Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔබ්සර්වර්-මොබිටෙල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනූ ත්‍රිත්වයේ තෙවැනියා

සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත මොබිටෙල් ආයතනය සමග එක්ව සංවිධානය කළ ‘ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයා ලෙස පිදුම් ලැබුවේ මහනුවර ත්‍රිත්ව විදුහලේ හසිත රජීන්ද්‍ර බෝයගොඩයි.

ඔහුට පෙර එම සම්මානයෙන් පිදුම් ලත් ත්‍රිත්ව විදුහලේ සෙසු ක්‍රීඩකයන් වන්නේ කෞෂල්‍ය වීරතත්න සහ නිරෝෂන් දික්වැල්ල ය. මේ වසරේ ත්‍රිත්ව විදුහල විසින් දක්‍ෂතම ශිෂ්‍යාට ප්‍රදානය කරන ලද රයිඩ් රන් කුසලානය හිමිකර ගත්තේද බෝයගොඩය.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් 9න් විශිෂ්ට සම්මාන සහිතව සමත් වීමත්, අ.පො.ස. උසස් පෙළ වාණිජ අංශයෙන් විෂයන් 03ක් සාමාර්ථ ලබා ගැනීමට සමත් වීමත්, ක්‍රීඩාවෙන් දැක්වූ විශිෂ්ට දක්‍ෂතා හේතුවෙන් ඔහු මේ සම්මානයෙන් පිදුම් ලැබීය.‍

හසිත බෝයගොඩ ත්‍රිත්ව විදුහලේ වයස අවුරුදු 13 පහළ, 15 පහළ, 17 පහළ සහ 19 පහළ ක්‍රිකට් කණ්ඩායම් වල නායකයා ලෙසද කටයුතු කර තිබේ. 2013 වසරේ ඔහු මධ්‍යම පළාත් අවුරුදු 15න් පහළ කණ්ඩායම මෙහෙයවා ඇති අතර, 2016 වර්ෂයේ අවුරුදු 19න් පහළ මධ්‍යම පළාත් කණ්ඩායමේ උපනායකයා ලෙස ඔස්ට්‍රේලියාවේ සංචාරයට එක් වීමටද අවස්ථාව ලබා ගත්තේය. ඔහු අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, මැලේසියාව හා නවසීලන්තයේ තරග සංචාර සඳහා එක්විය.

වයස 17න් පහළ දක්‍ෂතම තුන් ඉරියව් ක්‍රීඩක අනු ශූරතාවය 2014 දී හිමිකර ගැනීම ඔහු විසින් දිනූ ප්‍රථම ජාතික මට්ටමේ කුසලානය ලෙස සැලකේ. ඔහු විසින් ත්‍රිත්ව - අන්තෝනි 36 වන සීමිත පන්දුවාර තරග ඉතිහාසයේ ත්‍රිත්ව විදුහල වෙනුවෙන් ශතකයක් වාර්තා කළ ප්‍රථම ක්‍රීඩකයා බවට පත්විය. ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමට ප්‍රථම වතාවට තේරුණු අවස්ථාවේ දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 79 ලබාගැනීමට ද, 2016 වර්ෂයේදී නේපාලයට එරෙහිව ලකුණු 82 ක් ලබා ගැනීමට ද හසිත බෝයගොඩ සමත් විය.

2018 අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලකුණු 191ක් ලබා ලෝක වාර්තාවක් පිහිටුවීම ඔහුගේ උපරිම දක්‍ෂතාවය ලෙස සැලකේ. අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගයක දී මෙතෙක් ශතක දෙකක් රැස්කළ ප්‍රථම ක්‍රීඩකයා වන්නේද බෝයගොඩය. නේපාලයට හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට එරෙහිව එම ශතක දෙක වාර්තා කර ඇත.

හසිත බෝයගොඩගේ මව සහ පියා වන සංජය බෝයගොඩ සහ සුපිපි බෝයගොඩ යන දෙදෙනාම විශේෂඥ වෛද්‍යවරු වෙති. ඔහුගේ පුහුණුකරුවන් අතර හැරල්ඩ් රණසිංහ, ඉන්දික ප්‍රනාන්දු සහ සම්පත් ප්‍රනාන්දු යන මහත්වරුද වෙති.

සටහන - උපනන්ද ජයසුන්දර
මහනුවර ක්‍රීඩා විශේෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();