසම ආවේගශීලි වෙති. සටන්කාමීත්වය ප්‍රචණ්ඩත්වය තරගකාරීබව උන්නතිකාමය ආක්‍රමණශිලිභාවය අන්අය යටත් කිරීම ප්‍රවේගකාරීත්වය අධිවේගය ලෞකික වු අරමුණු සාක්ෂාත් කර ගැනීම ආදී ස්වභාවයන්ගෙන් යුක්ත වේ. රාජ්‍ය නායකයන් හා දේශපාලඥයන් හමුදා නායකයන් හා සොල්දාදුවන් ඉංජිනේරුවන් ව්‍යාපාරිකයන් කර්මාන්ත ආදී නිෂ්පාදකයන් බර යන්ත්‍ර සූත්‍ර මෙහෙයුම්කරුවන් විධායක නිළධාරීන් ආදී සියලු දෙනාගේ ජන්ම කේන්දර තුළ යුරේනස් ග්‍රහයා බලවත්ව සිටින අතර ඔවුන්ගේ ලෞකිකමය ක්‍රියාකාරීත්වය සදහා යුරේනස් ග්‍රහයාම මූලික වේ. නේප්චුන් කොට්ඨාසය ගත්විට ඊට අයත්වන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සාමකාමී නිහඬ ගති ඇත්තෝ වෙති. සංගීතඥයන් ආගම් භක්තිකයන්, සාහිත්‍යවේදීන් දාර්ශනිකයන් ආදී චරිත නෙප්චුනියන් කොටසට අයත්වන අතර ඔවුන් අධ්‍යාත්මික සහ මානසිකමය වශයෙන් තම ජිවිතයේ පැවැත්ම කේන්ද්‍ර කර ගත්තෝ වෙති. මේ ද්වී ස්වභාවය ලෝකයේ ජීවත්වන සියලු ස්ත්‍රීන් සහ පුරුෂයන් තුළ පවතින අතර විවාහයේදි එය ඉතා තීරණාත්මක වේ. කිසියම් ජන්ම කේන්දරයක නෙප්චූන් පීඩිතව 7වැන්නේ සිටීනම් බොහෝ විට එම ජන්මියාට විවාහය සම්බන්ධයෙන් පසුතැවීම් හට ගනියි. ඔහුට හෝ ඇයට කලත්‍රයා ලෙස මුණගැසෙන්නේ කිසියම් කැපී පෙනෙන කායික හෝ මානසික ඌණතාවක් ඇති පුද්ගල යෙකි. එකී ඌණතාව උගත්කම, ධනය, සමාජ තත්ත්වය, යනාදී වශයෙන්ද ආනුශංගික වේ. කලත්‍රයා හේතු කොට ගෙන තමා රැවටීමකට ලක්වුවාය යන පසුතැවීම මෙන්ම තමා කෙරෙහිම ආත්ම අනුකම්පාවෙන් යුතු තත්ත්වයක පසුවීම යන තත්ත්වයන්ට එකී ජන්මියා නිතර නිතර ලක්වේ. එකී පිහිටීම 5 සහ 12 වැන්නේ තිබීම ද දෝෂ සහිතය.
කිසියම් ජන්මියකුගේ කේන්දරයේ යුරේනස් ග්‍රහයා පීඩිතව 7වැන්නේ සිටීනම් ඔහුට හෝ ඇයට කලත්‍රයා ලෙස මුණ ගැසෙන්නේ සැඩ පරුෂ, ප්‍රචණ්ඩ සහ අන් අය පීඩාවට පත් කරන්නා වු කලත්‍රයෙකි. එකී යුරේනස් 5 සහ 12වැන්නේ සිටීම ද දෝෂ සහිතය. මේ යුරේනස් හා නෙප්චුන් යන දෙදෙනා ලග්නයේ සිටීම ද විවාහය සදහා අවදානම් තත්ත්වයකි. යුරේනස් 6වැන්නේ තැන්පත්වීම ස්ත්‍රියකගේ නම් ගර්භාෂය කෙරෙහි හිතකර තත්ත්වයක් නොවේ. ඊට අමතරව මේ ග්‍රහයන් දෙදෙනා සංයෝග වන අනෙක් ග්‍රහයන් අනුවද දෘෂ්ටි සම්බන්ධතාව දක්වන අනෙක් ග්‍රහයන් සම්බන්ධවද සංකීර්ණ බලපෑම් තත්ත්වයක් හටගනියි.
බොහෝ කාම අපරාධ (sexual crimes), ලිංගික විපරිවර්තන (sexual perversion) කෙරෙහි සියයට 75 කට වඩා හේතු වන්නේ යුරේනස් හා නෙප්චුන් යන ග්‍රහයන් දෙදෙනා බව බොහෝ දෙනා නොදනිති. පරපීඩා කාමුකත්වය (sadism) හෙවත් අනෙක් පුද්ගලයන් හිංසනයට හා බලහත්කාරයට පමුණුවා කාම අපරාධ කිරීමේ ආවේගයන් අවුළුවනු ලබන්නේ යුරේනස් ග්‍රහයා විසිනි. බිහිසුණු ස්ත්‍රී දුෂකයන් තුළ යුරේනස්ගේ විපරීත පිහිටීම දැකගත හැකිය. පුරුෂ සමලිංගිකත්වය කෙරෙහි ද සෘජු බලපෑමක් ගෙන දෙන්නේ යුරේනස් ග්‍රහයා විසිනි. කිසියම් කේන්දරයක යුරේනස් ග්‍රහයා පිහිටා සිටින ආකාරය අනුව එම පුද්ගලයා තුළ ලිංගික විපරිවර්තන පවතින්නේද යන්න නිවැරදිව හදුනාගත හැකිය. යම් ජන්මියකුගේ කුඩා කාලයේ සිට එකී තත්ත්වය හදුනාගත හැකිනම් ඔහු වෙතින් අනෙක් අයට ඇති විය හැකි හිංසනයන් අවම කර ගැනීමටද ඉඩ තිබේ. අනෙක් කුමන ග්‍රහයාටත් වඩා යුරේනස් ග්‍රහයා විපරිතව පිහිටිම ඔහුගේ හෝ ඇයගේ විවාහ ජිවිතයට දැඩි අවදානමකි. නෙප්චුන් ග්‍රහයා ගත්කළ ස්වපීඩා කාමුකත්වය (masochism) හට ගැනීම කෙරෙහි බෙහෙවින්ම ඉවහල් වේ. සමලිංගික විපරිවර්තන මනෝ ලිංගික ව්‍යාධි යනාදිය කෙරෙහි නෙප්චුන් සෘජුවම දායක වේ. ඕනෑම ජන්මියෙකුගේ කේ න්දරයේ නෙප්චූන් ග්‍රහයා විපරීතව පිහිටීම ද විවාහ ජිවිතය කෙරෙහි බලවත් අවදානමක් ලෙස හදුනාගත යුතුය. නෙප්චූන් විසින් ඇතිකරනු ලබන තවත් භයානක දෙයක් වන්නේ මත්ද්‍රව්‍ය කෙරෙහි ඇති කරන්නා වු ඇබ්බැහියයි. ලෝකයේ ඉතා ජනකාන්ත සංගීත ශිල්පීන් ගායකයන් චින්තකයන් කෙරෙහි ඔවුන්ගේ විශිෂ්ටත්වය සඳහා නෙප්චුන් ඉහවල් වී ඇති අතරම කිසියම් මත්ද්‍රව්‍යයකට හෝ කිසියම් ලිංගිකමය විපරිවර්තනයකට ඔවුන් ගොදුරු කරවීමට ද නෙප්චූන් දායක වී ඇති අයුරු පිළිබඳව නිදසුන් බොහෝ තිබේ. ඔස්කාර් වයිල්ඩ් එබඳු එක් ප්‍රසිද්ධ චරිතයකි.
මේ යුරේනස් සහ නෙප්චුන් විසින් ඇති කරනු ලබන බලපෑම හරිහැටි තක්සේරු නොකළහොත් විවාහ දෝෂ හෝ විවාහ නාශක යෝග හරිහැටි හදුනාගැනීමට නොහැකි වනවා පමණක් නොව එකී දෝෂ ඉවත් කිරීම සදහා කළ යුතු පිළියම් ආදිය ද අඳුරේ සැඟවෙයි. දෙදෙනාගේ කේන්දරවල සාම්ප්‍රදායක ග්‍රහ පිහිටීම අති විශිෂ්ටව තිබුණත් නෙප්චුන් හෝ යුරේනස් විපරීතව සිටීමේ තනි සාධකය මත එකී විවාහ ජිවිතයේ අර්බුධ හට ගනියි. එකී දෝෂය හඳුනා නොගන්නා ජ්‍යොතිෂවේදියා සාම්ප්‍රදායක ග්‍රහයන් පමණක් යොදා ගනිමින් කරනු ලබන කේන්දර පරික්ෂාව නිසා ජන්මියාට ජ්‍යොතිෂය තුළින් සාධාරණය ඉටු නොවනවා පමණක් නොව ඔහුට හෝ ඇයට ජ්‍යොතිෂය කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීමට ද ඉඩ තිබේ. මේ නිසා අප අවධාරණය කිරීමට කැමති වන්නේ හෙට ලෝකය සඳහා පුරුදු පුහුණු වන ජ්‍යොතිෂවේදීන් මේ නෙප්චුන් හා යුරේනස් යන ග්‍රහයන් දෙදෙනා පිළිබඳව ඉතා මැනවින් අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය බවයි.
මෑත කාලයේ විවාහ බිඳ වැටීම් සහ විවාහ අසාර්ථක වීම් කෙරෙහි බලපා ඇති සිදුවීම් අධ්‍යයනය කරන විට ශනි කුජ රාහු කේතු යන ග්‍රහයන් විසින් ඇති කරන පීඩාවන්ට වඩා යුරේනස් හා නෙප්චූන් විසින් විවාහ ජීවිත කෙරෙහි ඇති කර තිබෙන බලපෑමේ පරිමාව කෙතරම් දැයි පෙනේ. අතීතයේදී මෙන් නොව වර්තමානයේදී නෙප්චුන් හා යුරේනස් විසින් ඇතිකරනු ලබන විවාහ දෝෂ බහුලව දකින්නට ලැබේ. ඊට හේතුව කුමක්දැයි වෙනම ම අධ්‍යනය කළ යුතුය. කෙසේ නමුත් අවධාරණය කළ යුතුව තිබෙන්නේ දෙදෙනෙකුගේ විවාහය සම්බන්ධයෙන් උපදෙස් දෙන ජ්‍යොතිෂවේදීන් අතීතයේදී කුමනාකාරයෙන් කටයුතු කළත් වර්තමානයේදී උක්ත යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහයන් දෙදෙනා පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි. එය සම්ප්‍රදාය පිට පැනීමක් නොව සම්ප්‍රදාය පෝෂණය කිරීමේ ආලෝකයක් ලෙස යොදා ගැනීම වඩාත් ඵලදායක වේ.
KCJ Kcj Ratnayake

Post a Comment

1 Comments

  1. යුරේනස් නැප්චූන් දෙකම 07 වැන්නේ පිහිටියහොත් කුමක් වේද

    ReplyDelete

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();